’’නව ‍යොවුන් වියේ ගැහැනු දරුවන් ආදරයකින් හා රැකවරණයකින් බලාගත යුතු කණ්ඩායමක්’’


නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවේ විදුහල්පතිනිය වන රේණුකා ජයවර්ධන මහත්මිය වසර හතකට අධික සිය සේවා කාලය නිම කරමින් අද (22දා) දින විශ්‍රාම ලබන්නීය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ හතළිස් වසරකට ආසන්න කාලයක් විවිධ ක්ෂේත්‍රයන්හී තනතුරු රැසක් දරමින් සිටි ඇය, අත්දැකීම් බහුල විදුහල්පතිනියක ලෙස සමුද්‍රදේවි බාලිකාව සුවිශේෂී කඩයිමක් දක්වා රැගෙන එන්නට වෙහෙස වී කැපවී සේවය කළාය.

විදුහල්පතිනියක ලෙස සමුද්‍රදේවි විද්‍යාලයට එන්නට පෙර අත්දැකීම් මොනවාද?

මම  හතළිස් වසරකට ආසන්න කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් කටයුතු කර තිබෙනවා. මම වෘත්තියට පිවිසෙන්නේ විද්‍යා-ගණිත ගුරුවරියක් විදියටයි. පසුව ගුරු පුහුණුවෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයකින් විද්‍යා ගුරු උපදේශකවරියක් ලෙස තේරෙනවා. කළුතර ප්‍රදේශයේ සේවය කළාට පස්සේ 2007 වසරේ සීමිත තරග විභාගයකින් දිවයිනේ පළමුවැනියා විදියට අධ්‍යාපන පරිපාලන සේවයට පිවිසෙනවා. ඉන් පස්සේ මට අවස්ථාව ලැබෙනවා ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් විදියට සේවය කරන්නට. එතැනින් මම කොළඹ විශාකා විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිනිය විදියට වර්ෂ 06ක සේවා කාලයක් සම්පූර්ණ කරලා සමුද්‍රදේවි බාලිකාවට එන්නේ මේ පාසලේ විදුහල්පතිවරයෙකු තෝරාගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත. එතැන් සිට වර්ෂ හත හමාරකට ආසන්න කාලයක් මේ විදුහලේ විදුහල්පතිනිය විදියට මම කටයුතු කරනවා. ඒ වගේම කොළඹ පාසල්වල ගුරුවරුන් පුහුණු කිරීමේ සම්පත්දායකයෙක් ලෙසත් මම කටයුතු කරනවා.

ඔබේ ධුර කාලය තුළ සමුද්‍රදේවි බාලිකාවේ ප්‍රගතිය ගැන කතා කළොත්?

නුගේගොඩ කොට්ඨාසයෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් පළමු ස්ථානය වගේම, උසස් පෙළට සුදුසුකම් ලැබූ වැඩිම ප්‍රතිශතය තියෙන්නේ අපේ පාසලෙන්. මේ ප්‍රතිඵලය අපි ගන්නේ අන්තර්කරණය කරන ලද ළමුන් හතර දෙනෙකුත් ඉඳිද්දියි. ඒ වගේම දිවයිනේ ප්‍රථම ස්ථානය ඇතුළුව විවිධ අවස්ථාවලදී ප්‍රතිඵලවලින් මුල් ස්ථාන අතරට එක්වන්න අපේ දරුවන්ට හැකිවුණා.

2019 ශිෂ්‍යත්ව විභාගයෙනුත් වැඩිම ප්‍රතිඵල තියෙන්නේ අපේ පාසලට. 2018 වසරේ සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ නවයම ගත්ත සිසුවියන් 23ක් ඉන්නවා. 2019දී ඒක 44ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 50%ට වඩා ඉන්නවා ඒ සාමාර්ථ 5ට වඩා වැඩියෙන් ගත්ත ළමයි. ඒ වගේම උසස් පෙළත් විද්‍යා අංශයෙන් වැඩිම සමත් ප්‍රතිශතය සහිත පළාත් පාසල වන්ෙනත් අපියි. වාණිජ අංශයෙන් අපි කොහොමත් අංක එකේ තමයි ඉන්නේ. විද්‍යා අංශයෙන් අවුරුදු ගාණකට පස්සේ ප්‍රථම අවස්ථාවෙන්ම අවම වශයෙන් එක ළමයෙක් හෝ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනවා. මම එනකොට විද්‍යා අංශයේ උසස් පෙළ ප්‍රතිඵල තිබුණේ 22%යි. ඒක මේ වෙද්දි සියයට පනස් ගානක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ අයට අපි අධ්‍යාපනය නංවන්න විශේෂ වැඩපිළිවෙළවල් යෙදුවා. නිවාඩුකාලීන ඉගැන්වීම් පවා සිදුකළා. හවස් වරුවේ අතිරේක පංති පැවැත්වුවා. අපේ විශේෂ වැඩපිළිවෙළක් තමයි 10/11 ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම අපි කෙරෙව්වා. විද්‍යා විෂය ගුරුවරු සියල්ලෝම මේකට සහභාගී වුණා සහ උසස් පෙළ ගුරුවරුත් ඒකට සහයෝගය දැක්වුවා. මම එනකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 66%ක තිබුණේ. ඒක 90%ට වඩා වැඩි ප්‍රතිශතයක් දක්වා ගෙනියන්න මට මගේ කාලය තුළ පුළුවන් වුණා.

