“කෝවිඩ්” කළ වෙනසින් පසුව ඉදිරිය...


කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග බොහෝ කර්මාන්තයන් සිය නිෂ්පාදන සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු මට්ටමකින් අඩාළ වන තත්ත්වයකට මුහුණ දී සිටියි. එවන් පසුබිමක ක්‍රමයෙන් රට විවෘත කරන්නට රජය පියවර ගෙන යද්දී කර්මාන්තකරුවන් ලෙසත්, ව්‍යවසායකයන් ලෙසත් අප සිදුකළ යුත්තේ කුමක්ද? හා අපගේ අවධානය යොමු විය යුතු වැදගත්ම කාරණා මොනවාද? යන්න පිළිබඳව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව හා ආපදා කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්පනා අඹේපිටිය මහත්මිය දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි.

රට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විවෘත වී තිබුණත්, ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ සම්පූර්ණයෙන්ම කෝවිඩ් වසංගතයෙන් නිදහස් වූ පසුබිමක නොවන බව ප්‍රථමයෙන් වටහා ගත යුතුය. රටේ ආර්ථික වර්ධන වේගය යම්තාක් දුරට පවත්වා ගැනීමටත්, අතිවිශාල ණය ප්‍රමාණයක් පියවීමටත් ඇති නිසා රට යම්තාක් දුරට විවෘත කිරීමට සිදුවී ඇත. ඒ අනුව 30% - 50% අතර ප්‍රතිශතයකින් රටේ නිෂ්පාදන හා සැපයුම් ක්‍රියාවලි පවත්වා ගැනීමට අප රටට සිදුවී ඇත. මෙම අවස්ථාවේදී අපට ව්‍යාපාර ක්ෂේත්‍රයේ කඩාවැටීම් රැසක් හා නැගී ඒම් කිහිපයක් ඇති වී තිබෙන බව පෙනී යන්නක්. එසේ නම් රටක් ජාතියක් ලෙස මෙලෙස කඩා වැටෙන ව්‍යාපාර මොනවාද? නැගී එන ව්‍යාපාර මොනවාද? යන්න නිවැරදිව හඳුනාගත යුතුයි. විශේෂයෙන් මෙම අවස්ථාවේදී අපි කෙදිනකවත් අපේක්ෂා නොකළ නව ව්‍යාපාරික අවස්ථා කිහිපයක් උදාවී තිබේ. මේවා ගෝලීය වශයෙන් ඉතා ඉහළ ආදායම් ලබාගත හැකි අවස්ථාවන් වේ. එසේම අවධානය යොමු නොවූ, මින් පෙර අපනයනවලට සුළු වශයෙන් දායක කරගනු ලැබූ ජාතික වශයෙන් වැදගත් ව්‍යාපාරික අවස්ථාවන් තිබේ. ඒ සමගම  අපි බැලුවහොත් මේ කෙටි කාලය තුළ ගෝලීය වශයෙන් කඩාවැටුණු ව්‍යාපාරද දැකගත හැකිය.

දැනට ලෝකයේ බොහෝ රටවල් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ලෙස බෙදා වෙන්කර ගනිමින් ව්‍යාපාරික කටයුතු පිළිබඳ අවධානය යොමු කරනු ලබයි. විශේෂයෙන් කෝවිඩ් 19 වසංගතයත් සමග සංකල්ප 6ක්  ලෝකය තුළ බිහි වී තිබේ.

ඒවා නම්,

01. ලෝකය වෙනස් වීම

02. වෙනසට අනුගත වීම.

03. පැවැත්ම තහවුරු කර ගැනීම.

04. රැකියා හා ව්‍යාපාර අවස්ථා අහිමි වීම.

05. ව්‍යවසායකත්වයන් වැඩි වීම.

06. පරිසරය ආරක්ෂා කර ගැනීම.

මෙම සංකල්ප 06 පිළිබඳව ව්‍යාපාර ක්ෂේත්‍රයද වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. විශේෂයෙන් මෙහි 06 වැන්න වන පරිසර සංරක්ෂණය යන සංකල්පය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම මගින් ව්‍යාපාර ක්ෂේත්‍රවල විශාල වෙනසක් ඇති කිරීමට හැකි වනු ඇත.

