තායිලන්තයේ ශ්‍රී ලංකා සලකුණ වට් ඉන්දර රාජකීය විහාරය


ශ්‍රී ලංකාව සහ සියම අතර අතීතයේ සිට වර්තමානය දක්වාද, ඉන් එහා ගිය අනාගතයටද පවතිනු ඇත්තේ නොබැඳෙන සබඳතාවකි. ඒ මෙරටින් විනාශ වී ගිය උපසම්පදාව සියම් දේශය හරහා යළි ලැබීම හේතුවෙනි.

ඒ ඓතිහාසික ආගමික සබඳතාව අද දක්වාම ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන එනු ලබන තායිලන්තයේ පිහිටි ප්‍රධානතම විහාරස්ථානය ලෙස හැඳිනේවෙන්නේ බැංකොක් අගනගරයට ආසන්නව බංග්ලම්පූර් ප්‍රදේශයේ පිහිටි වට්ඉන්දර රාජකීය විහාරස්ථානයයි. 

වට් ඉන්දර රාජකීය විහාරය මෙරට සංඝරත්නය සමග සබඳතා පවත්වන ප්‍රධානම සියම් බෞද්ධ විහාරය ලෙස සැලකේ. ඒ අනුව 'තායි - ශ්‍රී ලංකා' මිතුදමේ ප්‍රධානම සංකේතය වශයෙන්ද හැඳින්වෙන මෙම විහාරස්ථානය 'තායිලන්තයේ ශ්‍රී ලංකා පන්සල' වශයෙන්ද ප්‍රකටය. 

අප රටට උපසම්පදාව රැගෙන ඒමෙන් පසුව බිහිවූ සියම් නිකායට අයත් මල්වතු, අස්ගිරි මහා විහාර පාර්ශ්වයන් සේම රාමඤ්ඤ සහ අමරපුර නිකායන් සමගද මෙම විහාරය පවත්වන්නේ සමීප සබඳතාවකි. 

අයුන්නයා රාජධානියේ සිට් සියම් දේශයේ රාජධානිය බැංකොක් නගරයට රැගෙන ඒමෙන් පසුව වර්තමානයේ බැංකොක් අගනගරයේ පිහිටි ප්‍රධානම විහාරස්ථානය ලෙස හැඳින්වෙන්නේද වට් ඉන්දර රාජකීය විහාරයයි. 

එසේම තායිලන්තයේ තිබෙන උසම හිටි පිළිම වහන්සේ වැඩ සිටින විහාරස්ථානයද මෙයයි. පිණ්ඩපාත මුද්‍රාවෙන් යුතු මෙම පිළිම වහන්සේගේ උස අඩි 108කි. 

කොන්ක්‍රීට්වලින් ගොඩනගා රන් ආලේපිත 'ටයිල්ස්' දහස් ගණනින් අතුරුවා වර්ණවත් කර තිබෙන මෙම බුද්ධ ප්‍රතිමාව මෙරට බුද්ධ ප්‍රතිමාවලට බොහෝ සෙයින් සමානවීමද විශේෂත්වයකි. 

බැංකොක් නගරයේ සිට මෙම විහාරස්ථානයට ඇතිදුර කිලෝමීටර් 10කට ආසන්නය. ජනාකීර්ණ පෙදෙසක් වූ බංග්ලාම්පූර්හි පිහිටි මෙම විහාරස්ථානයට පිවිසෙන විට ඇත්තේ මෙරට පිහිටි බෞද්ධ විහාරයකට ඇතුළු වනවිට දැනෙන හැඟීමකි. ඒ තරමටම මෙහි ඉදිකරවීම් හා සමීප සබඳතාවක් අප රටට පවතී.

ශ්‍රී ලංකාවේ මෙන්ම තායිලන්තයේද පිරිසුදු ථේරවාදී බුදුදහම පැවතුණද, ඒ තුළ පවත්නා වෙනස්කම් රැසකට, ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙන් තායිලන්තයේ විහාරස්ථානවල බෝධිය, චෛත්‍යය හා පිළිම යන ත්‍රිවිධ වන්දනාව සිදුනොකෙරේ. එරට ප්‍රමුඛත්වය ලැබෙන්නේ පිළිම වහන්සේ සහිත වූ විහාර වන්දනාවටය.

තායි බෞද්ධයන් කිසිදු විටෙක පොහොය වන්දනාව සිදු නොකරන අතර, විහාරස්ථානවල චෛත්‍යය ඉදිකරවීමද සිදුකර තිබෙන්නෙ ඉතා අල්පවය.

එම චෛත්‍යයද මෙරට ඒවා මෙන් වටකුරු හැඩයෙන් යුක්ත නොවන අතර, දක්නට ලැබෙන ඒවාද චතුරස්‍රාකාරය. නමුත් ශ්‍රී ලාංකේය බෞද්ධයන් පොහොය වන්දනාව උතුම් කොට සලකති. ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උරුමය ශ්‍රී ලංකාද්වීපය පුරාම පැවතෙන බැවිනි.

