මල්වතු නාහිමියෝ දේශපාලකයන් වර්ජනය කරති


මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැට වලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මරමින් සිටීම හේතුවෙන් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් තීරණය කොට තිබේ .

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාවය මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනාධිපති, අගමැති හා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහා නා හිමියන් මෙම තීරණයට එළඹ තිබේ .

විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියවිල්ල මහනාහිමිවරුන්ට පිළිගැන්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මහනුවරට පැමිණි අවස්ථාවේ ඒ මහතාට මල්වතු මහනායක හිමියන්  බැහැදැකීම සඳහාද අවසර නොලැබුණි .

එහිදී විපක්ෂ නායකවරයාට සිදුවූයේ අස්ගිරි මහා නා හිමියන් පමණක් බැහැදැක අදාල ලියවිල්ල පිළිගැන්වීමටයි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ද පසුගිය 29 වැනි දින මල්වතු මහ නාහිමියන් බැහැදැක පවතින අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඇතුළත් ලියවිල්ලක් පිළිගැන්වීම සඳහා අවසර ඉල්ලා තිබූ අතර ඔවුන්ට ද මහනාහිමියන් වේලාවක් ලබා නො දීමට පියවර ගෙන තිබුණි .

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් කැඳවා පවතින තත්වය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තෛනිකායික මහා නායක හිමිවරුන් තීරණය කොට තිබේ .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles