සටහන හා ඡායාරූප/ බුල්නෑව - ප්‍රදීප් රණතුංග
‘ඉස්සර කරපු රස්සා දැන් අපි කරන්නේ නෑ. ළමයි කැමති නෑ අපි ඒ රස්සා කරනවට. ගොවිතැන් කෙරුවත් ලොකු ආදායමක් ගන්න බෑ. පහුගිය කන්නවල වැස්ස තිබුණේ නැති හින්දා කරදර ගොඩක් ආවා. මේ දවස්වල ජීවත් වෙන එක හරි අමාරුයි. සමහර දවස්වලට මාළු පස්දෙනෙක් අල්ල ගන්න වැව් දෙක තුනකට යන්න වෙනවා. සමහර ගම්වල මිනිස්සු කැමති නෑ අපි බිලී බානවට. රණ්ඩුවට එනවා. එහෙම වෙලාවට අපි මගඇරලා වෙන තැනකට යනවා. තාමත් අපි ගැන තියෙන්නේ අඩු සැලකිල්ලක්. කොතනට ගියත් ඒක තියෙනවා. අපි මැරෙනකන්ම මේ මදිපුංචිකම තියෙයි. මොනවා කරන්නද ඉතින්.’
ජීවත් වීම සඳහා නෙළුෑ ලූල් මාළු අස්වැන්න අතින් ගෙන මහමගට එන ඒ. ප්‍රියරත්න මහතා පැවසූයේ එවැන්නකි. ඔහු තඹුත්තේගම, කුඩාගමේ වැසියෙකි.
1981 වර්ෂයේදී පමණ ජනාවාස වී ඇති “කුඩාගම” තඹුත්තේගම ප්‍රදේශයේ ඇති පැරැණි සාම්ප්‍රදායික ගම්මාන කිහිපයෙන් එකකි. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 419 ඉකිරිවැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි මෙම ගම්මානය කිසියම් උපසංස්කෘතික වටිනාකම් සහිත පරිසරයකට ඈඳී පවතින්නකි. එය මේ ප්‍රදේශයේ කිසිවෙකුටත් රහසක් නොවන අතර, ඔවුනටම ආවේණික රැකියාවල නියැළෙමින් ජීවිකාව සරි කිරීම මෙහි ජීවන හුස්ම අල්ලන තෙලිඟු ජනයාගේ පිළිවෙත වී තිබිණි.
එහෙත් අද වනවිට මේ උපසංස්කෘතික පරිසරය තුළ සාස්තර කීම, නයි, රිළවුන් ආදී සතුන් නැටවීම වැනි සාම්ප්‍රදායික රැකියාවල තවදුරටත් නියැළීමට ඇති අකමැත්ත හේතුවෙන් කුඩාගමේ සමහරෙකු ගමෙන් මහමගට පිවිස ඇත්තේ, මුදල් උදෙසා අලුත් මාර්ග සොයා ගැනීම සඳහාය. සමහරෙකු විවිධ ව්‍යාපාරවල නියැළෙන්නේත්, ස්වයං රැකියා අරඹා ඇත්තේත් එහි ප්‍රතිඵලයක් වශයෙනි. කුඹුරු ගොවිතැනද දැන් මොවුන් සමහරෙකුගේ ජීවනෝපාය වී තිබේ.
සිල්ලර වෙළෙඳාම, ජංගම වෙළෙඳාම, ඇඳුම් මැසීම, පොළේ යාම ආදියද ඒ අතරය. මේ හැම අතරේ අල්ලන ලද වැව් මාළු මහමගට ගෙනවිත් අලෙවි කිරීමද විශේෂය. ඔවුනටම ආවේණික විශේෂ බිලී බෑමේ ක්‍රමයකට අනුව අල්ලන ලූල් මාළුන් අලෙවි කොට දවස සරි කරන කුඩාගමේ පිරිස එකෙකු දෙන්නෙකු නොව සිය ගණනකි. එපරිද්දෙන් දවස සරි කරන කුඩාගමේ ඊ. අශෝක මහතා සිය රැකියාවේ රස, නීරස ගැන පැවසූයේ මෙලෙසිනි.
