උපසම්පදා විනය කර්ම දින නියමක් නොමැතිව කල් දමයි


උපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

එබැවින් සියම් මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්හි වාර්ෂිකව සිදුකෙරෙන්නාවූ උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට මහනායක ස්වාමින්ද්‍රන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

සෑම වර්ෂයකම වෙසක් පුන් පොහෝ දින සිට පොසොන් පුන් පොහෝ දිනය දක්වා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් කේන්ද්‍ර කරගනිමින් උපසම්පදා විනයකර්ම සිදුකරන බවත් මෙම වසරේ මැයි මස 07 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් මෙම පුණ්‍යයෝත්සවය ආරම්භ වීමට නියමිතව තිබූ බවත් මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන්නේ මහ සංඝරත්නය හා සැදැහැවතුන් ආරක්ෂා වීමෙන් බවත් මෙම අවස්ථාවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව සියලු දෙනා නිවෙස් වලට වී සිටීම වැදගත් බවත් කී සුමංගල නාහිමියෝ සියලු කරදර වලින් රට මිදුණු පසු උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකරන බවද සදහන් කළේය.

මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් මූලිකත්වයෙන් සිදු කෙරෙන්නාවූ වෙසක් උත්සවද මෙවර නොපැවැත්වීමට තීරණය කළේ යැයි උන්වහන්සේ කීහ.

චමිල් රූපසිංහ



Recommended Articles