වළගම්බා රජ සමයේ සිට පැවත එන බිබිලිඔය රජමහා විහාරය


03

කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගලට නුදුරුව ඉතා රමණීය පෙදෙසක පිහිටි බිබිලිඔය පිළිමලෙන රාජමහා විහාරය එදා වළගම්බා රජ දවස සිට පැවත එන පැරණි සිද්ධස්ථානයකි. බලන්ගොඩ මානවයා ජීවත්වූ කිතුල්ගල බෙලිලෙනද පිහිටා ඇත්තේ මේ ප්‍රදේශයට ආසන්නවය.
ශ්‍රී ලංකාවේ සොළී ආක්‍රමණ පැවැති කාලයේ වළගම්බා රජතුමා වසර 14ක් තිස්සේ මෙම පිළිම ලෙන විහාරය ආශ්‍රිත ලෙන්වල සැඟව සිට සොලීන් හා සටනට තම සේනා රැස්කර ඇති බව කියැවේ. 

පෙරදී  මෙම ස්ථානය ගවලෙනක් ලෙසද ගවයන්ගේ ලැගුම්හලක් ලෙසද තිබූ බවට පැරැන්නනෝ පවසති. ලෙන් විහාරය පිටු පසින් කැලණි ගඟට විශාල උමඟක් තිබූ අතර වළගම්බා රජු සොළීන්ගෙන් ආරක්ෂාවී කැලණි ගඟට දියනෑම සඳහා මේ උමඟ භාවිත කර ඇති බවද කියැවේ. රජුට සැඟව සිටීමට ඉඩ සැලසූ මේ ස්ථානයට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙම ලෙන් විහාරය සාදා ඇති බවද සඳහන් වේ.

06'

දැනට මෙම කටාරම් කොටන ලද ලෙන් විහාරය උඩින් ගල් පර්වතයක කොටා ඇති ශ්‍රීපාද ලාංඡනයක්ද වේ. එකල විසූ ගම්පතීන් මෙම ලෙන් විහාරය සඟ සතු කළ බවට එහි ඇති සෙල් ලිපියක සඳහන් වේ. ලෙන් විහාරය තුළ ඇති සැතපෙන බුදු පිළිමයත්, විනාශවී ගිය 02බිතුසිතුවම් ගරාවැටී ගිය විහාරයත් වල් බිහිවූ පුද බිමත් සංවර්ධනය කර රැකගැනීමට මෑතක සිටි විහාරාධිපති හිමිවරුන් විසින් මහත් වෙහෙසක් ගෙන ඇත. 

එහි මෙතෙක් කලක් වැඩසිටි විහාරාධිපතිවරුන් ලෙස ගංහතේ සෝමරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, මහබාගේ සුමනසාර ලොකු හාමුදුරුවන් වහන්සේ, කෙසෙල්වත්තේ විමලතිස්ස නායක ස්වාමීන් වහන්සේ යන හිමිවරුන් හඳුන්වා දිය හැකිය. අනතුරුව විහාරාධිපති වශයෙන් කටයුතු කරන බුලත්ගම සුමනජෝති හිමියන් වර්තමානයේ මෙම ලෙන් විහාරය ආරක්ෂා කරගනිමින් සතරපේරුවේ දායක දායකාදීන්ගේ සහාය මත දියුණුවට පත්කරමින් වැදගත්වූ ශාසනික සේවයක් කරණු ලබති. උන්වහන්සේ 1992 වර්ෂයේ විහාරාධිපතිත්වයට පත්වීමෙන් පසුව විහාරස්ථානයේ අති මහත් සංවර්ධනයක් ඇතිවිය. පෙබරවාරි 03 දිනය පනස්වන ජන්ම දිනය සමරන උන්වහන්සේ පැවිදි දිවියේ 34 වැනි වසරද උපසම්පදාවෙන් 25 වැනි වියද සපුරති.
 මෙම විහාරස්ථානයේ ඉතිහාසය ගැන විහාරාධිපති බුලත්ගම සුමනජෝති හිමියෝ මෙසේ පැවසූහ. 

08

“මෙම විහාරයේ පුරාණ සිතුවම් මහනුවර යුගයට අයත් බව අනුමාන කළ හැකියි. බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් ලෙන්විහාරය තුළ අදටත් දැකගන්න පුළුවන් එකල ගම්පතීන් විසින් මෙම ලෙන සංඝයා වහන්සේලාට පූජා කළ බවද එම සෙල්ලිපියේ සඳහන් වෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් වසර ගණනකට ඉහතදී මෙම ස්ථානය පරීක්ෂා කර බැලුවා.

 දැනට මෙම විහාරය ආශ්‍රිත පිළිමලෙන දහම් පාසල ක්‍රියාත්මක අතර  ප්‍රදේශයේ බෞද්ධ  දුවා දරුවන් 300ක් පමණ අධ්‍යාපන ලබනවා. රන්වැට සහිත බෝධි ප්‍රාකාරය, අටවිසි බුදුවරුන් සහිත බුදු කුටි, ආවාසගෙය අසල සිට ලෙන් විහාරයට සාදා ඇති ගුවන්පාලම, වාහල්කඩ, පියගැටපෙළවල්, මෑතක කරන ලද සංවර්ධනය විදහා දක්වනවා.

එදා සිට හැටන් නල්ලතන්නි මාර්ගයෙන් සිරිපා වන්දනාවට යන බැතිමතුන් කිතුල්ගල නගරයට පෙර හමුවන මෙම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් කර ආශීර්වාද ලබාගන්නවා. විහාරස්ථානය ආශ්‍රිත බෝධීන් වහන්සේ මෙන්ම, විෂ්ණු, කතරගම, දේවාලයන්ට බාරහාර පුදපූජා පවත්වනවා.

යටියන්තොට - සමන් එස්.රත්නායක



Recommended Articles