උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානය



අවිවේකී ජීවිතවලට විවේකයක් ලබා ගැනීමට මෙන්ම අධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගැනීම උදෙසාද ඉතාමත් උචිත ස්ථානයක් ලෙස උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකිය. 


වැලිමඩ බෝගහකුඹුර නගරයේ සිට හෙවණකුඹුර මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගිය විට උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ළඟා විය හැකිය. ඉතා සුන්දර නිස්කලංක පරිසරයක අක්කර පහ හමාරක ඉඩමක මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබේ. 1985 මැයි මස 29 වැනිදා මෙය ආරම්භ කර තිබේ. මෙහි වත්මන්  භාරකාරත්වය උසුලනු ලබන්නේ පූජ්‍ය තලගල විමලධම්ම හිමියන්ය. බොහෝ දෙනා මේ ස්ථානයට පැමිණ භාවනා කරමින් නිදහසේ කාලය ගත කිරීමට හුරුව තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ  පූජ්‍ය තලගල විමලධම්ම හිමියෝ,

මෙහි භාවනා කිරීමට විශාල පිරිසක් පැමිණෙනවා. ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. භාවනා කරන්න එන අයට මෙහි නේවාසිකව ඉන්න පුළුවන් ඒ අයට කැමති දවසක්. දානය ඇතුළු සියලු දේ පින්වතුන්ගේ ආධාර ඇතිව අපි සපයනවා. 

භාවනා වැඩසටහන්, ධර්ම දේශනා, බෝධි පූජා වැඩසටහන් මේ මධ්‍යස්ථානයේදෛනිකව සිදු කෙරෙනවා. භාවනා කරන පින්වතුන්ට වෙන වෙනම කුඩා කුටි ඉදි කර තියෙනවා. මේ මධ්‍යස්ථානය දැන් විදේශීය රටවලත් පැසසුමට ලක්වී තියෙනවා. බොහෝ විදේශීය ජාතිකයනුත් මේ මධ්‍යස්ථානයට භාවනා කරන්න එනවා. මේ ස්ථානයේ සියලු දේ කෙරෙන්නේ කාලසටහනකට අනුවයි. මේ ස්ථානයට එන අය පුරුද්දක් වශයෙන් වර්ෂයකට කිහිප වතාවක් පැමිණෙනවා. ඒ අය ඇවිත් සති දෙක තුනක් මෙහි භාවනා වැඩසටහන්වලට හා අාගමික කටයුතුවලට සහභාගි වෙනවා. 

අපේ මූලස්ථාන භාවනා මධ්‍යස්ථානය තමයි බස්නාහිර පළාතේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානය.එහි භාවනා කරපු උපාසක මහත්තයෙකු තමයි මේ භාවනා මධ්‍යස්ථානය හදන්න මුල් වුණේ. ඉන් පස්සේ ප්‍රදේශවාසීන් මේ භාවනා මධ්‍යස්ථානය ගැන දැන ගෙන මෙහි කෙරෙන කටයුතු සඳහා සම්බන්ධ වුණා. ඒ අනුව තමයි මේ භාවනා මධ්‍යස්ථානය පුළුල් වෙලා තියෙන්නේ. දැනට මේ භාවනා මධ්‍යස්ථානය අක්කර පහක පමණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ශ්‍රද්ධාවෙන් පූජා කරපු අයත් ඉන්නවා. සමහර ඉඩම් මුදලටත් ලබා ගත්තා. විපස්සනා භාවනා සමිතිය මගින් තමයි දැනට මේක පාලනය වන්නේ. 
බොහෝ නොමග ගිය අය මේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා කළා. ඒ අය සුමගට ආවේ මේ ස්ථානය නිසා. 

මේ එන අයට ඉඩ පහසුකම් තමයි මේ වන විට මදි වෙලා තියෙන්නේ. භික්ෂූන් වහන්සේලාත් කිහිප නමක් මෙහි වැඩ සිටිනවා. භාවනා කරන්න පැමිණි ජනතාවත් මෙහි නේවාසිකව සිටිනවා. 

මෙහි තිබෙන දාන ශාලාව කුඩා නිසා මෙම ස්ථානයට භාවනා කිරීමට පැමිණෙන පිරිස තරමක දුෂ්කරතාවට පත් වෙනවා. කාට හරි පුළුවන්නම් භාවනා කුටි කිහිපයක් හා අලුතින් දාන ශාලාවක් ඉදිකර දෙන්න ඒක ලොකු පිනක්. ඒ වගේම විෂමාචාර ක්‍රියාවලට, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වෙලා නම් මේ ස්ථානයට ඇවිත් භාවනා කරලා සිත් පහදවා ගෙන ඒවායින් මිදෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් අය මේ ස්ථානයට ඇවිත් යහපත් පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. 

උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන පින්වතුන්ට ඉහත කී දුෂ්කරතා දුරු කිරීමට කවර හෝ දානපතියෙකුට දායකත්වයක් දරන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්. * යැයි පැවසූහ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 - 1310400, 057 3570370 යන දුරකථන අංකවලින් උඩුකිරින්ද විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තලගල විමලධම්ම හිමියන් සම්බන්ධ කර ගැනීමෙන් ලබා ගත හැකිය. 

- වැලිමඩ කුමාරගේ



Recommended Articles