කූරගල ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු 28 දා අරඹයි


බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු මස 28 පෝය දින සිදුකිරීමට ආරම්භ කරන බව ඓතිහාසික කූරගල පුදබිම භාරකාර වතුකුඹුරේ ධම්මරතන නාහිමියෝ අද (03) සඳහන් කළහ.

උන්වහන්සේ මේ බව සදහන් කළේ  සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අඩි සියයක් උස චෛත්‍යයක් සහ සංඝාවාසයක් කූරගල පුදබිමේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. 

එහි ඉදිකිරීම් කටයුතු මාර්තු මස 28 වන පුන් පොහෝ දින ආරම්භ කරන බව පූජ්‍ය වතුකුඹුරේ ධම්මරතන නාහිමි පැවැසූහ.

කූරගල පුදබිමේ සියළු ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා, වනජීවී හා වන සංරක්ෂණ ආයතන ඇතුළු රාජ්‍ය ආයතන වල නීතිරීති වලට යටත්ව සිදුකරන බව උන්වහන්සේ පැවැසූහ.

කූරගල පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දේශිය මෙන්ම විදේශිය බෞද්ධ බැතිමතුන් රැසක් මුල්‍ය හා වෙනත් පරිත්‍යාග ලබා දීමට එකඟතාවයන් පල කර ඇති බවද පූජ්‍ය වතුකුඹුරේ ධම්මරතන නාහිමියන් සඳහන් කළහ.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේ කූරගල පුදබිමට පැමිණ එය සංරක්ෂණය කිරීම සදහා මැදිහත්වූ බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙහිදි අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා කූරගල පුද බිමේ සියළු ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රජය සහ පළාත් සභාව පුර්ණ දායකත්වය ලබා දෙන බව පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් පේමසිරි, ශ්‍රිලාල් සෙනවිරත්න, කැළුම් හෙලපල්ල, බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ අනුර මණතුංග, රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.



Recommended Articles