වල්දෙණිය ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පිහිටි වසර සියයකට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ දිරාපත්වී අපවත්වීමේ අව


පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වල්දෙණිය ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පිහිටි වසර සියයකට වඩා ඉපැරණි බෝධීන් වහන්සේගේ විශාල ප්‍රමාණයේ අත්තක් කඩාවැටීමෙන් විහාරයේ අලුතින් ඉදිකරමින් පවතින බෝධි ප්‍රාකාරයට සහ එහි බුද්ධ මන්දිරයට හානි සිදුව තිබේ.

මහනුවර දිස්ත්‍රික්කය පුරා පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන්  මෙම බෝධීන් වහන්සේගේ විශාල ප්‍රමාණයේ අත්ත කඩාවැටී ඇති බවත්, මෙම බෝධීන් වහන්සේ දිරාපත්වී  අපවත්වීමේ අවදානමකට මුහුණදී තිබෙන බවත් විහාරාධිකාරී පූජ්‍ය රඹුකේවෙල ශාන්ත හිමියෝ සඳහන් කළහ.

විහාරාධිපති දර්ශනපති පූජ්‍ය වල්දෙණියේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම ඓතිහාසික බෝධින් වහන්සේ රැකගැනීමට  හැකි සෑම  පියවරක්ම ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. 

මෙම බෝධින් වහන්සේගේ තවත් අත්තක් මීට පෙරද කඩාවැටී ඇති අතර, එය ආධාරකයක් මත රඳවා තිබේ. මෙම බෝධීන් වහන්සේ වසර සියයකට වඩා පැරැණි බවත්, බෝධීන් වහන්සේ තුළ විශාල කුහර සෑදී ඇති අතර, එමගින් එය දිරාපත්වන බවට හඳුනා ගෙන ඇති බවත් ප්‍රකාශ කරන උන්වහන්සේ මෙම බෝධීන් වහන්සේ ආරක්ෂා කරගැනීමට උද්භිද විද්‍යාඥයන්ගේ සහාය ලබාදෙන ලෙස වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටියහ.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා සහ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් මංජුලා මඩහපොල මහත්මියද මෙි පිළිබඳව නිරීක්ෂණය කර ඇති අතර, අවශ්‍ය විශේෂඥ සහාය ලබා දෙන බවටද ඔවුන් පොරොන්දුවී තිබේ.

මහනුවර  - මොහොමඩ් ආසික්



Recommended Articles