මහනුවර ශ්‍රී දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර 25 දා


මනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් පෙරෙදා (12දා) ආරම්භ වී ලබන 25 වැනිදා අවසන් රන්දෝලි මහා පෙරහර පවත්වා, පසුදා (26දා) ගැටබේ තොටේදී දියකැපීමේ මංගල්‍යයෙන් අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.

 ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ප්‍රකාශිත දියවඩන නිලමේ විසින් නිකුත් කළ කාලසටහන  පරිදි පෙරහර පැවත්වීම හා ගමන් මාර්ගය මෙසේය.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සමාරම්භය සනිටුහන් කරමින් කප්සිටුවීම පසුගියදා (12දා) පෙරවරු 06 පසුවී විනාඩි 02 ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද පණස, වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොට ඇති සියලු විහාර සහ දේවාලයන්හි ඇසළ කප්,  සිටුවීම සිදු කරන ලදී

පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අනිද්දා (16දා) අපරභාග 06.01 ට වයඹ දිසාව බලා දේවාලයන්හි පෙරහර පිටත්ව සිරිත් පරිදි  ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරියට පැමිණ, පසුව රාත්‍රී 06.16 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදාවීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය,රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

අගෝස්තු මස 17දා රාත්‍රී 07.07 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට කටයුතු යොදා තිබේ.

අගෝස්තු මස 18දා රාත්‍රී 07. 41 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය,කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

අගෝස්තු මස 19දා රාත්‍රී 06.59 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

  අගෝස්තු මස 20දා  රාත්‍රී 06.55 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

රන්දෝලි පෙරහර අගෝස්තු 21දා සිට වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව අගෝස්තු 21  වැනිදා රාත්‍රී 6.35 ට දකුණු දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 7.02 ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රී 7.37 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමග දළදා වීදිය, ඩී.එස්.සේනානයක වීදිය, පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය, ඊ.එල්.සේනානායක වීදිය, හරස් වීදිය ඩී.එස්. සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

අගෝස්තු මස 22 වැනිදා රාත්‍රී 07.02 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

අගෝස්තු 23 වැනිදා රාත්‍රී 6.50 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඊ.එල්.සේනානායක වීදිය,කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය හරස් වීදිය, ඩී.ඇස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට කටයුතු යොදා ඇත.

  අගෝස්තු 24 වැනිදා රාත්‍රී 7.25 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

අනතුරුව අගෝස්තු 25 වැනිදා රාත්‍රී 7.57 ට උතුර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙවීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

දියකැපුම් පෙරහර අගෝස්තු මස 26 වැනිදා අලුයම 1.03 ට උතුර දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහැර සිව්දේවාලයන්හි පෙරහැරත් සමග පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ විහාරයට ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි පෙරහර ආපසු දේවාලයට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල උත්සවය සිදුකොට ආපසු ගණ දෙවි කෝවිලට පැමිණ දේව පුජාව ඉටු කිරීමට නියමිතය.

දවල් පෙරහර අගෝස්තු මස 26 වැනිදා දවල් 11.45 ට නැගෙනහිර දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැලේ වීදිය, දළදාවීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ මංසන්ධියට පැමිණ එදින සවස 2.12 ට නැගෙනහිර දිශාභිමුඛව පෙරහර ගෙඩිගේ විහාරයෙන් පිටත්ව ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ පෙරහැර කැටුව ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දේව වීදිය රජ වීදියට හැරී මාලිගා චතුරශ්‍රයේ තෙවිටක් පැදකුණු කර සවස 4.15 ට නැගෙනහිර බලා ගෙවදීමට නියමිතය.

ලාල් ජයසුන්දර



Recommended Articles