වෙසක් අසිරිය - විඳගමු සිතින් වැලකෙමු මතින්


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 18 සිට 24 දින දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික නයිගල පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන පවත්වන බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රධාන උත්සවය ලබන 22 දින සවස 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික නයිගල පුරාණ රජමහා විහාරස්ථාන භූමියේදී පැවැත්වේ. රාජ්‍ය වෙසක් උත්සවයක් දකුණු පළාතේ පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවත් අමාත්‍යවරයා අද (11) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

"වෙසක් අසිරිය - විඳගමු සිතින් වැලකෙමු මතින්" යන්න මෙවර වෙසක් සතියේ තේමාවයි. එහි සමාරම්භක උත්සවය ලබන 18 දින කසාගල රජමහා විහාරස්ථානයේදී සිදු කෙරෙන අතර එහිදී කුල දරුවන් 35 දෙනෙකු සසුන්ගත කිරීම හා සියක් නමක් විෂයෙහි දහවල් දානය පිළිගැන්වීම සිදු කෙරෙනු ඇත. මීට සමගාමීව එම දරුවන් සසුනට භාර දෙන දෙමාපියන් වෙනුවෙන්  නිවාස 35ක් ඉදිකරදීමට නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇත. එම නිවාස සඳහා සහනදායී අන්දමට විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලයේ කැමැත්ත ප්‍රකාශ කර ඇත. 



Recommended Articles