බෞද්ධයන් ආගම් ගැටුම් ඇති කරගන්නේ නැතැයි මම ඔප්පු කළා


ආගම්වාදීවීම හෝ ජාතිවාදීවීම තුළ ඇති වන බොහෝ ගැටලු ලෝකයේ දසතින් අපට අසන්නට ලැබේ. ලෝකයේ මෙන්ම ලංකාවේදී මෙවැනි ප්‍රශ්න කතාබහ එමටය.  ආගම් පිළිපදිනවාට වඩා අන්තවාදීන් වී අරගල කරන්නන් බොහොමයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. මේ අතර ආගමික සමගිය, ජාතික සමගිය පිළිබඳව, එහි නියම අරුත ලෝකයට කියා පෑ යතිවරයන් වහන්සේ නමක් ඇමෙරිකාවෙන් අපට මුණගැසුණි. උන්වහන්සේ ඇමෙරිකාවේ වාසය කළද ලංකාවේ භික්ෂූන් වහන්සේ නමකි. උඩරට අමරපුර නිකායේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පේරාදෙණියේ සුජාත හිමියන්ගේ තොරතුරු ඔබවෙත ගෙනඑන්නේ එය කාලීන වගකීමක් ලෙස අප අදහස් කළ බැවිනි. උන්වහන්සේ සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස්කරන ලදී.

 

ධර්ම ප්‍රචාරණයට පෙර පැවිදි බිමට

මගේ ගම පේරාදෙණියේ. මම පැවිදි වුණේ පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ, වත්තේගම ශ්‍රී ධම්මාවාස නායක හාමුදුරුවන් වහන්සේ යටතේ.

1981 වර්ෂයේ තමයි මම පැවිදි වුණේ. වසර දහයක් පමණ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක ලෙස කටයුතු කළ මම වයස 21 දී උපසම්පදා වුණා.

පසුව මගේ ලොකු හාමුදුරුවො මුලින්ම මාව ඔස්ට්‍රේලියාවට යවනවා. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ ශ්‍රී ලංකාරාම පන්සලේ කටයුතු කරමින් වසර හතරක් කටයුතු කළා. 

මේ විදිහට කටයුතු කරමින් ඉන්න අවස්ථාවේ 1997 දී පමණ සුබෝධාරාම පිරිවෙන් පරිවේණාධිපති බ්‍රහ්මණගම මුදිත හාමුදුරුවන්ගේ ආරාධනාවකින් මම ඇමෙරිකාවට යනවා. ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වසර 05 ක් පමණ විහාරස්ථානයක කටයුතු කරමින් වැඩ හිඳියා.

නොගැළපෙන ක්‍රමයක් නිසා එය අත්හැරීම

මෙහෙම ඉද්දි මට තේරුණා මා මේ ක්‍රමයට ගැළපෙන්නේ නැහැ කියලා. මම විදෙස් ගතවුණේ ධර්ම ප්‍රචාරණයට. නමුත් මේ වනතුරු ධර්ම ප්‍රචාරණයට දායක් වුණේ නැහැ.

මේ පන්සල්වල වැඩ හිඳිමින් විදෙස් රටවල ඉන්න ලංකාවේ මිනිසුන්ට බණ කියමින් හිටියා. නමුත් ඒක ධර්ම ප්‍රචාරණයක් නොවෙයි. මේ නිසා මම තීරණය කළා එතැනින් යන්න. මුදිත හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන මම යන්න තීරණය කළා. නමුත් මට ඒ වෙද්දි ඒතරම් ඉංග්‍රීසි බැහැ.

අපේ පන්සලට එන සුදු මහත්මයෙකුගේ ආධාරයෙන් මම යන්න තැනක් හොයලා දෙන්න කියලා කිව්වා. එතුමා මට කිව්වා ඇමෙරිකාවේ පල්ලිවලට ලිව්වොත් සමහර පල්ලි උදව් කරාවි කියා. ඒ අනුව ඒ මහත්තයා හදලා දුන්නු ලියුමක් මම පල්ලි 60කට යැව්වා.

සති පහකට පසු පිළිතුරු ආවේ පල්ලි දෙකකින් විතරයි. ඒකත් ගොඩක් ඈත. අනික තරමක් දුර. මම ඒ පල්ලියට යන්න තීරණය කළා.