‘අපි අල්ලන්නේ ලූල් මාළු විතරයි. දැල් දාලා මාළු අල්ලන අය තෙප්පිලි වගේ අනිත් මාළු අල්ලන හින්දා අපිත් ඒ මාළුම අල්ලන එකේ තේරුමක් නෑ. එතකොට විකුණගන්න බැරිව යනවා. කොහොමහරි අපි දවසේ වියදම හොයාගන්නවා. අපෙන්ම ලූල්ලු ගන්න පුරුදු වෙච්ච කට්ටියක් ඉන්නවා. සමහරු අහම්බෙන් දැකලා ගණන් අහලා අරගෙන යනවා. කොහොමත් අපේ මාළු ගණන් අඩුයි. පහුගිය ටිකේ අපිටත් කරදර ගොඩක් ආවා. මාළු අල්ල ගත්තත් පාරේ මිනිස්සු යන්නැති හින්ද මාළු විකුණගන්න විදිහක් නැතිව ගියා. දැන් ආයේ යන්තන් අල්ලන මාළු ටික විකුණ ගන්න පුළුවන්. මේ හොයාගන්න කීයෙන් හරි තමයි ගෙදරට හාල්, තුනපහ ටික ගන්නේ.’
එසේම වේවැල් කෝටු කිහිපයක් එකිනෙක ඈඳා සකසන බිලී පිත්ත වැව් දිය මතට යොමු කොට ලූල් මාළුන් ඇල්ලීමේ ක්‍රමවේදය සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ නියුතු වූවන් අතර ප්‍රචලිත නොවූවක් වන අතර, එය මේ තෙලිඟු ගැමියන්ටම ආවේණික වූවකි. ප්ලාස්ටික් කළෙගඩියත්, බිලී පිත්තත් ගෙන ඈත ගම්මැදිවල වැව් අමුණු සොයා ඔවුහු ගමන් කරති. ඇම සඳහා යොදන කුඩා මාළුන් සේම ඇමට හසුවන ලූල් මාළුන් සුරක්‍ෂිත වනුයේද එම කාලය තුළමය. ඒ මේ ජීවිතයේ හැටිය. හිමිදිරිය ඉකුත්ව පැයක් දෙකක් ගතවෙත්ම නිවසින් බැහැරව යන මෙම පිරිස් කොහේ හෝ ගම්මැදි කොටු වැවකින් ඇල්ලූ ලූල් මාළුද සමග සවස හතර පහ වනවිට මහමගට එති. හවසට මේ මගෙහි යන එන සමහරෙකුට මෙම පිරිස් අමුත්තෝ නොවෙති. ලූල් මාළු ඇල්ලීමේ කලාව ගැන හොඳින් දත් පී. නිමල් මහතා පැවසූයේ මේ හා බැඳුණු රස රහසකි.
‘මල්වතු ඔය දෙපැත්තේ තියෙන පඳුරුවලින් තමයි අපි වේවැල් කපාගන්නේ. ගම්වල තියෙන පොඩි වැව්වල තමයි ලූල්ලු ඉන්නේ. සමහර අය හිතන්නේ ලූල්ලු ඉන්නේ මඩ යට කියලා. එහෙම එකක් නෑ. උන් ගොඩක් වෙලාවට ඉන්නේ වතුර උඩ. බිලී කොක්කට පොඩි මාළුවෙක් අමුණලා දැම්මහම උන් උඩට එනවා. ලූල්ලු පොඩි මාළු කන්න පෙරේතයි. උඩට එන ලූලා ඇම ගිලිනවා. ඒත් නිතරම උන් ඇම ගිලින් නෑ. එහෙම අල්ලන්නත් ලේසි නෑ. ඉවසගෙන ඉන්න ඕන. කලබලේට මේ වැඩේ කරන්න බෑ. ලූල්ලුන්ගේ සයිස් එක බලලා වැල් ගහලා තමයි විකුණන්නේ. සයිස් එකේ හැටියට තමයි ගාන කියන්නේ. දවසම ඔට්ටු වෙලා අල්ලගන්න මාළු හවසට විකුණ ගත්තොත් තමයි සැනසීමෙන් ගෙදර යන්න පුළුවන් වෙන්නේ.’
අද වනවිට කුඩාගම ගම්මානයේ පවුල් හාරසියයක පමණ දෙදහස ඉක්මවන පිරිසක් ජීවත්වන අතර, ඉන් පවුල් පණහකට ආසන්න පිරිසක් බුදුදහමට නැඹුරුව සිටිති. එසේම පවුල් තුන්සියයකට වැඩි පිරිසක් කිතු දහම කෙරෙහි විශ්වාසය තබා ඇත. සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට පැමිණ නූතන සමාජ තත්ත්වයන් හා මුහුවීමේදී වර්තමානය වනවිට සමාජ, ආර්ථික ගැටලු ගණනාවකට ඔවුහු මැදි වී සිටිති.
