දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති ශ්‍රී විද්‍යාභානු දහම් පාසල


තණමල්විල හම්බෙගමුව දහයියාගල ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථ ශ්‍රී විද්‍යාභානු දහම් පාසලේ පවතින අඩුපාඩු හේතුවෙන් එහි ඉගෙනුම ලබන දරුදැරියෝ ගැටලු රැසකට මුහුණදී සිටිති. 
දහම් පාසලේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ එහි ප්‍රධානාචාර්ය පුජ්‍ය කැන්දකැටියේ සද්ධාසිරි හිමියෝ මෙසේ පැවසූහ.

 “මේ දහම් පාසල ආරම්භ කළේ පසුගිය ජනවාරි හත්වැනිදා. මම මේ පන්සලට ඇවිල්ල දැනට අවුරුදු විස්සකට වැඩියි. ගමට පන්සලත් එක්ක දහම් පාසලකුත් අවශ්‍ය බව අපට තේරුම් ගිය නිසා මෙය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා. ගමේ හැමෝම වාගේ ගොවිතැන් කරලයි ජීවත් වෙන්නෙ. මේ වනවිට මෙහි දරුවෝ 82ක් පමණ ඉගෙන ගන්නවා. ගුරුවරු 11ක් ඉන්නවා. සංඝාවාසයේ තමයි දැනට මෙය පවත්වාගෙන යන්නේ.” 

උපප්‍රධානාචාර්ය ජේ.ඒ.පී. නිරෝෂණි මහත්මිය,

“ කොච්චර අපහසුතා තිබුණත් අපි ගමෙන් හා අවට ගම්වලින් ගුරුවරු සොයා ගෙන අපේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරනවා. අපේ හාමුදුරුවන්ට වැඩ ඉන්න අමාරුවෙන් දායක සභාවෙන් හදාදුන්න සංඝාවාසයේ තමයි දැනට දහම් පාසල කරගෙන යන්නෙ. හරියට බණ ශාලාවක් නැහැ. පොඩි කාමර දෙකක් එක්ක තියෙන පුංචි ශාලාවෙත් එළියෙ ගස් යටත් අපි පන්ති කරනවා. හාමුදුරුවොත් වැඩ ඉන්නෙ ඒකෙමයි. දහම් පාසල් කටයුතු පිළිවෙළකට කරගෙන යන්න කාර්යාලයක් අවශ්‍යයි. දරුවන්ට වාඩි වෙන්න බංකු පුටු ආදිය නැහැ.රජයෙන් කියල තාම මොකුත් ලැබුණෙ නැහැ.”

පියෙකු වන පී.ජී. සංජීව දිසානායක මහතා,

“අපේ ගමේ වැඩි දෙනෙක් කුඹුරු හා හේන් ගොවිතැන් කරලයි ජීවත් වෙන්නෙ. වෙන අමතර ආදායම් නැහැ. හේනෙන් කුඹුරෙන් ගන්න අස්වැන්නෙන් තමයි සේරම කරන්නෙ. ඒක ගන්නෙත් දහසක් වද වේදනා විදල .ඒවාටත් නිතරම වාගේ අලි රංචු පිටින් ඇවිත් ඒ සේරම විනාශ කරල දානවා. එතකොට අපි පුදුම විදියට  අසරණ තත්ත්වයට පත් වෙනවා. අතේ තිබුණු තුට්ටු දෙකක් වියදම් වෙලා ඒ අස්වැන්නත් නැති වෙනවා. ඉතින් අපි දරුවන්ට උගන්වන්නෙ, දහම් පාසලට යන්න ඇඳුමක්වත් අරන් දෙන්නෙ සෑහෙන අමාරුවෙන්.”

ශිෂ්‍ය නායිකා යූ. ඩබ්.චමෝදි හංසිකා,

 අපේ ගමේ දහම් පාසලක් නොතිබුණු නිසා ගොඩක් ළමයි දහම් පාසල් ගියේ නැහැ. මේ අවුරුද්දෙ ගමේ පන්සලේ දහම් පාසල පටන් ගත්තු නිසා දැන් ළමයි සතුටින් එනවා. අපි මෙවර දහම් පාසල් තරගවලටත් ගියා. ඒ වුණාට අපේ දහම් පාසලේ අපට වාඩිවෙන්න බංකු, පුටු ආදියත් ලියන්න ඩෙස් ආදියත් නැහැ. බ්ලොක් ගල් දෙකක් උඩ ලෑලි කෑල්ලක් දාල තමයි අපි වාඩි වෙන්නෙ. එහෙම නැත්නම් පැදුරක් දාල. අපට නගරයේ වගේ ගොඩක් පහසුකම් ඕනි නැහැ. නිල ඇඳුමයි ඩෙස් පුටු බංකු ටිකකුයි පොත්පත් පෑන් ආදිය තමයි ඕනි වෙන්නෙ. අපට උදවු කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනව නම් ඒක අපට කරන ලොකුම උදව්වක්. ඒ අයට ගොඩක් පින් සිද්ධ වෙනවා.

මෙම දහම් පාසලට යම් පරිත්‍යාගයක් කිරීමට කැමති අයෙකුට 071 4650809/ 078 3040336 යන දුරකථන අංක අමතා නිරෝෂණි මහත්මිය අමතා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.  

කල්තොට- බුදුගල සෝමරතන හිමි



Recommended Articles