චිකාගෝවල යුනිටේරියන් කියන ඒ පල්ලියට ගිහිං එහි පාදිලි උන්නාන්සේ හමුවුණා. බෞද්ධ හාමුදුරු කෙනෙකුට උදව් කරන්නෙ කොහොමද කියලා මම දන්නෙ නැහැ. නමුත් අපේ පල්ලියේ සෙන් භාවනාව කරන පිරිස සමග ඉන්න කියා එතුමා මට කිව්වා.

මට නවතින්න තැනක් නැති නිසා ඒ ළඟ සුදු මහත්තයෙකුගේ නිවසේ මම නැවතුණා. ඒ ගෙදර හිටපු පුංචි දරුවො දෙන්නා නිසයි මට ඉංග්‍රීසි ඉගෙනගන්න පුළුවන් වුණේ.

පල්ලියේ භාවනා පංති කරන්න මට ආරාධනා කළා

මෙහෙම ටික කාලයක් යද්දි පල්ලියෙන් ආරාධනා කළා භාවනා පංතියක් පවත්වන්නට. මම ඉංග්‍රීසියෙන් උගන්වලා තිබුණේ නැහැ. මට පොඩි බයකුත් දැනුණා.

කොහොම වුණාත් මම භාවනා පංතියට ගියා. පළමුවෙනි දවසේ තුන් දෙනයි හිටියේ. එදා පොඩ්ඩක් චකිතයෙන් හිටියේ. කොහොම වුණත් ඒ තුන් දෙනා සමග හිනාවෙලා විනාඩි 15 ක් පමණ කතා කරමින් හිටියා.

පළවෙනි දවසෙන් පස්සෙ මම හිතුවා ආයේ භාවනා පංතියට කවුරුත් එන්නේ නැති වෙයි කියලා. මම ඒ ගැන පියතුමාටත් කිව්වා. එතකොට පියතුමා කිව්වා තව එක සැරයක් කරලා ආවෙ නැත්නම් නිකං ඉඳිමු කියලා.

ඊළඟ සතියෙත් නැවත පංතිය පවත්වපු දවසෙ ඒ තුන්දෙනා ඇවිත් හිටියා.එයාලා දකිද්දි මට හිතුණා ඔවුන් මගේ වැඩසටහනට කැමතියි වගේ කියලා. එදා ඉඳලා හැමදාම සෙනසුරාදාට මම ඒ භාවනා පංතිය කළා. ටිකෙන් ටික කට්ටිය වැඩිවුණා.

එයාලා සඳුදා රෑටත් පංතියක් දාලා දුන්නා. සඳුදයි සෙනසුරාදයි පංති දෙකක් කළා. එහෙම වුණත් තාමත් අර ගෙදර තමයි නැවතී හිටියේ.  මේ විදිහට ටිකෙන් ටික දියුණු වෙමින් වසර නවයක කාලයක් මම මෙහෙම කළා.

විශාල පිරිසක් එකතු වුණා, පල්ලිය විකුණන්න තීරනය කළා

වසර නවයක් අවසාන වනවිට විශාල පිරිසක් භාවනා පංතිය සමග එක්ව සිටියා. ඒ අතර පල්ලියේ අය මට දවසක් කිව්වා ඔවුන් ඒ පල්ලිය විකුණන්න තීරණය කළා කියලා. පල්ලිය සල්ලි දීලා ගන්න කියලා ඔවුන් මට කිව්වා. නමුත් මට ඒතරම් මුදලක් තිබුණේ නැහැ.

මගෙත් එක්ක හිටියෙත් ඒ පල්ලියට එන මිනිස්සු. ඉතිං එතන හිටපු එක නෝන කෙනෙක් ඩොලර් ලක්ෂයක් දුන්නා. ඉතිරි මුදල් අනිත් සුදු මිනිස්සු එකතු කරලා මට පල්ලිය අරන් දුන්නා.

පල්ලියේ ඉතිහාසය වෙනස් කරන්න මම උත්සාහ කළේ නැහැ.

