තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය නගාසිටුවීමට දායක වෙමු


මීගහකිවුල තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ඇති අඩුපාඩු හේතුවෙන් එහි වැඩවාසය කරන හිමිවරුන් මෙන්ම දායක දායිකාවෝද ගැටලු රැසකට මුහුණදී සිටිති.

මෙම ප්‍රදේශය අවට විහාරස්ථානවල කුඩා සාමණේර හිමිවරුන්ට ඇති එකම සාමනේර පුහුණු ආයතනය පිහිටුවා ඇත්තේද මෙම විහාරස්ථානයේය.

වසර සියයකට වඩා ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය මේ වන විට ප්‍රදේශයේ දායක පිරිසගේ අප්‍රතිහත උත්සාහය මත දියුණුවෙමින් පැවැතියත් එහි වැඩවසන හිමිවරුන්ගේ හා විහාරස්ථානය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන්ගේත් පහසුව තකා තවත් විශාල සංවර්ධන කටයුතු රාශියක් සිදුකළ යුතුව ඇතැයි විහාරාධිපති තල්දෙන ධම්මවංශ හිමියෝ පෙන්වා දෙති.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

''මෙම විහාරස්ථානය පිහිටා තියෙන්නේ මාර්ගය ආසන්නවයි. ඒ නිසා අතිවිශාල පිරිසක් මෙහි පැමිණෙනවා. ඇතැම් වන්දනා පිරිස් මෙහි රාත්‍රීකාලයේ නවාතැන් ගන්නවා. එවැනි තත්ත්වයක් පැවැතියත් ඒ අයට මෙහි තියෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම ඉඩකඩ ඇති ධර්ම ශාලාවක්, මුළුතැන්ගෙයක්, වැසිකිළි පද්ධතියක් විහාරස්ථානයට අවශ්‍යයි.

ඒ වගේම ප්‍රදේශයේ එකම භික්ෂු සාමණේර ආයතනය තිබෙන්නේ මෙම විහාරස්ථානයේයි. ඒ නිසා එහි අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය නේවාසික පහසුකම් ඇතුළු බොහෝ පහසුකම් මෙහි නැහැ.

පන්සල සතු සංඝාවාසයත් මේ වන විට බොහෝ පරණයි. අලුතින් දෙමහල් සංඝාවාසයක් ඉදිකිරීම ආරම්භ කර ඇතත් අවශ්‍ය මුදල් අඩුකම නිසා එම කටයුතු සිදුවන්නේත් මන්දගාමීවයි.

ඒ වගේම බෝධි ප්‍රාකාරය, සීමාමාලකය, විහාරස්ථානයේ ආරක්ෂිත තාප්පය ආදිය ඉදිකර ගත යුතුව තිබෙනවා. ඒ වගේම පන්සලේ කොටසක් තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. මේ නිසා දෛනිකව අති විශාල පිරිසක් මාර්ගය හරහා ගමන් කරනවා. මෙතන්ට ගුවන් පාලමක් දාන්න තිබුණා නම් හරිම වටිනවා.

තල්දෙන ගම්මානය අතිශය අඩු ආදායම්ලාභී, ගොවිතැනින් දිවිගෙවන පිරිසක් ජීවත්වෙන ගම් ප්‍රදේශයක්. මෙම කාරණාව නිසාම මෙම ගම්මානවල ජනතාවට විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් දායක විය හැක්කේ සීමිත අයුරිනි.

එසේ වුවත් ඔවුන්ගේ ආධාරය මත ගොඩනැගෙමින් පැවැතෙන මෙම විහාරස්ථානය ගොඩනැංවීමට ඕනෑම අයෙකුට සිය දායකත්වය සැපයිය හැකි හැකියි.'' යැයිද පවසා සිටියහ.

එන්.කේ.නිශ්ශංක මීගහකිවුල 

07_   ____ __-______ 06  ____ __-______ 05 ____ __-______ 04 _________ ___ ______ ______ ____________ _____ ____ 03 _____ ____________ 02 ____ ___ _____ ________ 01 _____ ________



Recommended Articles