’’රක්තවේදී සෛල ගණක යන්ත්‍රයෙන්’’ කෙටි වේලාවකදී රුධිර වාර්තාවක් සකස් කරන්න පුළුවන්


බොහෝ රෝගවලට රුධිර වාර්තාවක් අවශ්‍ය වේ. රුධිර පර්යේෂණාගාරයට රුධිර සාම්පල ලබාදුන් පසුව එහි වාර්තාව ලැබෙන්නේ පැය කිහිපයකින් අනතුරුවයි. ඒ රුධිර පර්යේෂණ ආයතනවලට පැමිණෙන රුධිර සාම්පල ප්‍රමාණය අධික බැවින් සහ රුධිර සාම්පලයක පර්යේෂණ වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බැවිනි. මෙයට විසඳුමක් ලෙස ලංකාවේ ඉංජිනේරුවරයෙකු වන කමල් එදිරිසිංහ මහතා රක්තවේදී සෛල ගණක යන්ත්‍රය නමින් කුඩා උපකරණයක් නිර්මාණය කර තිබේ. මේ ඒ පිළිබඳව ඔහු සමග සිදු කළ සාකච්ඡාවකි.

"රක්තවේදී සෛල ගණක යන්ත්‍රය" පිළිබඳව හඳුන්වා දුන්නොත්?

රුධිර පර්යේෂණාගාරවල රුධිරාණු පට්ටිකා ගණනය කර ලියා ගැනීම සිදු කරන්නේ සටහන් පොතක හෝ කොල කෑල්ලකයි. ඉන්පසුව ඒ සියලු ගණනය කිරීම් එකතු කරලා තමයි %රුධිර වාර්තාව^ සකස් කරන්නේ. මේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වෙනවා. අවම වශයෙන් විනාඩි විස්සක්වත් ගත වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් දිනකට එක් රුධිර පර්යේෂණාගාරයකට ලේ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් එනවා. මේ නිසා විශාල කාලයක් ගත වෙනවා. ඒක රෝගීන්ටත් ගැටලුවක්.

මම නිර්මාණය කරපු මේ රක්තවේදී සෛල ගණක යන්ත්‍රයෙන් ඒ රුධිරාණු ගණනය කිරීම ඉතා පහසුයි. මේ යන්ත්‍රයේ රුධිර සෛලවලට අදාළ බොත්තම් (button) තියෙනවා. රුධිර පරීක්ෂා කරන ගමන් අර කොළ කෑල්ලක ලියන ගණනය කිරීම් මේ බොත්තම් ඔබලා සටහන් කරගන්න පුළුවන්. රුධිර පර්යේෂණාගාරවල වැඩ කරන අය දන්නවා මේක ඔබන ක්‍රමවේදය. විනාඩි විස්සක් යන වැඩේ මේ උපකරණය භාවිත කරගෙන විනාඩි පහකින් කරන්න පුළුවන්. මේ යතුරුලියනය පුරුදු වුණාට පස්සේ විනාඩි දෙකක් තුනක් ඇතුළත රුධිර වාර්තාවක් සකස් කරන්න පුළුවන්. ඒ වගේම මෙයින් සිදු කරන ගණනයක නිරවද්‍යතාවය සාමාන්‍ය මැනුවල් ක්‍රමයට වඩා ඉතා ඉහළයි.

මෙය නව නිපැයුමක්ද?

නැහැ. මේක නව නිපැයුමක් නෙමෙයි. මේක වෙළෙඳ පොළේ ඉතා විශාල මුදලකට අලෙවි වන උපකරණයක්. මම මේක අඩු මුදලකට වෙළෙඳ පොළට නිකුත් කළ හැකි විදිහට හැදුවා. දැනට ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ මෙහි මැනුවල් යන්ත්‍ර කිහිපයක් තිබෙනවා. ඒවා මිල අධිකයි. වෙළෙඳ පොළේ නම් රුපියල් විසිදාහක් විතර වෙනවා. ඩිජිටල් යන්ත්‍රයක් වෙළෙඳ පොළේ රුපියල් අසූදාහක් විතර වෙනවා. ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් මේ උපකරණය ගැන හොයල බලන්න පුළුවන්. ඒවායේ මිල ගණන් ලංකාවට දරාගන්න අමාරුයි. නමුත් මම නිර්මාණය කරපු මේ යන්ත්‍රය රුපියල් අටදහස් පන්සීයකට විතර අලෙවි කරන්න පුළුවන්.

ඔබ මෙය වෙළෙඳ පොළට නිකුත් කරලා තිබෙනවාද?

මෙහෙමයි. මේක මම ව්‍යාපාරයක් විදියට කරන එකක් නෙමෙයි. මට මගේම වෙනත් ව්‍යාපාර තියෙනවා. ඒවායෙන් ආදායම් ලැබෙනවා. සාමාජීය අවශ්‍යතාවයක් කියලා හිතල තමයි මම සුළු මුදලකට මේක අලෙවි කරන්නේ. ඇත්තටම යන වියදම පමණයි ආවරණය වන්නේ. මේ යන්ත්‍රය මට ඉතා පහසු මිලට රජයේ රෝහල්වලට ලබාදීමට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මෙම උපකරණය සඳහා පෞද්ගලික අංශයේ රසායනාගාරවලිනුත් ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ප්‍රධාන වෙළෙඳපොළට නිකුත් කරන්නත් බලාගෙන ඉන්නවා.

