ශාසනික මෙහෙවරට අමතරව සමාජ වගකීම්ද ඉටුකිරීමෙහිලා මහත් වෙහෙසක් දරන කොටුවේ පොඩි හාමුදුරුවෝ


සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් භික්ෂු සමාජය අතින් ඉටු වන්නේ උත්තරීතර වූ මෙහෙවරකි. ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් උන්වහන්සේලා දහම ගිහියන් වෙත සමීප කිරීමට කටයුතු කරති. වෙනස්ම වූ ආකාරයෙන් එම කටයුත්ත ඉටුකරන කොටුවේ පොඩි හාමුදුරුවන් අද නොදන්නෙකු නොමැත. සිය ශාසනික මෙහෙවරට අමතරව සමාජ වගකීම්ද ඉටුකිරීමෙහිලා මහත් වෙහෙසක් දරන උන්වහන්සේ සමග අද අපි මෙසේ සම්බන්ධ වීමු.


DSC_5150

බහුතරයක් දෙනා ඔබ වහන්සේව හඳුනන්නේ කොටුවේ පොඩි හාමුදුරුවෝ නමින්, මුලින්ම ඔබ වහන්සේගේ සැබෑ නම කිවුවොත්?

මගේ නියම නම වෙන්නේ අත්තරගම පඤ්ඤාලංකාර ස්ථවිර.

මේ වෙනකොට ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් ඉදිවෙමින් තිබෙන සදහම් සිසිල මාපිය සෙවණ පිළිබඳව හැඳින්වීමක් කරනවා නම් ?

සදහම් සිසිල මාපිය සෙවණ වැඩිහිටි මධ්‍යස්ථාන මම නිර්මාණය කරමින් ඉන්නේ අසරණව ඉන්න ජීවිතේ සැඳෑසමය ගත කරන දෙමාපියවරුන් වෙනුවෙන්. ඒ සමය ආධ්‍යාත්මික සුවයෙන් ගතකළ යුතු නිසාත් කැලණිය පින්බිමේ මෙය පිහිටි නිසාත් තමයි ආගමික පරිසරයක් මෙහි නිර්මාණය කෙරෙන්නේ.

DSC_5181

ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශෛලියේ වෙනසක් තිබෙනවා ?

ඒක මගේ ස්වභාවය මිසක් මවාගැනීමක් නෙවෙයි. මිනිස්සු ඉදිරියේ බොරු ප්‍රතිරූපයක් මවා පෙන්වන්න මට අවශ්‍ය නැහැ. බුදු හාමුදුරුවෝ වුණත් අපිට ආදර්ශයෙන්ම පෙන්නුම් කළ දෙයක් තමයි බණ කියන්න කලින් මිනිස්සු බඩගින්නේද ඉන්නේ බලන්න කියන එක. බඩගින්නේ ඉන්න මනුස්සයෙකුට උන්වහන්සේ කවදාවත් බණ දේශනා කළේ නැහැ. ඒ වගේම ඉංග්‍රීසි නොතේරෙන මනුස්සයට ඉංග්‍රීසියෙන් කියන දේවල් තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් දැනෙන විදිහටයි අපිත් මිනිස්සුන්ට කතා කරන්න අවශ්‍යයි.

භික්ෂුව කියන චරිතයත් අද වෙද්දී සමාජයේ විවේචනය වන චරිතයක් බවට පත්වෙලා තිබෙනවා නේද?

ඒකට හේතු කිහිපයක් තියෙනවා. එක දේශපාලනය, දෙක සල්ලි, තුන ගිහියන්ට දන් දෙන්න කියලා දේශනා කළත් භික්ෂුව දන් නොදීම. ගිහියන් තුළත් ධර්මය ප්‍රායෝගිකව යෙදවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. භික්ෂුව දැන් හෝ බුදුපියාණන් පෙන්වා දුන්නා වගේ ගිහියන්ට කරුණාව දයාව දක්වනවා නම් මේ පරිහානිය වැළැක්වීමට පුළුවන්කම තිබෙනවා. වත් පොහොසත්කම අනුව නැතුව භික්ෂුව සෑම අයෙකුටම සමානාත්මතාවෙන් සැලකිය යුතුයි, භික්ෂුව දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. මේ දෙක හරියට වුණොත් නැවත මේ ශාසනය ගොඩනගන්න පුළුවන්. නැතුව අමුතුවෙන් විනය සංඝායනාවක් පැවැත්විය යුතු ප්‍රශ්න නෙවෙයි මේවා.

වර්තමානය වෙද්දී ඇතැම් විහාරස්ථානවල විහාරාධිපති හිමියන් මුණගැසෙන්න සාමාන්‍ය ගිහියෙකුට අපහසු තත්ත්වයකුත් නිර්මාණය වී තිබෙනවා නේද?

භික්ෂූත්වය කියන්නේ කිසිසේත්ම ලොකුකමක් නොවෙයි. භික්ෂූත්වය ලොකු වෙන්නේ උපසම්පදාවෙන් පමණයි. එයත් ගිහියට අදාළ වන දෙයක් නොවෙයි. ඒ නිසා තමන්ගේ සරණ පතා එන ගිහි ජනතාවට දුප්පත් පොහොසත් හෝ කුල භේදයකින් තොරව පිහිට වෙන්න, ඔවුන්ට සවන් දෙන්න භික්ෂූන් වහන්සේලා කොන්දේසි විරහිතව බැඳී සිටිනවා. මෙතන වෙලා තිබෙන්නේ ඇතැම් භික්ෂූන් වහන්සේලා විවිධ වූ ක්‍රමවලින් පෞරුෂත්ව නිර්මාණය කරගෙන තමන්ට ප්‍රභූත්වයක් ආරෝපණය කරගෙන ඉන්න එකයි. නමුත් මා කිව යුතුයි මේ පරිහානිමය අවස්ථා බොහොම සුළු වශයෙනුයි සිදුවෙන්නේ. අදටත් ගමේ පන්සල්වල වැඩ ඉන්නවා දිවා රෑ නොබලා ගිහියන් වෙනුවෙන් වෙහෙසෙන භික්ෂූන් වහන්සේලා ඕනෑ තරම්.

