අර්ජුනගෙන් ක්‍රිකට් ආයතනයට දොස් මුරයක්


ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මහතා මාධ්‍යවලට සම්පූර්ණ නිදහස තිබෙන බව පැවසූවත්, ක්‍රිකට් ආයතනයේ හොරකම් ගැන හෙළිදරව් කරන පුවත්පත් මාධ්‍යවේදීන්ට ක්‍රිකට් ආයතනය තහනම් කර තිබෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මහතා පැවසීය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (06දා) පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා මේ බව පවසා සිටි අතර, එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනය පිරිසිදු කිරීම සිය පළමු රාජකාරිය කරගත යුතු බවත්ය.

මාධ්‍ය නිදහස

"ගොඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතා (නිදහස් දින) සිදුකළ කථාවේ එතුමා කියනවා මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා, ඕනම අයකුට නිදහසේ අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය ලබාදී තිබෙන කියලා. ඒක ජනාධිපතිතුමාගේ හොඳ තීරණයක්.

නමුත් ක්‍රිකට් ආයතනයේ හොරකම් ගැන ලිව්වා කියලා 'අද' පුවත්පතේ පැතුම් විජේරත්න  මාධ්‍යවේදියාට ක්‍රිකට් ආයතනයට එනඑක තහනම් කරලා තිබෙනවා.

ජනාධිපතිතුමා එදින කිවුවේ මාධ්‍යවලට සියලුම පහසුකම් ලබාදෙනවා කියලා. එහෙනම් ජනාධිපතිතුමාටත් වඩා උඩින්ද ක්‍රිකට් බෝඩ් එක ඉන්නේ?. අපි දැක්කා ජනාධිපතිතුමා එක් එක් ආයතනවලට යනවා. නමුත් ක්‍රිකට් බෝඩ් එකේ තමයි ලොකුම හොරුටික ඉන්නේ.

මම හිතන්නේ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමා යන්න ඕන ක්‍රිකට් බෝඩ් එකට. ජනාධිපතිතුමා අපටත් එන්න කියනවානම්, අපිත් එන්නම්. ඔක්කොම හොරු ටිකත් පෙන්වන්නම්. ඒ නිසා ජනාධිපතිතුමා මුලින්ම ඇමතිතුමාත් එක්ක ක්‍රිකට් බෝඩ් එක සුද්ද කරන්න මූලිකත්වය ගත්තොත් හොඳයි" 

'හතුරුසිංහ' බඳවාගැනීමේ ඒකාධිපති තීරණයක්

"හතුරුසිංහ මහතා බඳවාගත් ක්‍රමවේදය හරියට කරලා නැහැ. තමන්ට ඕන විදයට තමයි ඔහුව බඳවාගෙන තිබෙන්නේ. හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනයේ වන්දියක් ඉල්ලා තිබෙනවා එයාට කරපු අසාධාරණය වෙනුවෙන්. නමුත් මම හිතනවා මේ මුදල් ක්‍රිකට් පරිපාලනයෙන් ගෙවන් ඕන නැහැ, මේවට සම්බන්ධ මේවා කරන්න ඒකාධිපතියෝ වගේ තීරණ ගත් මිනිසුන්ගෙන් අයකරගත යුතුයි. මේවට ක්‍රිකට් ආයතනය හෝ රජය ගෙවන්න අවශ්‍ය නැහැ.

ක්‍රිකට් ආයතනයේ දැනට නඩු 40ක් විතර තිබෙනවා. එහි නීතිඥ ගාස්තු විශාල ප්‍රමාණයක් ගෙවනවා. හතුරුසිංහ මහතාගේ නඩුව කථා කරන ක්‍රිකට් ආයතනයේ නීතීඥ මහතාටත් විශාල මුදල් ගෙවනවා. ක්‍රිකට් බෝඩ් එකෙන් ගොඩක් පෝසත් වෙන්නේ ඒ නීතිඥ මහත්වරුන්."

විස්සයි20 ලෝක කුසලානය

"ඉදිරියේදී අපට විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තිබෙනවා. ඒ තරගාවලියේදී අපි කොහේ නතරවෙයිද දන්නේ නැහැ. මේ යන විදිහට ඊළඟ ලෝක කුසලානයට සැලසුමක් තිබෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. අද දේශීය ක්‍රිකට් තරගාවලි කරන්නේ ක්‍රීඩා සමාජයක ඉන්න ලේකම් කෙනෙක්." 

රංජන්ගේ හඩපඩ

"අපට ආරංචියක් තිබෙනවා ක්‍රිකට් පාවාදීම් ගැනත් හඩපට වගයක් අපේ රංජන් හිටපු ඇමතිතුමා ලග තිබෙනවා කියලා. ඔහු ලඟ තිබෙනවාලු ක්‍රිකට් තරග පාවාදීම් හා ඒ අදාළ දේවල්. අපි ඉල්ලීමක් කරනවා හිටපු අමාත්‍ය රන්ජන් මහතාට පුළුවන්නම් ඒ ටිකත් එළියට දාන්න. මොකද අපටත් අවශ්‍ය මේ ක්‍රිකට් ක්‍රීඩාව සුද්ධ කරන්න."

දෙවසරක අතුරුපාලක කමිටුවක්

"මම අදත් කියන්නේ ක්‍රිකට් හදන්න නම් හොද මිනිස්සු ටිකක් දාලා අවුරුදු දෙකකට අතුරු පාලන කමිටුවක් දාන්න ඕන කියලා. නැතිනම් කවදාවත් ලංකාවේ ක්‍රිකට් හදන්න බැහැ.

අපි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩාකරන්න වෙලා තිබෙනවා. නමුත් අපි 1975 ලෝක කුසලානය ගැහුවෙත් සුදුසුකම් ලැබීමේ වටයෙන් නෙමෙයි. අද අපි ඒ තත්ත්වයට වැටිලා ඉන්නේ. ඒ නිසා එතනින් එහාට පරිපාලනය ගැන කථාකරලා වැඩක් නැහැ."

වීඩියෝ ක්‍රිෂාන් රණසිංහ



Recommended Articles