රක්තවේදී සෛල ගණක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි කළොත්?

මේක ක්‍රියා කරන්නේ විදුලිය ආධාරයෙන්. නමුත් බැටරි භාවිතයෙන් ක්‍රියා කරන්නත් හදන්න පුළුවන්. මේක ඕන තැනක ගෙනිහිල්ලා ඕන විදිහකට භාවිත කරන්න පුළුවන්. එක් රුධිර පර්යේෂණයකින් පසුව restart කර ඊළඟ රුධිර පර්යේෂණය සිදු කරන්න පුළුවන්. මේකෙදි සිදුවන ප්‍රධානම කාර්ය තමයි වෙලාව ඉතිරි කරන එක. මේ ක්‍රමවේදය මෘදුකාංගයක් නිර්මාණය කර පරිගණකයකින් කරන්නත් පුළුවන්. නමුත් අපි දන්නවා එහිදී ඉතා විශාල මුදලක් වැය වෙනවා.

මෙය අත්හදා බලන්න ආයතනවලට ලබාදීලා තිබෙනවාද?

ඔව්. මහරගම ජාතික අපේක්ෂා රෝහලට මම මේ යන්ත්‍රයක් දීලා තියෙනවා. එයාලට මේ යන්ත්‍රය ප්‍රයෝජනවත් සහ ප්‍රතිඵලදායකයි කියලා එහි ප්‍රධානියා මට කිව්වා. මම තව යන්ත්‍රයක් මගේ ගම වන වතුපිටිවල රෝහලටත් ලබා දීලා තියෙනවා. එහෙදිත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේකෙ ප්‍රධානතම වටිනාකම තමයි කාලය ඉතිරි වීම. මම මහරගම අපේක්ෂා රෝහලේදි දැක්කා එයාලා ලේ පරීක්ෂණ වාර්තා හදද්දි කාලය කෙතරම් වැය වෙනවද කියලා. ඒ වෙලාවෙ තමයි මට මේ අදහස ආවේ. ඊට පස්සෙ මම මේක හදන්න සැලසුම් කරන්න පටන් ගත්තා. අපි ලංකාවෙ මුදලින් ඉගෙන ගත්තු ඉංජිනේරුවරු විදිහට ලංකාවට මොනව හරි දෙයක් කරන්න ඕනේ.

රක්තවේදී සෛල ගණක යන්ත්‍රය කොපමණ කාලයක් භාවිත කළ හැකිද?

මේක ඇත්තටම අවුරුදු පහක් හයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අපි අවුරුද්දක වගකීම් කාලයක් ලබා දෙනවා.

ඔබ මීට පෙරත් නව නිර්මාණ බිහිකරපු පුද්ගලයෙක්. එම නිර්මාණ ගැන කිව්වොත්?

ඔව්. මම මොරටුව විශ්වවිශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හැදෑරුවා. ඊට පස්සේ ඇමෙරිකාවේ වසර දහයක් පමණ සේවය කළා. ඉන්පසු 2010දී වගේ මම ලංකාවට එනවා. ලංකාවට ඇවිත් මම "Bravo solutions" නමින් ආයතනයක් ආරම්භ කරනවා. කාර්යන් පහසු කරන විද්‍යුත් උපකරණ නිෂ්පාදනය කිරීම තමයි අපේ ප්‍රධාන ව්‍යාපාරය. මේ ආයතනයේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ දේශීය ඉංජිනේරුවරුන්ගේ දැනුම සහ තාක්ෂණය ඔස්සේයි.

මීට කලින් මම විදුලි බිල අඩු කරන උපකරණයක් හැදුවා. ඒකෙ නම "කිලෝ වොට්". ඒක ශීතකරණයේ විදුලි පරිභෝජනය 50%කින් අඩු කරන උපකරණයක්. ඒක නිර්මාණය කරලා දැනට අවුරුදු හතක් අටක් වෙනවා. ඒ වෙනුවෙන් මට පේටන්ට් බලපත්‍ර‍යත් තියෙනවා. "කිලෝ වොට්" උපකරණය ගැන විදුලිබල මණ්ඩලයෙනුත් ප්‍රචාරණය කරනවා. ලංකාවේ ප්‍රධාන වෙළෙඳ ආයතන දෙක තුනකින් ඒක අලෙවි කරනවා. තව අපි අකුණුවලින් ආරක්ෂා වෙන්න තියෙන උපකරණ හදනවා. ඒවාට ජාත්‍යන්තර සම්මාන පවා ලැබිලා තියෙනවා. ඊට අමතරව මම  මහරගම අපේක්ෂා රෝහලට පද්ධති කිහිපයක් නිර්මාණය කරල දීල තියෙනවා.

ඔබ මෑතකදිත් නව නිපැයුමක් හැදුවා නේද?

ඔව්. මම ළඟදි නව නිර්මාණයක් හැදුවා. ඒක අවශ්‍ය වන්නේ මෝටර් රථවලට. ඒකටත් විශාල ඉල්ලුමක් මේ වෙද්දි ලැබී තිබෙනවා.



Recommended Articles