කෝවිඩ් හමුවේ රටේ කඩා වැටෙන කර්මාන්ත

සිල්ලර වෙළෙඳාම

සංචාරක කර්මාන්තය

කාර්යසාධන (Logistic) කර්මාන්ත (රටේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය  සැපයුම් කර්මාන්ත)

මගී ප්‍රවාහන සේවා

ආපනශාලා/ ආහාර සැපයුම් ආයතන

නිමි ඇඳුම් කර්මාන්තය

ඉදිකිරීම්

සිනමා, ටෙලිනාට්‍ය, නාට්‍ය

ආහාර ආනයනය

උත්සව අවස්ථා සඳහා පහසුකම්සපයන ආයතන

විශේෂයෙන් මෙම කර්මාන්ත අතරින් වැඩි වශයෙන්ම කඩාවැටුණු කර්මාන්ත ලෙස සංචාරක කර්මාන්තය හා ඇඟලුම් කර්මාන්තය සඳහන් කළ හැකිය. එම කර්මාන්ත වැඩි වශයෙන් රටට විදේශ විනිමය සැපයූ කර්මාන්ත වේ. එසේම ලොජිස්ටික් නැතහොත් අමුද්‍රව්‍ය සැපයුම් කර්මාන්තයට විශාල වශයෙන් බාධා එල්ල වූයේ ප්‍රධාන සැපයුම්කරුවා චීනය වීම නිසාය. අමුද්‍රව්‍ය සැපයුම් කර්මාන්තය අඩාළ වීම මත දේශීය නිෂ්පාදන රැසක් අතරමග ඇනහිට ඇත.

කෝවිඩ් සමග ලෝකයේ බිහිවූ සංකල්ප හයෙන් "ලෝකය වෙනස් වීම" යන සංකල්පය පිළිබඳව අපගේ අවධානය මඳක් වෙන් කළහොත්, නව්‍ය ව්‍යාපාරික අවස්ථා ඇතිවීම පිළිබඳ එනම් ව්‍යාපාර ලෝකයේ වෙනස් වීම අපට හඳුනාගත හැකිය.

කෝවිඩ් නිසා සිදුවූ ප්‍රධාන වෙනස්වීම්

අන්තර්ජාලය භාවිතය ඉහළ යෑම

සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු වීම

වායු දූෂණය අවම වීම

ජීවිතවල මුල්තැන දෙන අංශය වෙනස් වීම ( රැකියාවට වඩා පවුලට මුල්තැන ලැබීම)

මාර්ගගත ( Online) ඉගැන්වීම්

ආහාර හා ආහාර පරිභෝජනය ( නිවසේ වැවූ ආහාර පරිභෝජනය, නිවසේ පිසූ ආහාර පරිභෝජනය)

විනෝදාස්වාදන කටයුතු වෙනස් වීම ( නෙට්ෆික්ස්, පියෝ ටීවී, යූටියුබ් වැනි අන්තර්ජාල භාවිතය වැඩි වීම)

මෙම වෙනස්වීම් පිළිබඳව නිවැරදි ලෙස අවධානය යොමු කළහොත් නව ව්‍යාපාර අවස්ථා රැසක් උත්පාදනය කරගත හැකිය.

විශේෂයෙන් ව්‍යාපාර වෙනස් කිරීම් කෙරෙහි මෙය වඩාත් යහපත් අයුරෙන් භාවිත කළ හැකිය.

කෝවිඩ් නිසා වෙනස් වූ ව්‍යාපාර අවස්ථාවන්

ඩිජිටල් මෙවලම්

උදාහරණ ලෙස Zoom වැනි ඩිජිටල් මෙවලම් හඳුන්වා දිය හැකිය. මෙවැනි ඩිජිටල් මෙවලම්වල අවශ්‍යතාව ලෝකයට වැඩි වශයෙන් දැනෙන්නට විය.

GIT Economy එනම් Uber

වැනි ව්‍යාපාර

එනම් නිදහස් වෙළඳාමක් තුළ පොදුවේ ඇති කරන තාවකාලික රැකියා සඳහා නිදහස් සේවකයින් කෙටි කාලීනව යොදා ගැනීම. මෙය තොරතුරු තාක්ෂණයේ වාසි නිසා ලොව පුරාම ප්‍රචලිත වෙමින් පවතී.

