’’සැමට නිවසක් - යහපත් දිවියක්’’ වෙනුවෙන් කටයුතු කරන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය


'නිවාස ගැටලුව' වර්තමානයේදී නාගරික ප්‍රජාව, අඩු ආදායම්ලාභීන්, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු බොහෝ ජනයා මුහුණදෙන්නකි. විශේෂයෙන් මධ්‍යම ආදායම්ලාභීන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවසක් මිලට ගැනීමේදී ඔවුන් පත්වන අපහසුතාව, බැංකු ණය පහසුකම් ලබාගැනීමේ අපහසුතා, අධික පොලී මුදලක් අය කිරීම් වැනි හේතූ නිසා දීර්ඝ කාලයක් කුලී නිවෙස්වල ජීවත්වන පවුල් එමටය. ඔවුන් සඳහා පුළුල් සහන ක්‍රම යටතේ නිවාස ලබාදීමේ ව්‍යාපෘති කිහිපයක් රජය මඟින් මේ වනවිට ආරම්භ කර ඇතත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් වී නොමැත. මෙම වැඩසටහන් සඳහා ප්‍රධාන දායකත්වයක් ලබාදෙන ආයතනයක් ලෙස 'නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය' හඳුන්වා දිය හැකිය.

තිරසර නාගරික ජනාවාස සංවර්ධනයක් ඇති කිරීම, අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් 2008 වර්ෂයේදී පාර්ලිමේන්තු පනතක් සම්මත කරමින් ආරම්භ වන 'නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය' මේ දක්වා රටට නිහඬ සේවයක් සිදුකරමින් සිටියි. හිටපු ආරක්ෂක ලේකම් සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ වූ මෙම අධිකාරිය වර්තමානයේ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබයි. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ප්‍රධාන වශයෙන් ඉලක්ක කොට ඇත්තේ අඩු ආදායම්ලාභී ජනතාව වෙතය.

අඩු ආදයම්ලාභී නිවාසවල හෝ නගරාශ්‍රිත වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට, පැල්පත්වාසී ජනයාට සමාජය තුළ නිසි පිළිගැනීමක් නොමැති වීම අද වනවිට ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවකි. ඔවුන්ට ස්ථිර ලිපිනයක් නොමැති වීම, දරුවන් පාසලකට ඇතුළත් කිරීමේදී අපහසුතාවට පත්වීම, තරුණ තරුණියන් රැකියාවකට අයදුම් කිරීමේදී අපහසුතාවට පත්වීම වැනි දේ ඔවුන් දීර්ඝ කාලයක් පුරාවට මුහුණදුන් සමාජ ගැටලුය. එමෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ සමාජීය වටපිටාව හේතුවෙන් මහ සමාජය විසින් ඔවුන්ව වෙනසකට ඇද දමා තිබේ. මේ තත්ත්වය වෙනස් කරමින් පැල්පත්වාසීන්ට සහ නගරාශ්‍රිත වතු ජනතාවට පහසුකම්වලින් යුත් නිවාස ඉතා අඩු මුදලකට සහ පහසු ගෙවීමේ ක්‍රමවලට ලබාදීමට පසුගිය වසර කිහිපය පුරාවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් මහත් වෙහෙසක් ගෙන තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතන ත්‍රිත්වයම රටේ නිවාස ගැටලුව පිළිබඳ සාකච්ඡා කෙරෙන ආයතන වන අතර, වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අඩු ආදායම්ලාභී ජනයා සඳහා නිවාස පහළොස්දහසක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ලබාදෙන්නේ අප්‍රමාණ දායකත්වයක් බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර මහතා පවසයි.

මෙහිදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මේ වනවිට ජීවත්වන පැල්පත්වාසීන් සිය නිවාස ව්‍යාපෘති සඳහා යොමු කර ඔවුන් ජීවත් වූ ඉඩම්වලද නව මහල් නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙම අධිකාරිය බලාපොරොත්තු වෙයි. මෙහිදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් හුදෙක්ම නිවාසවලට ජනතාව පදිංචි කිරීමට එහා ගිය විශාල සමාජ කාර්යභාරයක් ඉටු කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ‍ෙජනරාල් උදය නානායක්කාර මහතා පැවසුවේ මෙවැනි අදහසකි.

