භාවනාව


කුසල අරමුණක් තුළ සිත දියුණු කරගනිමු

"මහග්ගත චිත්තයෙන්" මෛත්‍රී භාවනාව වඩන ආකාරය ගැන පසුගිය ලිපි කිහිපය තුළ කතාබහ කළ අප, භාවනාවට සූදානම් වූ ඔබේ ශරීරය, ඔබේ ඉරියව්ව තුළ තැන්පත් කරගැනීම ගැන අවසන් වශයෙන් කරුණු විස්තර කළා. එය හොඳින් පුරුදු කළා නම්, දැන් ඔබේ සිත ඉරියව්ව තුළ හොඳින් තැන්පත් වෙලා.

මේ වෙද්දි කේශාන්තයේ සිට පාදාන්තය දක්වාත්, පාදාන්තයේ සිට කේශාන්තය දක්වාත් දෙතුන් වතාවක් සිත ඉරියව්ව ඔස්සේම අරගෙන ගිහිල්ල, ඔබ දිහාම ඔබ දකින අවස්ථාවක්. ඔබ දැන්, ඔබ දිහාම හිතෙන් බලාගෙන, &මම නිදුක් වෙම්වා, නීරෝගි වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා* කියල නැවත නැවත මේ විදියට හොඳට තමන් දිහා බලාගෙන තමන්ටම කිහිප වතාවක් මෛත්‍රිය වඩනවා.

"මම නිදුක් වෙම්වා, නීරෝගි වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා, කායිකවත්, මානසිකවත් සුවසේ ජීවත් වෙම්වා" කියල මේ විදියට බොහොම හොඳට තමන්ටම මෛත්‍රී සිත පතුරුවද්දි, ඔබේ ශරීරයේ ලේ ධාතුව පවා පවිත්‍රත්වයට පත්වෙනවා. මෛත්‍රී භාවනාව ඒ තරම් ප්‍රබල භාවනාවක්. ඔබ මෙහෙම, ඔබ දිහා බලාගෙන ඔබේ හිතෙන් ඔබේ කයට මෛත්‍රිය වැඩුවට පස්සෙ, මීට කලින් ලිපිවල කියාදුන් ක්‍රමයට, "මහග්ගත චිත්තයෙන්" එහෙම නැත්නම් යම් සීමාවක්, වපසරියක් මනසින් පවත්වා ගෙන, ඒ සීමාව, ඒ වපරසරිය විශාල කරමින් මෛත්‍රිය පතුරුවන්න දැන් ඔබට පුළුවන්.

එතනදි, ඔබේ නිවසට, ඔබේ ඉඩමට, ඔබේ ගමට, ඔබේ නගරයට, ඔබේ පළාතට, ඔබේ රටට ආදී වශයෙන් %මහග්ගත චිත්තයෙන්^ මෛත්‍රී චිත්තය පුළුල් පරාසයක් වෙත පතුරුවනවා. &මේ නිවසේ, මේ ඉඩමේ, මේ ගමේ, මේ නගරයේ, මේ පළාතේ, මේ රටේ සිටින සෑම සත්වයෙක්ම, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා* කියල ඉතාමත් හොඳින්, නැවත නැවතත් කිහිප වතාවක් ඒ ඒ  සීමාවන් එකිනෙක අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. ඔබට මෛත්‍රී භාවනාව ආරම්භ කරන්න මේ කරුණු ටික ප්‍රමාණවත් ඇති කියල අප විශ්වාස කරනවා.

ඉදිරියේදී "අප්පමාණ චෙතො විමුත්තිය" ඇසුරෙන් මෛත්‍රී සිත වඩන්නෙ කොහොමද කියල, මෛත්‍රී භාවනාව ගැන තවත් කරුණු ටිකක් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. ඒ නිසා දැන් ඔබ ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව පුරුදු කරන්න. මේ වසංගත කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. බොහෝ දෙනෙක් කිව්වෙ, "අනේ භාවනා කරන්න තියා, හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ" කියලයි. දැන් ඔබට වෙනදාට වැඩිය යම් වෙලාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන්න පටන් ගන්න. උදේ නැගිටල පටන් ගන්න. දවසේ ලැබෙන හැම විවේකයකම ටික ටික හරි භාවනා කරන්න. දින කිහිපයක්, සතියක් දෙකක්, මාසයක් යනවිට ඔබ කොතරම් භාවනාවෙන් ප්‍රයෝජනයක් ලබලද, සිත දියුණු කරගෙනද කියල ඔබටම වැටහේවි. ඔබේ සිත වැඩෙන ආකාරය ඔබටම දකින්න පුළුවන් වේවි. ඒ නිසා භාවනාව ඔබට ආශිර්වාදයක් කරගන්න. ඒ නිසා ඔබ හැමදෙනාම මෛත්‍රී භාවනාව දියුණු කරගෙන, මෛත්‍රී සිත වඩාගෙන, පින අතර අග්‍රම පිණක් වන මේ මෛත්‍රිය දියුණු කරගන්න.



Recommended Articles