ලෝකය පුරා ව්‍යාප්ත වූ මෙවැනි ව්‍යාපාර අනාගතයේදී වඩාත් අවශ්‍ය වනු නොඅනුමානය. මිනිසුන් එකිනෙකාට මුණගැසීම අඩු කරවන, අන්තර්ජාලයෙන් ප්‍රවේශ විය හැකි මෙවන් සේවාවන්වල අවශ්‍යතා වඩාත් බහුල වනු ඇත. නමුත් අනාගතයේ වැඩි වන ජනගහනයට රැකීරක්ෂා සුරක්ෂිත වන අයුරෙන් මෙවැනි ව්‍යාපාර සංවර්ධනය වඩාත් සුදුසු වේ.

කොටස් වෙළෙඳ පොළ

කොටස් වෙළෙඳ පොළ අනාගතයේ වඩාත් අවධානය යොමු වන ආයෝජනයක් බවට පත්වන්නට වැඩි ඉඩක් ඇත්තේ, අමතර ආදායම් ලැබෙන ක්‍රමවේදයක් සේම අවම ව්‍යාපාරික අවධානමක් සහිත ව්‍යාපාර කෙරෙහි සියලුදෙනා යොමු විය හැකි බැවිනි.

ගෙවතු වගාව

මෙහිදී තමන්ගේ ගෙවත්ත වගා කර ගන්නවාට අමතරව එය ව්‍යාපාරික කටයුත්තක් බවට පත්කර ගත හැකිය. ඒ අනුව ගෙවතු වගාවක් සකස් කර දීමේ සේවා සැපයීම හා ඔන්ලයින් උපදෙස් ලබාදෙන ව්‍යාපාර පිළිබඳව මේ වනවිටත් ලෝකයේ අවධානය යොමු වී තිබේ.

මානසික සෞඛ්‍යය

කෝවිඩ් 19ත් සමග මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු විය. එහිදී මනෝ ප්‍රතිකාර ක්‍රම, මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු උපදෙස් ආදිය වැඩි වශයෙන් මාධ්‍ය හරහා පළ විය. මෙම තත්ත්වය ව්‍යාපාරික අවස්ථාවක් බවට හරවා ගත හැකිය.

පුනර්ජනනීය බලශක්තිය

කෝවිඩ් නිසා මේ පිළිබඳව ලෝකයේ වැඩි කතාබහක් ඇතිවිය. විශේෂයෙන් පරිසර සමතුලිතභාවය පවත්වා ගැනීම හා දේශගුණික විපර්යාස පිළිබඳව වැඩි කතාබහක් ඇතිවිය. කාබන් විමෝචනය අඩු කරන ක්ෂේත්‍ර පිළිබඳ වැඩි අවධානය යොමු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සූර්ය බලාගාර හා සුළං විදුලිය නිෂ්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට හැකියාවක් ඇති බැවින් ඒ ආශ්‍රිත ව්‍යාපාර පිළිබඳ අවධානය යොමු කළ හැකිය.

රක්ෂණ ක්ෂේත්‍රය

ලෝකයේම වැඩි අවධානයක් මේ කෙරෙහි යොමු වී ඇති බැවින් අනාගතයේදී මිනිසුන් ඒ කෙරෙහි වැඩි නැඹුරුවක් යොමු කරනු ඇත.

ආයුර්වේද ඖෂධ

කෝවිඩ් 19 වෛරසයට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පිළියමක් තවමත් සොයාගෙන නොමැති නිසා බොහෝදෙනා ආයුර්වේද හෝ ශාකමය ඖෂධ භාවිතයට නැඹුරු වීම ගෝලීය වශයෙන් දක්නට ලැබිණ. ඒ අනුව අනාගතයේ හොඳ ව්‍යාපාරික අවස්ථා මේ ක්ෂේත්‍රයන්ගෙන් බිහිකර ගැනීමට හැකියාවක් පවතියි.

සෞඛ්‍ය උපකරණ

තම තමන්ගේ රටට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තම රට තුළම නිෂ්පාදනය කිරීම පිළිබඳ මේ කාලය තුළ වැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන් තරුණ පිරිස් නව නිෂ්පාදන හඳුන්වා දීමට යොමු විය. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය උපකරණ නිෂ්පාදනය යන අංශයෙන් විශාල පිබිදීමක් ඉදිරියේදී සිදුවනු ඇත.

