කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයකින් භාරකාර මණ්ඩලයට


කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මගින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් සංවර්ධනය කර ඇති අක්කර 7 ½ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කොටස් 07ක් එම භාරකාර මණ්ඩලය වෙත ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් දීර්ඝකාලීන බදුකර තුනක් මගින් ලබාදී තිබේ.

තවත් එක් ඉඩම් කොටසක් බදු පදනම මත ලබාගැනීම සඳහා කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් එම දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. බදු පදනම මත ලබාදී ඇති ඉඩම් සියල්ල මනාව සංවර්ධනය කර ඇති බැවින් සහ එම ඉඩම් කළුතර බෝධි භාරකාර මණ්ඩලයට ලබාදීම පූජාභූමිය සංවර්ධනයට පිටිවහලක් වන බැවින්  එකී ඉඩම් කොටස් නිදහස් දීමනාවක් වශයෙන් පවරාදීම යෝග්‍ය බව රජයට පෙනී‍ගොස් ඇත.

ඒ අනුව දැනට බදුපදනම මත ලබාදී ඇති එකී ඉඩම් කොටස් එක් නිදහස් දීමනාවක් වශයෙන් කළුතර බෝධි භාරකාර මණ්ඩලයට ලබාදීමටත් දැනට සංවර්ධනය කර ප්‍ර‘යෝජනයට ගනු ලබන ඉතිරි ඉඩම් කොටස් ඉදිරියේදී ප්‍ර‘දේශයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් අත්පත් කරගනු ලබන ප්‍රමාණය වන්දි ගෙවීමකින් තොරව ආපසු ලබාගැනීමට යටත්ව, දීර්ඝකාලීන බද්දක් වශයෙන් එම භාරකාර මණ්ඩලයට ලබාදීමටත් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



Recommended Articles