මේ පල්ලිය අවුරුදු 110 ක් පරණයි. ඇමෙරිකාවේ හැටියට මෙය ඉතාම ඓතිහාසික ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ල අරන් දුන්න ඇමෙරිකන් ජාතිකයො බලන් හිටියා මම මොකද කරන්නෙ කියලා. ඔවුන් හිතුවෙ ඔවුන්ගේ සිතුවම්, ඔවුන්ගේ ඉතිහාසය මම කඩලා විසිකරයි කියලා. මම එහෙම කළේ නැහැ. ඒ සියලු දේම එහෙම්මම තිබ්බා. පල්ලියේ ස්වරූපය පොඩ්ඩක්වත් වෙනස් කළේ නැහැ.

බුදු හාමුදුරුවො එක පැත්තක, පේසුතුමා අනිත් පැත්තේ

අපේ පන්සල ඇතුළෙ තවම ජේසුස් වහන්සේ ඉන්නවා. එක පැත්තක අඩි 13 ක ජේසුන් වහන්සේ. අනිත් පැත්තේ අඩි 13 ක බුදු හාමුදුරුවෝ වැඩ හිඳිනවා. ඒ නිසාම ඇමෙරිකානු ජාතිකයන්ගේ ආකර්ෂණය මේ පන්සල කෙරෙහි වැඩි වුණා.

ධර්ම ප්‍රචාරණය සාර්ථකව කරගෙන යනවා

ලෝකයේ ආගම් ගැටුම් තමයි නිතරම අහන්න ලැබෙන්නේ. බෞද්ධයො කියන අය ආගම් ගැටුම් ඇති කරන්නෙ නැහැ කියන කාරණය මම ඔප්පු කළා. ඒ නිසා ඔවුන් සෑම කෙනෙක්ම මට ආදරෙයි. මොකද එකපාරට පන්සල කඩලා දාලා පල්ලියක් හැදුවොත් අපි කැමතිද? නැහැ නේද?ඒ නිසා ඔවුන්ගේ පල්ලියේ ඉතිහාසයත් මම නැති කළේ නැහැ. පල්ලිය ඇතුළට බුදු රජාණන් වහන්සේ වැඩමවීම විතරයි මම කළේ. පල්ලියේ නම නම් මම වෙනස් කළා. Blue lotus Buddhist Temple (නිල් නෙළුම් බෞද්ධ පන්සල) යන නම මම එයට ආදේශ කළා.

මේ වනවිට පන්සල අසලම හාමුදුරුවන් වහන්සේලාට ලැඟුම්ගෙයක් ඉදිකර තිබෙනවා. හාමුදුරුවරුන් හයනමක්මෙහි වැඩසිටිනවා. විශාල වශයෙන් ධර්ම ප්‍රචාරණයට අපි දායක වෙනවා. කටයුතු කරනවා.

වසරකට භාවනා පංති 386 ක්

විශේෂයෙන්ම වසරකට භාවනා පංති 386 ක් පවත්වනවා වගේම තව වැඩසටහන් බොහොමයක් පවත්වනවා. ළමුන්ට දහම් පාසලක් තිබෙනවා. තරුණ ළමයින්ට වෙනම වැඩසටහනක් තිබෙනවා. වැඩිහිටි අයට වෙනම වැඩසටහන් තිබෙනවා. මේ වනවිට පවුල් 15,000කට වඩා අප සමග එක්ව සිටිනවා.

මේ වගේ විශාල වශයෙන් වැඩසටහන් රැසක් පවත්වා මේ පන්සල මගින් තවත් ශාඛා පහක් ආරම්භ කරන්න අපට පුළුවන් වුණා.

ඔස්ට්‍රියාව තුළත් අපි එක් මධ්‍යස්ථානයක් ආරම්භ කළා. ලංකාවෙත් එක් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපට හාමුදුරුවො මදි මෙහෙ තියෙන වැඩසටහන් කරන්න.

 

සනාතන සුවය ලංකාවේ ආරම්භ කළා

සනාතන සුවය නමින් අපි ලංකාවේ පේරාදෙණියේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න තීරණය කළා. පිටරට ඉඳන් ධර්මය ඉගෙනගන්න, භාවනා කරන්න, ලංකාවට එන අයට පහසුකම් සහ අවශ්‍යතා සපයන්න කටයුතු කරගෙන යනවා.ඔවුන්ගේ සංස්කෘතිය තියාගෙන බුදුදහම ඉල්ල ගන්නවා.