කොටුවේ හාමුදුරුවෝ නමින් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත් සංයුක්ත තැටි අලෙවි කෙරෙන්නේ ඔබ වහන්සේගේ අනුදැනුම ඇතිවද ?

ගිහියන්ට වඩා මට බණින්නේ පැවිදි පිරිස්. ඒකට හේතුව තමයි මේ සංයුක්ත තැටි ප්‍රශ්නය. බොහොම පැහැදිලිව කියන්න ඕන දෙයක් තමයි මම ධර්ම දේශනා සංයුක්ත තැටි ගහලා බිස්නස් කරන මුදලාලි කෙනෙක් නෙවෙයි. මට දේශපාලනයක් නැහැ ඒ නිසා මට රූපවාහිනී මාධ්‍යයක හෝ ගුවන් විදුලි මාධ්‍යයක ධර්ම දේශනා කරන්න බැහැ. මේ සීඩී ගහන ඇත්තෝ ඇවිත් අහනවා හාමුදුරුවනේ රෙකෝඩ් කළාට කමක් නැද්ද කියලා. මම කිසිම අවස්ථාවක එපා කියලා කියන්නේ නැහැ. බණ කියන්නේ හංගගෙන දේශනා කරන දෙයක් නෙවෙයිනේ. ඒ පිරිස්වලින් මම මුදල් ඉල්ලන්නෙත් නැහැ. නමුත් ඒ හැම කෙනෙක්ම මේ වැඩිහිටි මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වලට ද්‍රව්‍යමය වශයෙන් බොහෝ සෙයින් දායක වෙලා තිබෙනවා. මේක සංඝ සුපර් ස්ටාර් තෝරන රියැලිටි ෂෝ එකක් කරගෙන තිබෙනවා ඇතැම් අය. ඒක කනගාටුවට කාරණයක්.

DSC_5146

පසුගිය කාලයේ යම් ජාතිවාදී කෝලාහල ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගෙන ඇති වුණා. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි?

තවත් ජාතියක් නසන්න, වෛරය වපුරන්න අනුබල දෙන්නන් සැබෑ බුද්ධ පුත්‍රයන් නෙවෙයි. සිංහලයා එකමුතු වෙනවා නම් මේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. සිංහලයා බෙදෙන තරමට ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ බෙදීම තමයි මේ ඩොලර්වලට යට වුණ චීවරධාරීන් කරන්නේ. නිතරම කල්පනා කරන්න මේ අවස්ථාවේදී  බුදුහාමුදුරුවෝ වැඩ සිටියා නම් උන්වහන්සේ ගන්නා තීරණය මොකක්ද, උන්වහන්සේ දේශනා කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව. මරණ දෙකකින් අවසන් වුණු මේ විනාශය තවත් මේ විදියටම ගියොත් තව 100ක් මැරෙන තත්ත්වයට පත් වේවි. ඒ නිසා අපේ ජනතාව ධර්මය මත පිහිටා සිහිබුද්ධියෙන් කටයුතු කිරීමට අවශ්‍යයි. සිංහලයා කියන්නේ ජාතිවාදියෙක් නෙවෙයි. අද හිරේ වැටිලා ඉන්න පිරිස වෙනුවෙන් අර කෑගහපු සංවිධානවල කවුරුත් දැන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ සංවිධානවලට ජාතිය ආගම ගැන සැබෑ කැක්කුමක් තිබෙනවා නම් දානවේලවත් නොලැබෙන පන්සල් එක්දාස් ගාණක් රටේ තියෙන්න විදිහකුත් නැහැ.

DSC_5162

අපි තවමත් බුදුහාමුදුරුවන්ව හෝ බුදුදහම නිවැරදිව තේරුම් ගෙන නැහැ නේද ?

පැහැදිලිවම අපි තවමත් බුදුහාමුදුරුවෝ තේරුම් අරං නැහැ. දයාව, කරුණාව තමා තුළ හරිහැටි රෝපණය කර නොගෙන බුදුහාමුදුරුවෝ දකින්න බැහැ. උන්වහන්සේගේ ජීවිතය අරගෙන බලන්න. සැපය උපරිමයෙන් විඳින්න තිබ්බ උන්වහන්සේ ඒ හැම දෙයක්ම අපි වෙනුවෙන් අත්හැරියා. අනන්ත දුක් වින්දා. උන්වහන්සේ ලෝකයට අසීමිතව ආදරය කළා. බුදුහාමුදුරුවෝ තරම් අපිට ආදරය කරපු වෙන කිසිම කෙනෙක් මේ ලෝකයේ නැහැ. අපි කොයි තරම් වැරදි කර තිබුණත් අපිට ආයෙත් හැදෙන්න හරි මාර්ගයේ යන්න ඕනෑ තරම් අවස්ථාව බුදුදහමින් ලබාදීලා තිබෙනවා. බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් ඒ කරපු අප්‍රමාණ කැපකිරීම වෙනුවෙන් අපිට කෘතගුණ දක්වන්න පුළුවන් හොඳම සහ එකම ක්‍රමය තමයි පංචශීලය ආරක්ෂා කරන සංස්කෘතියක් ගොඩනගා ඒ ඔස්සේ කටයුතු කිරීම. 

076 - 9697171

DSC_5191



Recommended Articles