අලෙවිකරණය

භාණ්ඩ හා සේවා අලෙවිකරණය ඩිජිටල් මාර්කටින්, ඔන්ලයින් මාර්කටින්, වර්චුවල් මාර්කටින් ක්ෂේත්‍ර එකට එකතු කිරීමට මෙම කාල සීමාවේදී හැකි විය. ඉදිරියේදී මෙම තත්ත්වයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සිදුවනු ඇත.

මෙම වෙනස් වූ ව්‍යාපාර පිළිබඳ අවධානය යොමු කරමින් ව්‍යාපාරික අවස්ථාවන් නව්‍යකරණය කිරීම සිදුකළ හැකිය.

අප පෙර පැවසූ ආකාරයට මේ වනවිට රටෙන් 30෴ - 50෴ත් අතර ප්‍රමාණයක් විවෘත කර ඇත. එහිදී නිෂ්පාදන ක්‍රියාවලියන් නැත්නම් ව්‍යාපාරයන් යම්තාක් දුරට සිදුකිරීමට කර්මාන්තකරුවන්ට අවස්ථාව උදාවී තිබේ. මෙහිදීද කර්මාන්තකරුවන් ලෙස අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පවතී. මෙම කරුණු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ලෙස බෙදා වෙන්කර දැක්විය හැකිය. මෙහිදී කෙටිකාලීන අවදියේදී කර්මාන්තකරුවන් ලෙස සිදුකළ යුත්තේ කර්මාන්තයේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා නිෂ්පාදන සිදුකිරීමය. ඒ අනුව ඉතා ඉක්මනින් තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා සැපයුම් සිදුකිරීමටත්, තමන්ගේ ගැනුම්කරුවන් රඳවා ගැනීමටත් උත්සාහ දැරිය යුතුය. මෙහිදී තමන්ගේ නිෂ්පාදන වර්ගීකරණයක් සිදුකර ගැනීම අවශ්‍ය වේ.

විශේෂයෙන් තමන්ට වැඩි වශයෙන් ලාභ හිමිවන නිෂ්පාදනයන්, පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය නිෂ්පාදනයන්, විශාල ප්‍රයත්නයක් දරමින් වෙළෙඳ පොළේ රඳවා තබාගෙන සිටින නිෂ්පාදනයන් ලෙස තමන්ගේ නිෂ්පාදනයන් වර්ගීකරණය කර ගැනීම අවශ්‍ය වේ.

ඒ අනුව ලාභ උපයන නිෂ්පාදනයන් මේ වනවිටත් වෙළෙඳ පොළේ හොඳින් අලෙවි වන තත්ත්වයක පවතින බවත්, දෙවන නිෂ්පාදන වර්ගයත් යම්තාක් දුරට අලෙවි වන බවත් පෙනී යනු ඇත. මෙවැනි අවස්ථාවකදී ආයතනයක් කල්පනා කළ යුතු වන්නේ විශාල ප්‍රයත්නයක් දරමින් වෙළෙඳපොළේ රඳවාගෙන තිබෙන නිෂ්පාදනය නිසා තමන්ගේ කර්මාන්තයට අලාභ සිදුවන්නට තිබෙන ඉඩකඩ වැඩි වන බවයි.

ඒ අනුව මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන තමන්ගේ ව්‍යාපාරයන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

කෝවිඩ් පැමිණීමට පෙර අපගේ ජීවන රටාව පිළිබඳ අවධානය යොමු කළහොත් විදේශීය නිෂ්පාදන පරිභෝජනයට වැඩි නැඹුරුවක් පැවතිණ. නමුත් කෝවිඩ් නිසා දේශීය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. ඒ අනුව දේශීය නිෂ්පාදන මත යැපීමට මිනිසුන් යොමු වීම නිසා විශේෂයෙන් කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇත.

ඒ අනුව කෘෂිකර්මාන්තය කෙරෙහි බැඳුණු ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ආහාර හා ජලය පිළිබඳව අපි මේ මොහොතේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් අතරම, මීළඟ වසංගත තත්ත්වයක් හමුවේ අපි පරිස්සම් කරගත යුත්තේ ජලය වන බවත් මෙහිදී සටහන් කළ යුතුම වේ. ඒ අනුව කෝවිඩ් සමග ජලය සංරක්ෂණය කෙරෙහි වන කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ආහාර පිළිබඳව අවධානය යොමු කිරීමේදී මාස දෙක තුනක කාලයක් ජනතාවගේ ආහාර අවශ්‍යතාව සුරක්ෂිත කිරීමට නම් කෘෂිකර්මාන්තය 80෴ක මට්ටමක පවත්වාගත යුතු වෙයි. මෙය අපහසු වුවත් සිදුකළ යුත්තකි. මෙහිදී අපනයන භෝග පිළිබඳව සහ අපනයන කෘෂි භෝග පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

