සංගමුව රජමහා විහාරයේ පුරාවස්තු විනාශවන ලකුණු


කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බල ප්‍රදේශයේ මැද්දකැටිය ග්‍රාම සේවා කොට්ඨාසයේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සංගමුව රජමහා විහාරයේ ඇති පුරාවස්තුන් කෙරෙහි  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යොමුකර ඇති අවධානය අවම බවත්, එම විහාර ස්ථානයේ පැරණී වටිනාකමකින් යුතු පුරාවස්තුන් මේ වනවිට විනාශ වෙමීන් පවතින  බවද විහාරස්ථ දායක සභාව දන්වා සිටියි.

 මෙම විහාර ස්ථානය අසල ඇති විහාරගල කන්දේ පිහිටා ඇති  විහාර මන්දිරයේ  පැරණි වටිනාකමකින්  යුත් විහාර මන්දිරයේ චිත්‍ර සහ බුදු පිළිම මේ වනවිට  විනාශයට යමින් පවතින බවත්,  මෙම විහාර මන්දිරයේ ඇති ඉදි පිළිමය 1999 වර්ෂයේ නිදන් සොරුන්ගේ ග්‍රහණය අසුවී  ඇති අතර,  එය මේ දක්වාම සකස් කිරීමට පියවර ගෙන  නොමැති බව සංගමුව රජමහා විහාරාධිපති  අලත්ගම මංගල හිමියෝ පැවසූහ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත්ගම මංගල හිමියෝ, 

''මෙම  විහාරයට සම්බන්ධ විහාර මන්දිරයේ පිළිම වහන්සේ නිදන් සොරුන් කඩා දමා වසර 17 කට ආසන්න කාලයක් ගතවෙලා. එය සකස් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මේ දක්වාම එම පිළිමය සකස් කිරීමට පියවර ගත්තේ නෑ. බැරිම තැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා සිටීම  අතහැර දැම්මා. 

මහා පරාක්‍රමබාහු රජතුමා දක්ෂිණ දේශයේ පාලකයා ලෙස කටයුතු කළ සමයේදී පොළොන්නරුව ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කළ ගජබාහු රජු අතර, සිදුවීමට තිබු යුද්ධයක් වැළැක්වීම පිණිස ඇති කරගත් ගිවිසුම් සහිත ශිලා ලේඛනය මෙම විහාර ස්ථානයේ  තියෙනවා. එය ගොඩනැගිල්ලක් ඉදිකර පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂා කර තියෙනවා. එයට අමතරව මෙම ස්ථානයේ ක්‍රි.ව 5 සියවසට අයත් ලිපි20 ක් අඩංගු සෙල්ලිපි 20 ක් තියෙනවා. ඒ සියල්ලම ආරක්ෂා කර තියෙනවා.

නිතරම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ස්ථානයට එනවා. එම නිලධාරීන් විහාර මන්දිරයේ බුදු පිළිම සහ චිත්‍ර සකස් කිරීමට උනන්දුවක් ගන්නේ නැහැ. පැරණී චෛත්‍යය මේ වනවිට ගරා වැටීලා චෛත්‍යය තුළ අද වනවිට තේක්ක ගස් වැවිලා. විහාර ස්ථානයේ ඇති පුරාවස්තුන් පොළවට යටවී විනාශ වෙනවා. පැරණි බෝධීන් වහන්සේ වටා ඇති ප්‍රාකාර බැම්ම පුපුරා කඩාවැටිලා.

වත්මන් රජයේ අවධානය යොමු කරලා සංගමුව විහාරයේ ඇති පුරාවස්තුන් විනාශවෙන්නට ඉඩ නොදී අනාගතයේදී දරුවන්ට දැකබලා ගැනීම සඳහා අවස්ථාවක් උදාකර දෙන ලෙස විහාරාධිපති ස්වාමීන් වහන්සේ වශයෙන් ඉල්ලා සිටිනවා'' යැයි පවසා සිටියහ.

වාරියපො‍ළ - එන්.එස්.එස්. කුමාර

DSC00148 DSC02190 DSC02191 DSC02193 DSC02194 DSC02200



Recommended Articles