දුෂ්කරතා රැසක් මැද පවත්වාගෙන යන මඩකලපුව ශ්‍රී සුමනරතන මූලික පිරිවෙන


මඩකලපුව ශ්‍රී මංගලාරාම රජමහ විහාර‍යට අනුබද්ධව පිහිටුවා ඇති ශ්‍රී සුමනරතන මූලික පිරිවෙනෙහි පවතින අඩුපාඩු සපුරා ගැනීමට විහාරාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.

මේ පිළිබඳ අදහස් දැක්වූ අම්පිටියේ සුමනරතන නාහිමියෝ මෙසේ පවසා සිටියහ.  

“මඩකලපුව දිස්ත්‍රික්කයට එකදු පිරිවෙනක් හෝ තිබුණේ නැහැ. එම ජාතික ආගමික අවශ්‍යතාව අනුව මම හිතුවා අපේ පන්සලේ පිරිවෙනක් ආරම්භ කළොත් හොඳයි කියල. ඒ අනුව අපි පසුගිය ජනවාරි මාසේ දෙවැනිදා  ශ්‍රී සුමනරතන මූලික පිරිවෙන නමින් පිරිවෙනක් පටන් ගත්තා. බොහෝ දුෂ්කරතා මැද පුංචි බිමක පිරිවෙන කරගෙන යනවා. අපට තිබෙන ලොකුම ගැටලුව අවුරුද්ද පුරා උදෑසන, දහවල දානය හා ගිලන්පස ආදිය සපයා ගැනීම. මේ තත්ත්වය මතුවෙලා තියෙන්නේ අපට දායක පිරිසක් නැති එක. මේ අවශ්‍යතාව සපුරන්න පුළුවන්නම් මේ ඉගෙන ගන්න පොඩි හාමුදුරුවරුන්ට කරන ලොකුම උදව්වක්”
පරිවෙනාධිපති පුජ්‍ය අඹගහපිටියේ සීලරතන හිමියෝ මෙසේ පැවසූහ. 

“ අපේ පිරිවෙන දැන් රජයේ ලියාපදිංචි කරලා තියෙන්නේ. දැන් මෙහි පොඩි හාමුදුරුවරු විසිපස්දෙනෙකුත්, ගිහි ශිෂ්‍යයෝ දහදෙනෙකුත් ඉගෙන ගන්නවා. ගුරුවරු හය දෙනෙක් සේවය කරනවා. නමුත් දැන් අපට සිංහල විෂය සඳහා ගුරු පුරප්පාඩුවක් තිබෙනවා. ඒ සඳහා ප්‍රාචීන මධ්‍යම විභාගය සමත් හිමිනමක් අවශ්‍යයි. අපට ප්‍රත්‍ය පහසුකම් නොලැබෙනවා වගේම, පිරිවෙන පවත්වාගෙන යන්න බැරි තවත් දුෂ්කරතා ගොඩක් තිබෙනවා.අමාත්‍යාංශයෙන් ලැබුණෙ ඩෙස් හයයි, පුටු හයයි විතරයි. ඒ නිසා පන්තිවලට ඩෙස් පුටු අඩුයි. ඒ වගේම අපට ශිෂ්‍යයන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කරන්න නිර්මාණ පුවරු, දැන්වීම් පුවරු කිහිපයක් අවශ්‍යයි. ඒ වගේම කාර්යාලයීය උපකරණත් පිරිවෙනට නැහැ. පන්ති කාමර ගොඩනැගිල්ලක් හදාගන්න උවමනාව දැඩිව තිබෙනවා. විහාරාධිපති හාමුදුරුවන්ගේ ඒ සඳහා යම් සැලැස්මක් තිබෙනවා. ඉතින් මේ සියල්ල කර ගන්න අපට දායක වෙන්න කාට හෝ පුළුවන් නම් ඒක අපට මහත් ශක්තියක් වෙනවා.”

මේ සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලියෙකුට 071-8668508 යන දුරකථන අංකයෙන් පරිවෙනාධිපති හිමියන් අමතා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. එමෙන්ම මේ සඳහා වන මුදල් පරිත්‍යාග, මහජන බැංකුව (මඩකලපුව ශාඛාවේ පිහිටුවා ඇති 075 2001 2004 5156 ගිණුම් අංකය හෝ කොමර්ෂල් බැංකුව (මඩකලපුව ශඛාවේ) 8105002394 දරන ගිණුම් අංකය යටතේ විවෘත කොට ඇති ගිණුමට බැර කළ හැකිය. 

කල්තොට - බුදුගල සෝමරතන හිමි

 



Recommended Articles