කලාප අධීක්ෂණවලදී හැමදාම වාර්ෂිකව ලබාදෙන දර්ශකයේ අපි හිටියේ සියයට හැට ගණන්වල. 2019 වර්ෂයේදී අපි කලාප අධීක්ෂණයේදී 79%ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අවම නිවාඩු ලබාගත්ත ගුරුවරු මාත් ඇතුළුව නිවාඩු 10-5 අතර අරගෙන ගුරුවරුන් දිරි ගැන්වීමේ වැඩසටහන් කරනවා. 2019 ඉඳන් අපේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ තේමා පාඨය වුණේ ඉහළ පන්තිවලටත් ක්‍රියාකාරකම් පාදක කොටගත් ඉගැන්වීම් ක්‍රමයක්. ඒක සතුටින් උගනිමු උගන්වමු කියලයි අපි කළේ. ගුරුවරුන්ට සතුටින් උගන්වන්න දරුවන්ට සතුටින් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට සංගීතය වැනි දේ යොදා ගනිමින් ඉහළ පන්තිවල දරුවන්ට ඉගැන්වීම් කළා.

දරුවන්ගේ කුසලතා හඳුනාගන්න සමුදුරු රූසර ප්‍රසංග තුනක් මට කරන්න හැකියාව ලැබුණා. පහුගිය දීර්ඝ නිවාඩුවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළ රටක් වටින පොතක් ව්‍යාපෘතියට වැඩිම පොත් ප්‍රමාණයක් අපේ පාසලෙන් ලබාදෙන්න පුළුවන් වුණේ අපේ ගුරුවරුන්ගේ නිරන්තර මඟපෙන්වීම්, දිරිගැන්වීම් හා දැනුවත්කිරීම් මතයි. ඊට සමගාමීව මමත් පොතක් ලිව්වා. එය බොහොම නුදුරේදී එළිදක්වනවා. අපොස සාමාන්‍ය පෙළ දරුවන්ගේ විද්‍යා විෂය වෙනුවෙන් තමයි ඒ පොත ලිව්වේ. ඉදිරියේදීත් මම එවැනි විෂය පොත් රැසක් රචනා කරන්නට අපේක්ෂා කරනවා.

සෞන්දර්යය අංශය ගත්තම ප්‍රාථමික අංශයට බෑන්ඩ් 3ක් තියෙනවා. 1,2,3 ශ්‍රේණිවලට තාඩ්‍ය තූර්ය කණ්ඩායමක් හා පෙරදිග අපරදිග තූර්ය වාදක කණ්ඩායම් දෙකක් තියෙනවා. සෞන්දර්ය අංශයෙන් අපි මුල ඉඳන්ම නමක් තිබ්බ පාසලක්. තමන් දක්ෂ මොන සෞන්දර්ය විෂයටද කියලා තමන්ටත්, දෙමාපියන්ටත් දැනගන්න දරුවන්ව ඒ සඳහා යොමු කරවන්න, ඒ කුසලතා වැඩිදියුණු කරවන්න අපි කටයුතු කළා.

ජයවර්ධනපුර කලාපයේ කැඩෙට් තූර්යවාදක කණ්ඩායමක් තියෙන්නේ අපිට විතරයි. ඒ වගේම වාර්ෂිකව රන්ටැඹේ පැවැත්වෙන කඳවුරේදී සමස්ත ලංකා ජයග්‍රහණ ලබනවා. ඕනෑම විෂය ධාරාවන් හදාරන අයෙක්ට සහභාගී වෙන්න පුළුවන් විදියේ වාද්‍ය වෘන්ද දෙකක් හදලා තියෙනවා.