අසූව දශකයේ මැද භාගයේදී එවක මෙරට අග්‍රාමාත්‍යවරයා මෙන්ම නිවාස සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ ආර්. ප්‍රේමදාස මහතා ගමේ සංවර්ධන කාර්යන් සඳහා මුල් වූ බව අදත් මේ ගැමියන්ට හොඳින් මතකය. සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වීම දක්වා ගමේ පාසල සංවර්ධනය වී ඇත්තේත්, අතු ඉතිවලින් හෙවිළි කළ ගෙවල් උළු නිවාස වී ඇත්තේත් ප්‍රේමදාස මහතාට පින් සිදුවන්නටය. එහෙත් එතෙක් මෙතෙක් ජීවත් වීම උදෙසා මතු වූ ගැටලු සඳහා මෑතකදී කවර හෝ අවධානයක් යොමු නොවුණු බව මේ ගැමියන් පවසනුයේ සංවේගයෙනි. මෙරට සෑම තැනකම සේම රැවටීම මේ ගැමියන්ටද හොඳින් හුරු වූවකි.
‘අපෙන් මාළු ගත්තත් මිනිස්සු සමහරු අපි දිහා බලන්නේ මනුස්සකමෙන් නෙමෙයි. අපි පරණ රස්සා කරනකොට මිනිස්සු හිනාවෙනවා. ළමයින් කැමතිත් නෑ. ජීවත්වෙන්න කාගෙන්වත් උදවුවක් ඇත්තෙත් නෑ. ඉතින් ජීවත්වෙන්න මෙහෙම දෙයක් හරි කරන් නැතිව අපි මොනවද කරන්නේ. අපට කාගේ පිහිටක්ද ? ‘ යැයි මාළු සමග මහ මගට එන කුඩාගමේ ඒ. රත්නා මහතා ඇසීය.
එය උත්තර නැති පැනයකි. “අපට කාගේ පිහිටක්ද ?” යැයි මම මවෙතින්ද ඒ පැනය ඇසීමි. ඒ හැම අතර ගම්මැදි වැව් කාලානුරූපීව විවිධ උපද්‍රවවලට මැදිවීමත්, පෙර රජ දවස පටන් පැවැත එන මේ ජල සම්පත් වෙත අයිතිකරුවන් බොහෝ වීමත් තෙලිඟු ගැමියන්ගේ ජීවනෝපාය අනතුරට වැටීමට හේතු වී තිබේ. බොහෝ වැව් වසා පැතිර ඇති ජපන් ජබර, සැල්වීනියා ආදිය ජලජ ශාක බිලී බෑමට මහත් බාධාවකි. එසේම මාළු ඇල්ලීමට තබා හැල්මේ හැදෙන නෙළුම් මලක් කඩා ගැනීමට පවා නොහැකි වන අන්දමින් සමහර වැවකට තහංචි දමා ඇත. විදේශීය මාළු විශේෂ ගම්මැදි කුඩාවැව්වලටද බෝ කිරීම මගින් දේශීය ආවේණික මාළු සම්පත විනාශවීමට හේතු වී තිබේ. ආර්. රාජා මහතා පැවසූවේ මේ දුක් කරදර ගැනය.
“ගම්වල පොඩි වැව් ගොඩ වෙච්ච එකෙන් අපටත් ජීවත්වෙන්න විදිහක් නැතිව ගිහිල්ලා තියෙන්නේ. ජපන් ජබරවලින් වැව් පිරුණහම කොහොමවත්ම දැල් එලන්න බෑ. බිලී කොකු දාන්නත් ලේසි නෑ. ඉන්න මාළු ඔක්කොම මේ ගොලු අස්සේ හැංගිලා ඉන්නේ. තව ටික දවසක් යනකොට ජපන් ජබරවලින් වැව් පිටින් වැහෙන එක නවත්තන්න වෙන්නේ නෑ. වැවක් ගොඩ වෙනකොට කී දෙනෙක් අනාථ වෙනවද කියලා ලොකු නෝනලා, මහත්තුරු කවුරුවත් හිතන් නෑ. අලුත් මාළු වර්ග වැව්වලට දැම්මට පස්සේ අපේ මාළු නිකන්ම වඳ වෙලා යනවා.”