තායි බුදුදහම එසේ වුවද මේ වට්ඉන්දර රාජකීය විහාරය තායි බෞද්ධ සම්ප්‍රදායෙන් එහාට ගොස් ශ්‍රී ලාංකේය බෞද්ධ සම්ප්‍රදායට සමීපව පැවැතීම විශේෂයකි. ඊට හේතුව මේ විහාරය ශ්‍රී ලංකා සංඝ ශාසනය සමග පවත්නා සමීප සබඳතාව බව පැවසේ. 

වට් ඉන්දර විහාරස්ථානයේ පසෙක මනාව වැඩුණු බෝධියක් දක්නට ලැබේ. විශේෂත්වය වන්නේ මෙය සාමාන්‍ය බෝධියක් නොව ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවකි. පසුගියදා අභාවප්‍රාප්ත වූ තායිලන්තයේ රජු වූ භූමිබෝල් රජු විසින් මීට වසර 39කට පෙර මෙම බෝධිය කුඩා පැළයක් ලෙස ශ්‍රී ලංකාවෙන් වැඩමවා මෙම විහාරස්ථානයේ රෝපණය කරවා තිබේ. අද එය දැවැන්ත වෘක්ෂයකි. 

එසේ වුවද බෝධි වන්දනාව නුහුරු තායි බෞද්ධයන් සිටියද, මෙම බෝධියට අවශ්‍ය පුද සත්කාර නොලැබී හානියට ලක්වෙමින් තිබියදී එය නැවත ගොඩනංවා ආරක්ෂාව සපයා තිබෙන්නේ ශ්‍රී ලාංකිකයෙකු විසින් වීමද විශේෂ කරුණකි. 

අපිරිසුදුව තිබූ බෝධිය පිරිසුදු කර ඊට බෝධිඝරයක් තනා, ශ්‍රී ලංකාවෙන්ම වැඩම වූ බුදු පිළිම වහන්සේ නමක් වඩා හිඳුවා පොහොය වන්දනාව නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසුව මෙම බෝධියට වන්දනාමාන කිරීමට තායි බෞද්ධයෝ පෙළඹී සිටිති. 

අද වනවිට මෙම විහාරය ශ්‍රී ලාංකිකයන් නිතර යන එන ස්ථානයක් බවට පත්ව තිබේ. තායිලන්තයේ සංචාරය කරන ශ්‍රී ලාංකේය බෞද්ධයන් අනිවාර්යයෙන්ම වන්දනාමාන කරන ප්‍රධානතම විහාරස්ථානය ලෙස වට්ඉන්දර විහාරය සැලකේ. 

මේ සියල්ල සිදුකළ ශ්‍රී ලාංකිකයා කුමාර සිරිවර්ධනය. බොහෝ දෙනෙකු ඔහු දන්නේ 'කුමාර මහත්තයා' ලෙසය. මාවනැල්ලේ පදිංචිකරුවෙකු වන ඔහු, දිගු කලකට පෙර තායිලන්තයට ගිය අවස්ථාවක මෙම විහාරය සමග සබඳතා ගොඩනගා ගෙන ඇත.

එසේ සබඳතා ගොඩනගා ගත් ඔහු අද වට් ඉන්දර රාජකීය විහාරස්ථානය මෙන්ම බැංකොක් උපප්‍රධාන සංඝනායක ධුරය හොඹවන 'ප්‍රා තෙප් විසුද්ධා පෝන්' නාහිමියන්ගේ බෞද්ධ කටයුතු සම්බන්ධීකාරක ලෙස කටයුතු කරමින් සිටීම ශ්‍රී ලාංකිකයන්ටද ඉමහත් ගෞරවයකි. මෙය එම විහාරස්ථානයේ ප්‍රධාන තනතුරක් බැවින් ඔහු තායි ජාතිකයන් අතර ප්‍රසිද්ධ චරිතයකි. 

විසුද්ධා පෝන් නාහිමියන්ගේ ශ්‍රී ලංකා සබඳතාව කොතරම්ද කිවහොත් උන්වහන්සේ අවම වශයෙන් වසරකට එක්වරක් හෝ ශ්‍රී ලංකාවේ සංචාරය කරති.

ඒ ගමනේදී උන්වහන්සේ නොවරදවාම මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගන්නා අතර, මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් මෙන්ම වෙනත් මහනායක හිමිවරුන්වද බැහැදකිති. පන්නිපිටියේ දෙව්රම් වෙහෙර විහාරාධිපති පොළොන්නරුවේ සුමංගල හිමි, විසුද්ධා පෝන් හිමියන්ගේ සුහද මිතුරෙකි. මේ සියලුම සංචාර කටයුතු සංවිධානය කෙරෙන්නේ සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙනි. 

මෙම විහාරස්ථානයේ තවත් ස්ථානයක විශාල කුටියක් ඉදිකර තිබේ. එහි සිංහල බසින්ම 'උපාලි මහතෙරුන් වහන්සේගේ කුටිය' යනුවෙන් සඳහන් නාම පුවරුව දැකීමෙන් එහි යන ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ ජන්මවන හැඟීම වටහාගත හැකිය. 

