වෙහෙරගල රජමහ විහාරස්ථානයේ ඉදි කෙරෙන දම්සභා මණ්ඩපයේ වැඩ අවසන් කර ගැනීමට ආධාර පතයි



අධිරාණිගම, ඓතිහාසික වෙහෙරගල රජමහා විහාරස්ථානයේ ඉදි කෙරෙන  දම්සභා මණ්ඩපයේ වැඩ අවසන් කර ගැනීමට විහාරාධිපති ප්‍රියංකරගම සුමනවංශ හිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී තෙමසක් ගතවූ කල්හි තව්තිසා දිව්‍ය ලෝකයේ වැඩ සිටින මාතෘ දිව්‍ය පුත්‍රයාට විජං පිටකය දේශනා කර, රන් ඉණිමගකින් දඹදිව සංකස්ස පුරයට වැඩි අවස්ථාව විදහා දැක්වෙන අයුරින් 27 රියන් චෛත්‍ය රාජයාණන් සමග 18 රියන් සම්බුද්ධ ප්‍රතිමාව, හතර රියන් රහතුන් වහන්සේ දහස් නමකගේ ප්‍රතිමා සහ හත් රියන් දේව ප්‍රතිමා තිහක් යනාදී වශයෙන් ප්‍රතිමා 1031කින් සමන්විතව මෙය ඉදිකිරීමට සැලසුම්  කර තිබේ.

2016 වර්ෂයේ අගෝස්තු මාසයෙහි ආරම්භ කළ මෙහි ඉදිකිරීම් දෙවසරක් තුළ නිමකිරීමට බලාපොරොත්තු වුවද ඒ සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවීමෙන්  එහි වැඩ කටයුතු අතරමග නැවතී ඇත.
පුෂ්පාසන, ප්‍රධාන දොරටුව, බෝධි බැම්ම, සාංචි තොරණ, ඇත් පවුර සමග වලාකුළු බැම්ම, විහාර උද්‍යානය, ආලෝක පද්ධතිය, ජල නළ පද්ධතිය, වැසිකිළි, කැසිකිළි පද්ධතිය, විවේක ස්ථාන, රථගාල මෙන්ම පිරිසුදු කිරීමේ සැලැස්මක් ද සහිතව  ඉදිවන මෙම විහාර කර්මාන්තයේ ඉතිරි වැඩ අවසන් කර ගැනීමට විහාරාධිපති හිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තුවෙති.
මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ විහාරාධිපති ප්‍රියංකරගම සුමනවංශ හිමියෝ මෙසේ පැවසූහ. 

මේ පන්සල පුරාණ රජමහ විහාරයක්. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ පටන් පවතින එකක් කියලා තමයි ජනප්‍රවාදයේ කියැවෙන්නේ. ඒ කාලේ කෙරුණ චෛත්‍යයක නටබුන් අදටත් තියෙනවා. ගල්කණු, සිරිපතුල් එහෙම තවමත් ඉතුරු වෙලා තියෙනවා. කාලෙත් එක්ක වල්වැදිලා තියෙන පන්සල මීට අවුරුදු හැත්තෑවකට විතර කලින් ඩී.එස්. සේනානායක මහත්තයා අගමැති කාලේ මේ අධිරාණිගම ගමට මායිම් වෙලා තියෙන කටියාව ජනපදය පටන් ගත්ත කාලේ මේ පන්සලත් ආපහු පටන් අරගෙන තියෙනවා. එදා ඉඳන් මේ වෙනකන් පන්සල ගැන කාගේවත් ලොකු අවධානයක් යොමු වුණේ නෑ. දැන් මේ විහාර කර්මාන්තේ වැඩ කඩිනම් කරගන්න බැරිකම තමයි දැනට තියෙන බාධාව. දැනට ඇස්තමේන්තු කරලා තියෙන විදිහට ලක්ෂ 750ක් විතර යනවා වැඩ ඉවර කරන්න. කවුරු හරි උදවු කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒක ලොකු පිනක්.
මේ සඳහා දායකත්වයක් දැක්විය හැකි පින්වතෙකුට 071 - 7165500 දුරකථන අංකයෙන් විහාරාධිපති හිමියන් අමතා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. 

බුල්නෑව - ප්‍රදීප් රණතුංග 



Recommended Articles