"කොළඹ නගරාශ්‍රිත පැල්පත්වාසීන් හැදුණු වැඩුණු පරිසරයේ යම් වෙනස්කමක්, වෙනස් සංස්කෘතියක් තියෙන්නේ. ඔවුන්ගේ ජීවන රටාව වෙනස්. ඔවුන් ලබන වැටුප සුළු වැටුපක්. ඉතින් ඒ අයව එකවරම තට්ටු නිවාසයකට යොමු කළාම තිරස් පැල්පත් ටිකම සිරස් කළා වගේ දෙයක් සිදුවන්නේ. ඒක නොවෙයි අපේ බලාපොරොත්තුව. ඔවුන්ගේ ජීවන තත්ත්වය, සමාජීය තත්ත්වය, සියලු දේම වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් කරමින් ඔවුන්ට සමාජය තුළ හොඳ පිළිගැනීමක්, හොඳ නමක් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපි විවිධ වැඩසටහන් සිදුකරමින් යනවා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් ඔවුන්ට යම් යම් පහසුකම් ලබාදෙන්න අපි කටයුතු කරනවා. මහල් නිවාසයකට පැමිණියාම සමාන්තර තිරස් නිවසක ජීවත්වනවාට වඩා ඒ අයට නොයෙක් නොයෙක් බාධා ඇතිවෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම අපි විසඳුම් නිර්මාණය කරමින් තමයි ජනාවාස අධිකාරියේ ව්‍යාපෘති සිදුවන්නේ. සෑම අයෙකුටම නිවසක් සහ යහපත් දිවියක් උදා කරදීම, අඩු ආදයම්ලාභී ජනාවාසවල වෙසෙන ජනතාවගේ නිරෝගීත්වය, සමාජ සුභසාධනය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ"

මොරටුව, අඟුලාන යන ප්‍රදේශවල මුහුදු ඛාදනය හේතුවෙන් වාසස්ථාන අහිමි වුණු ධීවර ජනතාව සහ ඒ අවට ජීවත් වූ අඩු ආදයම්ලාභී ජනතාව වෙනුවෙන් අඟුලාන ප්‍රදේශයේ නිවාස 288කින් යුතු %සයුරුපුර^ මහල් නිවාස සංකීර්ණය, සුනාමි ඛේදවාචකයෙන් අවතැන් වූ ජනතාව සඳහා ඉදිකළ ගාල්ල %රජ්ගම^ නිවාස සංකීර්ණය, මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ අනුරාධපුර 'තුරුවිතුරුගම' මහල් නිවාස සංකීර්ණය, හලාවත නරියාගොඩැල්ල නිවාස ව්‍යාපෘතිය, 'සහස්පුර' මහල් නිවාස සංකීර්ණය සහ මේ වනවිට අවසන් අදියරෙහි පවතින නිවාස 356කින් සමන්විත ලුණාව මහල් නිවාස සංකීර්ණය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කළ නිවාස ව්‍යාපෘතීන්ය. තවද වාහන නැවැත්වීමේ පහසුකම්, ක්‍රීඩාංගණ පහසුකම්, ළමා උද්‍යාන ඇතුළු පහසුකම් රැසක් මෙම නිවාසලාභීන් වෙත ලබාදීමට මොවුන් කටයුතු කර තිබේ.

ජනාවාස සංවර්ධන අධිකාරිය යටතේ පදිංචි වූ අඩු ආදායම්ලාභී නිවාස හිමියන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි පවසන උදය නානායක්කාර මහතා ඒ සඳහා සිය අධිකාරියේ 'සමාජ සජීවීකරණ' අංශය තුළින් විශාල සේවාවක් සිදු කරන බවද පැවසීය.

ඔවුන්ගේ මෙම වැඩසටහන් පිළිබඳ අදහස් දක්වමින් සමාජ සජීවීකරණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රභාෂිණී මංජුලා වීරක්කොඩි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

&නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ පනතේ සඳහන් වී තිබෙනවා අඩු ආදායම්ලාභී ජන කොටස් ඉන්නවා නම් ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා.

අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් යනුවෙන් කාණ්ඩ දෙකකට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘති සිදු කරයි. මේ වනවිට කොළඹ, වත්තල, ජාඇල, ගම්පහ, කඩුවෙල, හෝකන්දර, කැස්බෑව, කහතුඩුව, පානදුර, රත්මලාන යන කොළඹට තදාසන්න ප්‍රදේශවල කවයක් ආකාරයට නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ. මධ්‍යම ආදායම්ලාභීන් සඳහා මිලියන 4.1 සිට ඉහළට මෙම නිවාස ව්‍යාපෘතිවල මිල ගණන් නිර්මාණය වී ඇත. මේ වනවිට ලුනාව නිවාස ව්‍යාපෘතියේ නිවෙස් මිලදී ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙන අතර, ඉදිරියේදී ඔවුන් සම්මුඛ පරීක්ෂණවලට යොමු කරමින් තෝරා ගැනීම් කටයුතු සිදු කිරීමට සහ ඔවුන්ට නිවෙස් ලබාදීමට බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරාල් උදය නානායක්කාර මහතා අපට පැවසීය. නිවෙස් මිලදී ගැනීමේදී නිවසේ සම්පූර්ණ වටිනාකමකින් 25%ක් මුලින් ගෙවා අවුරුදු 25 - 30ත් අතර කාලයක් තුළදී මාසිකව ගෙවීම් කටයුතු සිදු කළ හැකි ආකාරයට සහන පහසුකම් ලබාදීමටද මෙම අධිකාරිය කටයුතු කර තිබේ.

විමසීම් - 0112 884 131



Recommended Articles