අපි අපේ පන්සල තුළ ධර්ම සාකච්ඡා, ධර්ම වැඩසටහන් පවත්වා මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව ආදී භාවනා උගන්වනවා. සූත්‍ර සාකච්ඡා ආදී ධර්මය උගන්වනවා. ධර්මය අතින් ගත්තොතින් ලංකාවේ මිනිස්සු මෙහෙ මිනිසුන්ට පරදිනවා. මේ මිනිසුන්ට ධර්මය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා.

ඇමෙරිකාවේ මිනිසුන්ට බෞද්ධ සංස්කෘතියක් නැහැ.  ඒ නිසා ඔවුන් ඔවුන්ගේ සංස්කෘතිය තබාගෙන අපේ ධර්මය ඉගෙනගන්න එනවා. ඔවුන් සංස්කෘතිය සොයන්නේ නැහැ. අපි බෝධි පූජාව, දානය වගේ දේවල්නේ වැඩිපුරම කරන්නේ. මේ මිනිස්සු භාවනාව හදාරන එකයි වැඩිපුරම කරන්නේ.

 

මුලදි ලොකු ලොකු විරෝධතා පැමිණියා

මම මේ රටේ ධර්ම ප්‍රචාරණ කටයුතු කරගෙන යෑම ආරම්භ කළ මුල් කාලයේ මට ලොකු විරෝධයක් පැමිණියා. අපේ පන්සල තිබෙන නගරය ආශ්‍රිතව තව පල්ලි හතක් තිබෙනවා. ඒ නිසා හාමුදුරු කෙනෙක් ඒ ප්‍ර‘දේශයට ගියාම මිනිස්සු බයවෙනවා. මුලදි තර්ජන ගර්ජන රැසක් ආවා. මට විරුද්ධව පෙළපාළියක් පවා සංවිධානය වුණා. නමුත් ඒ රටේ සුදු මිනිස්සු මගෙත් එක්ක හිටපු නිසා ඔවුන් මාව ආරක්ෂා කළා. මේ අතර මම හිත ධෛර්ය කරගෙන හිටියා. පොස්ටර් ඇලෙව්වා, මරණ තර්ජන ආවා. ඒ සියල්ලම විඳදරාගත්තා. මේ වනවිට එහි සම්පූර්ණ අනිත් පැත්ත. දැන් මෙම මිනිස්සුන්ට මම නැතුව බැහැ.

 

සර්ව ආගමික සමුළුවක් පවත්වනවා

වසරකට සැරයක් සර්ව ආගමික වැඩසටහනක් පවත්වනවා. ඒකට කේන්ද්‍රස්ථානය අපේ පන්සල. සියලුම ආගම් අතර සහජීවනය ගොඩනගන්නයි අපි මේ දේවල් කරන්නේ.

 

මම හරියට හිටියොත් ලෝකය මාව සොයාගෙන ඒවි කියා මම හිතුවා

මම මේ කිසිම දෙයක් සැලසුම් කරලා කරපු දෙයක් නොවෙයි. මම හැමදාම හිතුවෙ මම හරියට හිටියොත් හාමුදුරු කෙනෙක් හැටියට මගේ වැඩටික කළොත් ලෝකය මාව සොයාගෙන ඒවි කියලා. ඒ වගේම මගේ ගුරුවරයා මට කියලා දුන්නෙ හාමුදුරු කෙනෙක් වෙලා හැදෙන්න කියලා විතරයි.ලෝකය සොයාගෙන ඒවි අපි ලෝකය සොයාගෙන යන්න ඕනේ නැහැ කියලා උන්වහන්සේ මට කියලා දුන්නා.මම ඒක හරියටම පිළිපැද්දා. මම පිළිවෙළට හිටියා. ඒ නිසා මිනිස්සු මාව හොයාගෙන ආවා.