2015 ඉදිකරන්න ගත්ත සියවස ගොඩනැගිල්ල තෙමහල්ව ඉදිකරලා මේ වෙද්දි වැඩ ඉවර කරගන්න අපට පුළුවන් වුණා. ඒ වගේම සිවුමහල් ගොඩනැගිල්ලක් ඉදිකරන්න අරගෙන ඒකෙ බිම්මහලේ කටයුතු අවසන් කළා. එහි විශේෂ අධ්‍යාපන ඒකකයක්, ගිලන් කාමරයක්, චිත්‍ර කාමරයක්, බටහිර සංගීත කාමරයක් හැදුවා.

මේ අවුරුදු 7ක කාලසීමාව තුළ තියෙන භෞතික සම්පතයි, මානව සම්පතයි උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය කලාපයේ ජනප්‍රිය, අධ්‍යාපනයේ ගුණාත්මක බව අතින් ඉහළ මට්ටමක තියෙන, කාගේත් ඇස් බැල්මට ලක්වන පාසලක් බවට ගෙන ඒමට හැකියාව ලැබුණා. 2016, 2017, 2018 වර්ෂ තුනේදීම බස්නාහිර පළාතේ පළාත් පාසල් හා ජාතික මට්ටමේ පාසල් 1AB පාසල් අතරින් තෝරා ගන්නා සම්මානයට පාත්‍රවන විදුහල්පතිවරුන් තිදෙනා අතරට අඛණ්ඩව එක්වන්නට මට හැකිවුණා. ඒ අනුව සමස්ත ලංකා මට්ටමේදී ජයවර්ධනපුර කලාපයේ පාසල් අතරිනුත් සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ නම ඔසවා තබන්නට හැකි වීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙනවා. මේ තත්ත්වයට පාසල ගෙන එන්න සෙසු ගුරුභවතුන්ගෙන් ලැබුණ සහයෝගයත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා.

විදුහල්පතිනියක් විදිහට බාලිකාවන් රැසකගේ වගකීම් අරගෙන සිදුකළ සේවාව කොයිතරම් අභියෝගාත්මකද?

මම විදුහල්පතිනියක් වගේම නියෝජ්‍ය විදුහල්පතිනියක් ලෙස සේවය කළ පාසල් දෙකම තියෙන්නේ නාගරික ප්‍රදේශවල. එයිනුත් සමුද්‍රදේවි බාලිකාව තියෙන්නේ විවිධ මට්ටමේ අධ්‍යාපනික ආයතන,පෞද්ගලික ආයතන රැසක් මධ්‍යයේ. මේ පරිසරය සම්පූර්ණයෙන්ම ගැමිත් නොවන, නාගරිකත් නොවන ප්‍රදේශයක්. දරුවෝ හැම තිස්සේම විවිධ දේට නිරන්තරව හුරුවීමේ අවදානමක් තියෙනවා. මොකද ගෙදර පරිසරයට වඩා වෙනස් පරිසරයක් දරුවන්ට මේ අවටින් හමුවෙන නිසා. දරුවෝ සමාජයේ විවිධ දේවල් පහසුවෙන් ග්‍රහණය කරගන්නවා. ඒ නිසා ලාංකේය සංස්කෘතිය තුළ ඊට අනන්‍ය ගුණාංගයන්ගෙන් පෝෂණය වූ කාන්තාවන් පිරිසක් සමාජයට බිහි කිරීමේ දැක්මක් පෙරදැරිව අපි කටයුතු කරන නිසාම සෑම වෙලාවකම දරුවෝ ගැන ඉතාමත් සෙවිල්ලෙනුයි ඉන්නේ. ගුරු මණ්ඩලයටත් මේ කාරණා සම්බන්ධයෙන් මම උපදෙස් දීලයි තියෙන්නේ. දරුවන්ගේ පුංචිම වෙනසක් දැක්කත්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරලා හොයලා බලලා ක්ෂණික විසඳුම් දරුවන් වෙනුවෙන් ගන්නවා. මොකද මේ තියෙන සංකීර්ණ සමාජයේ කාන්තා පාසලක් කියන්නේ විශාල අභියෝගයක්. ඒ වගේම නව යොවුන් වියේ ගැහැනු දරුවෝ කියන්නේ විශාල රැකවරණයක් තුළ, ආදරයක් තුළ බලාගත යුතු කණ්ඩායමක්. ඒ නිසා අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන මඟපෙන්වීම වගේම ඔවුන්ගේ ජීවිත ගොඩනැංවීමත් අපේ වගකීමක්. මොකද අනාගතේ හොඳ කාන්තාවක් විදියට ගොඩනැංවිය යුත්තේ අද මේ පුංචි දියණියෝයි. එය විශාල අභියෝගයක් සහ වගකීමක්.



Recommended Articles