එසේම තේ කර්මාන්තය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වඩාත් අවශ්‍ය වේ. විශේෂයෙන් මේ අවස්ථාවේදී තේ සඳහා ගෝලීය වශයෙන් අධික ඉල්ලුමක් පැවතීම නිසා ගුණාත්මක බව රැකීම කෙරෙහි අවධානය වැඩි වශයෙන් යොමු කරනවාට වඩා ඉල්ලුමට සරිලන සැපයුම පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ. එය දීර්ඝකාලීනව නොව කෙටිකාලීනව සිදුවිය යුතු අතර, කෙමෙන් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීම හා ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදන අපනයනය කළ යුතුවේ.

එසේම අපනයන භෝග අතරට ආයුර්වේද නිෂ්පාදන ඇතුළත් කර ගැනීමට රජයේ නීතිරීති ලිහිල් කරමින් දේශීය නිෂ්පාදකයන්ට ව්‍යාපාර අවස්ථාවන් උදාකර දිය යුතු වෙයි.

තවද සංචාරක කර්මාන්තය පිළිබඳව අවධානය යොමු කළහොත් මෙවැනි අවස්ථාවකදී අවධානය යොමු කළ යුතු වන්නේ දේශීය සංචාරකයන් නැඹුරු කර ගැනීම සඳහාය. විශේෂයෙන් මධ්‍යම පාන්තිකයන් සඳහා ගැළපෙන සේවා සැපයීමට කෙටිකාලීනව සැලසුම් සැකසිය යුතුය.

එසේම ඇඟලුම් කර්මාන්තය පිළිබඳ කතාබහ කිරීමේදීද PTE හා  Face mask වලට ගෝලීය වශයෙන් කෙටිකාලීන ඉල්ලුමක් වර්තමානයේ පවතියි. ඒ ඉල්ලුමට සැපයුම් සැපයීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේම දේශීය වෙළෙඳ පොළට සරිලන පරිදි ඇඟලුම් නිෂ්පාදනය කෙරෙහි කෙටිකාලීනව අවධානය යොමු කළ හැකිය.

ඉංජිනේරු අංශයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී චීනයෙන් ගෙන්වූ උපකරණ වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි උපකරණ කෙරෙහි අවධානය යොමු කළ හැකිය. විශේෂයෙන් චීනයෙන් උපකරණ මිලදී ගත් බොහෝ රටවල් චීනයෙන් ඉවත් වී එම උපකරණ නිෂ්පාදනය කරන රටවල් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඒ අනුව මේ පිළිබඳව අවධානය යොමු කරමින් නැවත සැකසුම් හෝ දේශීය වශයෙන් නිෂ්පාදනය කරමින් උපකරණ වෙළෙඳ පොළට හඳුන්වා දිය හැකිය. මේ සියල්ල සඳහා රජය තමන්ගේ වෙළෙඳ නීති ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

එසේම මෙලෙස රටේ නිෂ්පාදන ඉහළ දමාගෙන අපනයන ඉහළ දමා ගැනීම කෙරෙහි යන ගමනේදී ඔන්ලයින් ක්‍රමවේදයන් අනුව මුදල් ගනුදෙනු ප්‍රවර්ධනය කර  ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු වේ. මේ සඳහා රටකට උපක්‍රමශීලී වෙළෙඳ ක්‍රමවේද අවශ්‍ය වේ.

මීළඟට කෝවිඩ් නිසා හානි නොවූ ධීවර කර්මාන්තය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙහිදී සැමන් වැනි නිෂ්පාදන අානයනය නොකර දේශීයව නිෂ්පාදනය කිරීමටත්,  මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කෙරෙහි නව නිෂ්පාදන බිහිකිරීමත් සිදුකළ යුතු වේ. කෙටිකාලීන වශයෙන් ඉහත කී කර්මාන්ත හා නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කර ගැනීම තුළින් ව්‍යාපාරයන්ට තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සිදුකර ගත හැකි වනු ඇත.

