සිරිමල්ගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අඩුපාඩු රැසක්


බදුල්ල, සිරිමල්ගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට විහාරාධිපති පූජ්‍ය කන්දකැටියේ සෝමරතන හිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.
මේ වනතුරුත් භෞතික වශයෙන් සංවර්ධනය වූ සිද්ධස්ථානයක් නොවූවද එම විහාර භූමියේ පිහිටි වසර 400ක් පමණ පැරණි බෝධිරාජයාණන් වහන්සේගේ හාස්කම් හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ විශේෂ ගෞරව බහුමානයට ලක්වන ආගමික සිද්ධස්ථානයක් බවට මෙය පත්ව තිබේ. 

දැනට වසර 80කට පමණ පෙර මෙම විහාරස්ථානය ඉදි වූ බව පැවසෙන අතර පූජ්‍ය දිඹුල්ගහවතුරේ ඥානවිමල හිමියන් එවකට මෙහි විහාරාධිපතිව වැඩ විසූ බව සඳහන්ය. එසේම සිරිමල්ගොඩ විදුහල මුලින්ම ආරම්භ වූයේ වත්මන් ශ්‍රී විජයාරාම විහාරස්ථාන භූමියේ බවද ඉඩකඩ ප්‍රමාණවත් නොවීම වැනි හේතු මත විදුහල වෙනත් ස්ථානයකට ගෙනගිය බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී විජයාරාම විහාරාධිපති පූජ්‍ය කන්දකැටියේ සෝමරතන හිමියෝ මෙසේ පැවසූහ.
“මා මේ විහාරස්ථානයේ වැඩ වාසයට පැමිණ දැන් අවුරුදු 20ක් පමණ වෙනවා. එදා වගේම අදටත් මේ ප්‍රදේශවාසී ජනතාව විහාරස්ථානය සමග ඉතා දැඩි සබඳතාවක් තිබෙනවා. විශේෂයෙන් මෙහි වැඩවසන බෝධිරාජයාණන් වහන්සේ පිළිබඳව ගම්වාසීන්ගේ විශාල ගෞරවයක්, භක්තියක් තිබෙනවා. එහි හාස්කම් ගැන ඒ අය තුළ ලොකු විශ්වාසයක් තිබෙනවා. 

අප මේ බෝධීන් වහන්සේ ළඟ පෝය දිනවල බදාදා, සෙනසුරාදා දිනවල පිරිත් සජ්ඣායනා කරනවා. බෝධීන් වහන්සේගේ පවතින හාස්කම් හේතුවෙන් නිසා බෙහෝ දෙනා මෙහි ආගමික වතාවත් සඳහා පැමිණියත් මේ පන්සලට චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් නොමැතිවීම විශාල අඩුපාඩුවක්. ඒ වගේම මේ වනවිට අඩක් වැඩ නිමවී තිබෙන දෙමහල් ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතුත් ආර්ථික ගැටලු මත නතරවී තිබෙනවා. ප්‍රදේශවාසීන් බොහෝ පොදු කටයුතු සඳහා විහාරස්ථානය යොදා ගන්නා නිසා එම ධර්ම ශාලාවේ ඉදිකිරීම්ද කඩිනමින් අවසන් කළ යුතුව තිබෙනවා. ඒ නිසා එම අඩුපාඩු සපුරා ගැනීමට යම් කෙනෙක් දායකත්වයක් ලබාදෙනවා නම් විශාල පිනක්.”                        



Recommended Articles