තම දෑතින්ම විහාරස්ථානයක් ඉදිකරන බුද්ධ පුත්‍රයෙක්


IMG_20180417_151318

දරුවන් සිවු දෙනාත් බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහි කල තමන් සතුව තිබූ දේපොළ විකුණා ලබා ගත් මුදලින් තම දෑතින්ම විහාරස්ථානයක් ඉදි කරන බුද්ධ පුත්‍රයෙකු පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී අපට හමු විය.
වැලිකන්ද මහවැව ශ්‍රී ශාන්ත නිකේතනාරාමයේ වැඩ වාසය කරන වලපනේ අභයරතන හිමියෝ මෙම උතුම් කාර්යයෙහි නිරතව සිටිති.

විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය මෙන්ම විහාරස්ථානයට පිවිසුම් පඩිපෙළ ඇතුළු විහාරාංග ඉදිකිරීමට උන්වහන්සේ සිය ශ්‍රම දායකත්වය සපයමින් සිටින අයුරු එහි සංචාරයේ නිරත අපට දක්නට ලැබිණි.
වලපනේ නිල්දණ්ඩාහින්න ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අබේසේකර සහ ජී. ඩබ්ලිව් සිරියාවතී යන යුවළට දාව උපන් දරුවන් සිවු දෙනාගෙන් තිදෙනෙකු 2004 වසරේදී පළමුව සසුන් කෙතට ඇතුළත් වූහ.
ඒ අලව්ව වැලිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උස්සාපිටියේ පඤ්ඤරංසි නායක හිමියන්ගේ උපදේශකත්වයෙනි.IMG_20180417_151136

වලපනේ ධම්මවංශ, වලපනේ අරියවිමල, වලපනේ පඤ්ඤාධීර නමින් ඔවුන් සසුන්ගත වී ඇති අතර මේ වන විට එම සාමණේරවරු වයස අවුරුදු 24, 21 සහ 18 වියෙහි පසු වෙති.
අනතුරුව 2005 වසරේදී මහරගම පඤ්ඤාතිලක මහ පිරිවෙන් අනුනායක විමලබුද්ධි නාහිමියන්ගේ උපදේශකත්ව යටතේ වලපනේ අභයරතන වලපනේ ධම්මචේතනා සහ වලපනේ සුබෝධි යනුවෙන් පියාත් මවත් බාල පුත්‍රයාත් සසුන් කෙතට ඇතුළත්ව සිටිති.
වලපනේ අභයරතන හිමියන්ගේ වයස අවුරුදු 49කි. වලපනේ ධම්මචේතනා මෙහෙණින් වහන්සේගේ වයස 44ක් වන අතර උන්වහන්සේ මේ වන විට කුරුවිට වාලුකාරාම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ වාසය කරති. 14 වියෙහි පසුවන වලපනේ සුබෝධි හිමියෝ මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩ වාසය කරති. 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ වලපනේ අභයරතන හිමියෝ මෙසේ පවසා සිටියහ.

 & මගේ මුළු පවුලම පැවිදි වුණා. බුදු දහම පවත්වාගෙන යෑම ඉතා වැදත්. මම ගිහි කල හම්බ කරපු සියලු දේවල් ශාසනයට පූජා කළා. මගේ ස්ථිර නිවසත්, ගොඩ ඉඩමත් විකුණලා ඒ මුදල්වලින් මේ පන්සලේ අඩුපාඩු හදනවා. දැන් අවුරුදු 03ක ඉඳලා මේ පන්සලේ මම වැඩ වාසය කරනවා. සිමෙන්ති බදාම අනලා මගේ අතත් තුවාල වුණා. මට මේසන් වැඩ වඩු වැඩ හොඳට පුළුවන්. මේ පළාතේ දායකයන්ටත් තිබෙන ආර්ථික ගැටලු නිසා මම හිතුවා මම ගිහි කල හම්බ කරපුවා ශාසනයට පූජා කරන්න. ඒ නිසා මා විසින්ම බෝධි ප්‍රාකාරයයි, පන්සලේ අඩුපාඩු ටිකයි හදනවා. බුද්ධශාසනය වෙනුවෙන් මට කරන්න හැකි උපරිම සේවය කරනවා. දැන් අරියවිමල හාමුදුරුවෝ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. පඤ්ඤාධීර හාමුදුරුවෝත් විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නේ. මම විහාරස්ථාන පහක හයක වැඩ වාසය කළා. සිංහරාජයේ වසර 04ක් වනවාසීවත් හිටියා. දැන් ඉතිං මේ දුෂ්කර පන්සල දියුණු කරගෙන වැඩ ඉන්නවා. මේ පළාතේ සමහර පන්සල්වල භික්ෂූන් වහන්සේලාට කිසි පහසුකමක් නැහැ. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වුණොත් ලොකු පිනක්.

මනම්පිටිය - නිමල් ජයරත්න

IMG_20180417_151327 IMG_20180417_151601 IMG_20180417_151853

 



Recommended Articles