මීළඟට මධ්‍යකාලීන වශයෙන් අවධානය යොමු කළ යුතු ව්‍යාපාර වන්නේ කඩාවැටුණු ආයතන හා කර්මාන්ත යළි ගොඩනංවා ගැනීම කෙරෙහිය. ඒ අනුව නිෂ්පාදන විවිධාංගීකරණය හා නිෂ්පාදන සඳහා අගයන් එකතු කිරීම සිදුකළ හැකිය. මෙහිදී ලෝකය වෙනස් වීම හා මිනිසුන්ගේ වෙනස්වීම් යන කරුණු පිළිබඳව හා වෙළෙඳ පොළේ ඇතිවී ඇති නව ප්‍රවණතා පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වේ. එහිදී දේශීයව හා විදේශීයව සිටින පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි නිෂ්පාදන වෙනස් කරගත යුතු වෙයි. මෙහිදී බ්‍රෑන්ඩිං, හා අලෙවිකරණය යන්න වැඩි වශයෙන් භාවිත කිරීමට අවධානය යොමු කළ යුතුයි. මෙම අවධියේදී උපරිම නිෂ්පාදනයකට ගමන් කරනවාට වඩා ගුණාත්මකත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. මධ්‍යකාලීන අවධියට අපට ප්‍රවේශ වන්නට සිදුවන්නේ කෝවිඩ් වසංගතය හොඳ අතට පත්වී අගුලු දැමූ රටවල් සම්පූර්ණයෙන් විවෘත කළ පසුව වේ. එයට තව වසරක් හෝ දෙකක් බලා සිටීමට වුවද සිදුවනු ඇත. මෙම අවධියේදී වැඩි වශයෙන් පරිසරය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වටී. විශේෂයෙන් මිනිසුන් පරිසරය ආරක්ෂා වන, පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි වැඩි වශයෙන් යොමු වනු ඇත. මෙම අවධියේදී පරිසර හිතකාමී නිෂ්පාදන හා සේවා හඳුන්වා දීමට වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුවේ.

දිගුකාලීන අවධියට අප අවධානය යොමු කළහොත් චීනය පිළිබඳව සිතා බැලිය යුතු වෙයි. විශේෂයෙන් චීනය යනු ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා බොත්තම් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කළ රටයි. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙය මහඟු අවස්ථාවක් බවට පත්කරගත හැකිය. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපට නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කළ හැකිය. ඉදිරියේදී ලෝකයට ගැළපෙන නිමැවුම්  හඳුන්වාදීමට හැකියාවක් ලැබුණහොත් ලෝකය දිනීමට හැකිවනු ඇත. මේ සඳහා හම්බන්තොට වරාය හා ඉදිකිරීමට නියමිත කර්මාන්ත පුරවරයන් අවධානය යොමු කළ හැකිය.

බොහෝ රටවල් තමන්ගේ නිෂ්පාදන කර්මාන්ත ශාලා පිහිටු වූ රට වන්නේද චීනයයි. අනාගතයේදී බොහෝ රටවල් චීනයෙන් තමන්ගේ කර්මාන්තශාලා ඉවත් කර ගනිමින් ඒවා පිහිටු වීමට වෙනත් රටක් සොයනු ඇත. එහිදී අපේ රටට මේ කර්මාන්තශාලා ගෙන්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරගැනීම සිදුකළ හැකිය.

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර ස්ථාවර කරගත යුතු වේ. දැනුම සඳහා වෙළෙඳ පොළක් සකස් කරගැනීම අවශ්‍ය වනු ඇති අතර, මෙහිදී තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සේවා සැපයීමට හා දැනුම බෙදාහැරීමට හැකියාවක් ලැබෙනු ඇත.

ඩීසල් හා ගල්අඟුරු භාවිතයෙන් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු වීම මෙම අවදියේදී සිදුකළ යුතුය.

ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමේදීද පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කළ හැකිය. අපේ රටේ මෝටර් රථ නිෂ්පාදනය කරගැනීම, බස් රථ නිෂ්පාදනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරගත යුතුය. එසේම සියලුම නිෂ්පාදන පරිසර හිතකාමීව සිදුකිරීමටත්, එම නිෂ්පාදන සිදුකිරීමේදී ඒවා ආනයනය කිරීම අපේ රටේ නිෂ්පාදනය කිරීමට වඩා ලාභදායීද යන්න සොයා බැලීමත් සිදුකළ යුතු වේ.

 



Recommended Articles