නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරයේ නටඹුන් විනාශවීමේ අවදානමක


කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙස හඳුන්වාදීමට මූලික වන්නේ එම විහාරස්ථානයේ ඇති වසර 2000ට වඩා ඉපැරණි යැයි සැලකෙන සෙල්ලිපියයි. මෙම අවට ගම්මානයන්ද දේවානම්පියතිස්ස රජතුමා විසින් පිරිනැමූ ගම්මානයන් බවට සැලකේ. 

දුටුගැමුණු රජතුමා විසින් තනනා ලද රුවන්වැලි සෑ චෛත්‍යයේ තැන්පත් කිරීම සඳහා රත්හඳුන්වලින් පිළිමයක් අවශ්‍යව ඇති අතර, එම පිළිම වහන්සේ මෙම ස්ථානයේ නිර්මාණය කර ඇති හෙයින් නෙලුවේගෙදර යන නම සෑදී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

එවැනි ඓතිහාසික පසුබිමකින් හෙබි වුවද මේ වන විට වල්බිහිවෙමින් පවතින රජමහා විහාරයක් බවට නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරය පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
ගලක නෙළා ඇති ඉපැරණි සිරිපතුල් දෙකක්,මල් දෝවනය කරනා ආසනයක කොටා ඇති පැරණි සෙල්ලිපියක්, මැටි කරඬුවක්, ලංකාවේ ස්ථාන දෙකක පමණක් පවතින ගලින් නිර්මාණය කළ කොත් වහන්සේ නමක් වැඩ හිඳින, ඉපැරණි කවන්දයක් ඇති මෙම විහාරස්ථාන භූමිය කිසිවෙකුගේ අවධානයක් නොමැතිවීම හේතුවෙන් මේ වන විට විනාශ වෙමින් පවතින බව ඔවුහු පවසති.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය පැවතුනද මෙහි ඓතිහාසික නටබුන් නිසි සංරක්ෂණයක් නොමැතිවීම හේතුවෙන් මේ වන විට විනාශ මුඛයට ඇඳවැටී තිබේ.
මෙම විහාරස්ථානයේ විහාරාධිකාරී උඩුනුවර, කඹුරාදෙණියේ ඥානතිස්ස හිමියෝ මේ පිළිබඳව මෙසේ පැවසූහ.

&මෙම විහාරස්ථානය වළගම්බා යුගයට අයත් විහාරස්ථානයක්. ලීලාවති රැජිනගේත් මෙම විහාරස්ථානයට සම්බන්ධයක් තියෙනවා. මෙය වසර 2000කට වඩා ඉපැරණි විහාරස්ථානයක් මේ. ඉපැරණි බෝධීන් වහන්සේලා මේ භූමියේ වැඩ වෙසෙනවා. වසර 2000කට වඩා ඉපැරණි යැයි සැලකෙන මල් දෝවනය කිරීමට තනා ඇති ගල් ආසනයක කොටා ඇති සෙල්ලිපියක් මේ වෙද්දී විනාශ වෙමින් පවතිනවා. එහි තියෙන බ්‍රාහ්මීය අක්ෂර දැන් නොපෙනෙන මට්ටමට ඇවිත් තියෙන්නේ. අව් වැහිවලට ලක්වෙලා ඒ වගේම විහාරස්ථානයේ ඇති නටබුන් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී විනාශ වෙලා තියෙනවා. චෝල ආක්‍රමණවලින් දහසක් සෙබළු මැරුණට පස්සේ කවන්දයක් නිර්මාණය කරලා තියෙනවා. එවැනි කවන්දයක් මේ විහාරස්ථානයේ තියෙනවා. හිටපු උපාසක අම්මලා රජ කෙනෙක් විදියට මේක නිර්මාණය කරලා තියෙනවා. නමුත් ඒක ඇතුළේ තියෙන්නේ කවන්දයක්. මෙම කවන්දය නිසා මෙම විහාරස්ථානය පොළොන්නරු යුගයටත් සම්බන්ධයක් තියෙන බව පැහැදිලියි. රජයෙන් මම මට පහසුකම් ඉල්ලන්නේ නෑ. මතු පරපුර වෙනුවෙන් මේ නටබුන් සංරක්ෂණය කරලා දෙන්න කියලයි මම ඉල්ලන්නේ. ගලින් නෙළපු කොත් දෙකයි තියෙන්නේ පොළොන්නරු යුගයේ. ඒ එක කොතක් විදියට මෙය විශ්වාස කළ හැක්කේ ගලින් නිර්මාණය කරපු කොතක් නිසයි. අපි රජයෙන් ඉල්ලන්නේ හැකි ඉක්මනින් මේ නටබුන් සංරක්ෂණය කරන්න කටයුතු කරන්න කියලායි. මේ වෙද්දී නිසි සංරක්ෂණයක් නොමැති නිසා නටඹුන් ගොඩක් විනාශ වෙලා තියෙනවා. මේවා තවත් විනාශ වුණොත් මතු පරපුරට මේ දේවල් දකින්න වෙන්නේ නෑ.
මේ පිළිබඳ විමසීමට අවැසි නම් නෙලුවේගෙදර රජමහා විහාරයේ විහාරාධිකාරී කඹුරාදෙණියේ ඥානතිස්ස හිමියන්ගෙන් 0722806550 යන දුරකථන අංකය ඔස්සේ විමසිය හැකිය. 

වඩුමුන්නේගෙදර - ටී.පී.අධිකාරී



Recommended Articles