 

මගේ දුප්පත් රටට මම උදව් කරනවා

ඇමෙරිකාවේ මිනිස්සු මගෙන් අහනවා මොනවද කරන්න ඕන උදව් කියලා. මම එතකොට ඒ මිනිස්සුන්ට කියනවා හාමුදුරු කෙනෙක් විදිහට උදව් බොහොම ස්වල්පයක් අවශ්‍යයි. ඒ නිසා මම කැමතියි මගේ දුප්පත් රටේ මොනවාහරි කරන්න ඒකට උදව් කරන්න පුළුවන්ද කියලා.

මම දුප්පත් මිනිස්සුන්ගෙන් හැදිලා, කාලා බීලා මේ දියුණු රටට ඇවිල්ලා ඉන්නේ. දැන් මම සේවය කරන්නේ මේ දියුණු රටේ මිනිස්සුන්ට. නමුත් මාව මෙතෙන්ට එනකම් පෝෂණය කළේ ලංකාවේ මිනිස්සු. ඒ නිසා මම ලංකාවේ මිනිස්සු වෙනුවෙන් මොනවාහරි කළා නම් හොඳයි කියලා මම ඇමෙරිකාවේ මිනිස්සුන්ට පහදලා දෙනවා. ඒකට එකඟ වෙලා මිනිස්සු මට උදවු කරනවා.

ඒ නිසා ඒ උපකාරවලින් අපි සෑම වසරකම රෝහලකට ලක්ෂ හයක් පමණ වටිනා යන්ත්‍ර ලබාදෙනවා. කැකිරාවේ දිසා රෝහලට තමයි මේ අවුරුද්දෙ ලබාදෙන්නේ. පසුගිය වසරේ රෝහල් පහකට උපකරණ බෙදාදුන්නා. පාසල්වලට උදව් කරනවා, දුප්පත් ළමයින්ට උදවු කරනවා, සුනාමිය ඇති වූ වෙලාවේ ලක්ෂ 45 ක් ලංකාවට ලබාදුන්නා. මේ සියල්ලම අපට කරන්න පුළුවන් වුණේ අපේ ධර්මය නිසයි.

ලෝකේ හදන්න කලින් අපි හැදිලා ඉඳිමු

ප්‍රශ්න කියන දේ ලෝකයේ කොතැනත් තිබෙනවා. අපි ප්‍රශ්න විසඳන්න හදන්නේ ලෝකෙ හදලා. නමුත් ලෝකෙ හදන්න පුළුවන් තමන් හැදිලා. මම පටන්ගත්තේ එතැනින්. අපේ රටේ තිබෙන බුද්ධාගම ආරක්ෂා කරන්න අවශ්‍යයි කියලා හැමෝම කතා කරනවා. නමුත් පිළිපදින්න කවුරුත් නැහැ. මම හිතන විදිහට බුදුදහම ආරක්ෂා වෙන්නේ බුදුදහම පිළිපැද්දොත් කියලයි. නමුත් අපි ප්‍රතිපත්තිගරුකවමයි ගොනුවිය යුත්තේ.

මිනිස්සුන්ට මම කියන්නේ ධර්මයෙන් ඈත්වෙන්න එපා. ධර්මයෙන් සන්නද්ධ වුණොත් ලෝකය දිනන්න පුළුවන්. ලෝකය දිනපු කෙනෙක් ඉන්නවා නම් ධර්මයත් දිනපු කෙනෙක් තමයි ඉන්නේ. ගහගෙන මරාගෙන දිනපු අය ලෝකේනැහැනේ.

තරුණ භික්ෂූන් වහන්සේලා මේ පිළිබඳ සිතන්න

අපේ තරුණ භික්ෂූන් වහන්සේලාටත් මම වචනයක් කියන්න අවශ්‍යයි. භික්ෂුත්වය බොහෝම වටිනා දෙයක්. භික්ෂුත්වය හරියට රැකගෙන හිටියොත් ලෝකය බලාගෙන ඉන්නේ අපිව ගන්න.

ඒ නිසා පාලි, බුද්ධ ධර්මය ඉගෙනගෙන ධර්මයේ හැසිරිය යුතුයි. නමුත් තරුණ භික්ෂූන් ඉන් ඈත් වෙනවා. එහෙම වෙන්න එපා.

 

 

 

 

 



Recommended Articles