සෝභිත හිමියන්ගේ අපවත් වීම බෞද්ධ ලෝකයටම විශාල පාඩුවක්


  සමාජය යහමග යැවීමට කැපවු ,  ජනතාව අවධිකරවු  මාදුළුවාවේ සෝභිත මාහිමියන්ගේ අපවත් වීම පිරිමැසිය නොහැකි පාඩුවක් බව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපිති පුජ්‍ය පරවාහැර  චන්දරතන  හිමියෝ පවසති. ප්‍රංශයේ සිට නිවේදනයක් නිකුත්කරමින් උන්වහන්සේ මේබව පවසති. එම නිවේදනය පහත පරිදිය

      වර්ථමාන ශී‍්‍ර ලංකාවේ පහල වූ රටට දැයට මෙන්ම බුද්ධ ශාසනයට ද ඉමහත් සේවයක් සිදුකළ වාදීභසිංහ මාදුළුවාවේ සෝභිත මාහිමියන් ගේ අපවත් වීම මුළු මහත් බෞද්ධ ලෝකයටම විශාල  පාඩුවකි..

       බුද්ධ වචනයට අනුව සියළු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍යතාවය පසක් කරමින් සදහටම දෙනෙත් පියාගත් සෝභිත හිමියන් සිදුකළ ජාතික ආගමික හා සාමාජික සේවාව කිසි දිනක  කිසිවෙකුටත් අමතක නොවනු ඇත .

 දේශපාලන වශයෙන් විවිධ මත දරුවත් උන්වහන්සේ සැමදා විපක්ෂයේ සිටි බව අමුතුවෙන් කිය යුතු නොවේ. රටට දැයට යම් ව්‍යසනයක් වන බව දුටු උන්වහන්සේගේ ජාතික සංඝ සම්මේලනය පෙරටු කොට නැගී සිටි අවස්ථා අපට මතකය. ජේ ආර් ජයවර්ධන යුගයේ ඉන්දීය හමුදා ආගමනයට විරුද්ධව පිටකොටුවේ සිදු කළ සත්‍ය ග‍්‍රහයේ දී උන්වහන්සේ ගේ ජීවිතය බේරුණේ අසීරුවෙනි. චන්ද්‍රිකා කුමාරතුංග  මහත්මියගේ යුගයේ කරන ලද ඇතැම් ප‍්‍රතිසංස්කරණ වලට විරුද්ධව උන්වහන්සේ නැගී සිටි ආකාරය ද අපට මතකය. ජාතියේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත්ව කටයුතු කළ අවස්ථා වලදී පහර කෑමට පවා උන්වහන්සේ ලක් විය. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් හා උන්වහන්සේ ජේ ආර් ජයවර්ධන යුගයේ දී මැරවරයන්ගෙන් පහර කෑමට ලක් වූයේ රටේ සුභ සිද්ධිය වෙනුවෙන් පැවති සමුළුවකදී ය. අවසාන වශයෙන් යහපාලනය ඇති කිරීමට සාධාරණ සමාජයක් වෙනුවෙන් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය උන්වහන්සේ බලාපොරොත්තු වූ දේ සිදු නොවුණු විට නිර්භයව එය විවේචනය කරමින් වත්මන් රජය තමන්ට පා පහර දී ඇති බවත් ගෝඨාභය මහතා කරන ලද දේ වත් රැක ගැනීමට අපහසු බවත් වේදනාවෙන් ප‍්‍රකාශ කළහ.

    උන්වහන්සේ තම  ධර්මදේශනා වලින් පවා උන්වහන්සේ නිදා සිටි ජනතාව අවදි කිරීමට උත්සහ කළහ. සමාජය යහමග යැවීමට උන්වහන්සේ විසින් රට පුරා කරන ලද ධර්ම දේශනා දහස් ගණනකි.

   කවරෙකුගේ වුවද ආරාධනයක් ප‍්‍රතික්ෂේප නොකළ උන්වහන්සේ උස්  පහත්කම් නොබලා සැම දෙනාගේම ආරාධනා වලට වැඩම කළහ. බොහෝ අවස්ථාවල නිදිවරමින් මහජනයාගේ කටයුතු වලට කැප වූ ආකාරය අප සියැසින් දැක තිබේ.

   සමාජ සේවාවන් වලදී උන්වහන්සේ සිදු කරන ලද කාර්යභාරය කියා නිමකළ නොහැකි තරම් ය. මායිම් ගම්මාන ලෙස යුධ  සමයේ හැඳින් වූ ප‍්‍රදේශ වල ජනතාව වෙනුවෙන් නිවාස සාදා දීමට ජනතාව දැනුවත් කරමින් සිදු කළ සේවය ඉතා විශාලය.

 ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සෙක්සා පදනම මගින් සංවිධානය කළ අසරණ සරණ සේවාවන් වලදී සෝභිත හිමිපාණන් දක්වන ලද මගපෙන්වීම කිසි සේත් ම සුුළුපටු නොවේ. 1994 වසරේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පවත්වන ලද ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමේ උත්සවයේ උන්වහන්සේ විසින්  කරන ලද දේශනය නිසා එම වැඩසටහන ඉදිරියට ගෙන යන්නට ලැබුණු සහයෝගය බෙහෙවින් ම අගය කළ යුතුය. කැබිතිගොල්ලෑව ඛේදවාචකය නිමිති කරගෙන අප මෙහෙය වූ වැඩසටහන සහභාගී වී උන්වහන්සේ සිදු කළ දේශනය අසරණ ජනතාවය මහත් අස්වැසිල්ලක් විය. අප ආරම්භ කළ දිවයින පුරා ගස් ලක්ෂ දෙකක් සිටුවීම වෙනුවෙන් උන්වහන්සේ ලබා දුන් දිරිමත් කිරීමද කෘතවේදීව සිහි කළ යුතුය. රණවිරු පවුල් වෙනුවෙන් කරන ලද සුභසාධනයන්ට සහ ප‍්‍රංශයේ ශී‍්‍ර ලාංකික සංවිධානය මගින් හමුදාවේ යහපත වෙනුවෙන් කරන ලද බොහෝ කටයුතු වලට අනුශාසකත්වය සපයා දෙමින් එම කටයුතු වලට සහභාගී වෙමින් නන් අයුරින් උන්වහන්සේ ලබා දුන් සහය තවමත් ප‍්‍රංශයේ සිටින ජනතාවගේ මෙන්ම එවක සිටි යුධ හමුදා සේනාංක වලටද අමතක නොවන සටහනකි.

       උන්වහන්සේ ගෙන් සිදු වූ සේවය පොත් ගණනාවක වුවද ලියා අවසන් කළ නොහැකි තරම් ය. එවන් අපරිමිත සේවාවන් රාශියක් රටට ජාතියට බුද්ධ ශාසනයට සිදු කරමින් දශක ගණනාවක් තිස්සේ කෝට්ටේ නාග විහාරාධිපති හිමියන් ලෙස  සෝභිත මාහිමියන් කරන ලද අපරිමිත සේවාවට සියළු ශී‍්‍ර ලාංකිකයන් ගේ උපහාරය හිමි විය යුතුය. අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේ ට නිවන් සැප ලැබේවා.



Recommended Articles