සියමේ විසූ උපාලි හිමියන් සියම් නිකාය සහ උපසම්පදාව ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිහිපත් කරමින් මෙම සුවි‍ශේෂී කුටිය ඉදිකර තිබේ. මෙහි උපාලි හිමියන්ගේ විශේෂ පිළිමයක් තැම්පත් කර තිබෙන අතර, ඒ හා සමානව තායිලන්තයේදී නිමවූ අනෙක් පිළිමය මහනුවර මල්වතු මහා විහාරයේ තැම්පත් කර තිබේ.

මීට අමතරව මල්වතු මහා විහාරයෙන් ලබාදුන් ධාතූන් වහන්සේලා තැම්පත් කර ඇති රන් ආලේපිත කරඬුවක්ද වන්දනාමාන කිරීමට තබා ඇත. එසේම මෙම කුටියේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය හා බෞද්ධ කොඩියද ප්‍රදර්ශනය කර තිබේ.

එමෙන්ම සුවිශේෂී වැදගත්කමක් වට්ඉන්දර රාජකීය විහාරයේ පවතී. වත්මන් විහාරාධිපති විසුද්ධා පෝන් නාහිමියන්ගේ ගුරු හිමියන් වන මෙම විහාරාස්ථානයේම වැඩවිසූ 'ලුම්පො තොං' නම් වූ භික්ෂූන් වහන්සේ මෙහිදී විශේෂ අනුස්මරණයකට ලක්වීමය. උන්වහන්සේ තායි වැසියන්ගේ ඉමහත් ගෞරවයට ලක්වූ හිමිනමකි. 

මීට වසර 50කට පමණ ඉහතදී අපවත් වූ ඒ හිමියන් 'ජිනපංජර සූත්‍රය' දේශනා කිරීමෙන් තායි බෞද්ධයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ බව පැවසේ. උන්වහන්සේට ගෞරවයක් ලෙස අදටද එම විහාරස්ථානයේ නොනවත්වාම 'ජිනපංජර සූත්‍රය' ගායනය හා වාදනය කෙරේ. 

මේ සදහාම විශේෂිත, වායු සමනයෙන් යුත් කුටියක් ඉදිකර ඇති අතර, ඒ තුළ 'ලුම්පොං තොං' හිමියන්ගේ ජීවමාන ප්‍රමාණයේ රුවක් ඉටියෙන් නිර්මාණය කර තිබේ. මෙය විශේෂිත භාවනා කුටියක් ලෙස සැලකෙන අතර, ඒ තුළ තායි බෞද්ධයන් භාවනා සුවයෙන් ගතකරන ආකාරය දැකගත හැකිය.

වට් ඉන්දර රාජකීය විහාරයේ වැදගත්කම පැවසූ කුමාර සිරිවර්ධන මහතා, 

''මේ විහාරය සහ තායිලන්තයේ රජ පවුල අතර විශාල සම්බන්ධතාවක් තිබෙනවා. මේ විහාරයේ නායක හාමුදුරුවො තමයි බැංකොක් අගනුවර නායක හාමුදුරුවෝ විදිහට හඳුන්වන්නේ. උන්වහන්සේ තායි. ඒත් සංඝ පරම්පරාවක හයවැනි සංඝ පරම්පරාවේ නායක හාමුදුරුවෝ විදිහටයි සලකන්නේ. 

අපේ නායක හාමුදුරුවන්ට ශ්‍රී ලංකාව සමග සුවිශේෂී සම්බන්ධයක් තිබෙනවා. ආරාධනා අනුව උන්වහන්සේ නිතරම ශ්‍රී ලංකාවට වැඩම කරනවා. ඒ වගේම උන්වහන්සේ නිතරම ශ්‍රී ලංකාවට උදව් උපකාර කරනවා. විශේෂයෙන්ම ලංකාවේ වෙහෙර විහාරස්ථානවල, ගම්බද පළාත්වල දහම් පාසල් දරුවන්ට උදව් උපකාර කර තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් විශාල පිරිසකට ශිෂ්‍යත්ව ලබාදීලා තිබෙනවා. 

ඒ වගේම තායිලන්තයට වැඩම කරන ලංකාවේ සෑම ස්ථානයකම භික්ෂූන් වහන්සේලාව වට්ඉන්දර විහාරස්ථානයේ නවාතැන් පහසුකම්, දානය පවා සපයා දෙනවා. මේ නිසා තායිලන්තයයි ශ්‍රී ලංකාවෙයි බෞද්ධත්වයේ මිත්‍රකම් සංකේතය විදිහට මේ විහාරස්ථානය හඳුන්වන්න පුළුවන්'' යැයි පැවසීය. 

තොරතුරු සපයා ගැනීමේදී බැංකොක් නුවර 'සවාරි' සංචාරක සමාගමේ නාලක කරුණාරත්නගේ සහ මානෙල් ලංකා ආපන ශාලාවේ නිමල් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරු සහාය දැක්වූහ.

(4) (5) (6)



Recommended Articles