දෑත් සේදීම, දෑත් පිරිසුදුව තබා ගැනීම පිළිබඳව අන් කවරදාටත් වඩා වැඩි අවධානයක් මේ මොහොත වන විට අපට මෙන්ම ලෝකයටද අවශ්‍ය වී තිබේ. ඒ ලෝක ජනජීවිතය, ආර්ථිකය අඩාළ කරමින් වෙළාගෙන තිබෙන කෝවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහාය. අද (15දා) ලෝක දෑත් සේදීමේ දිනයයි. මේ ඒ පිළිබඳව ගෙන එන සටහනකි.
මෙවර ලෝක දෑත් සේදීමේ දිනයෙහි තේමාව වී තිබෙන්නේ %සැමට සනීපාරක්ෂාව^ යන්නයි. රෝග වැළැක්වීම, ජීවිත බේරාගැනීම සඳහා ලෝක ප්‍රජාවටම දැරිය හැකි ඵලදායී ක්‍රමය සබන් යොදා දෑත් සේදීම බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ලෝක දෑත් සේදීමේ දිනය සැමරීම සඳහා මෙය තේමා කරගෙන තිබේ.
කෝවිඩ් 19 රෝගය සඳහා තවමත් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති වකවානුවකදී දෑත් සේදීම, පුද්ගල දුරස්ථභාවය රඳවා තබාගැනීම, මුඛ ආවරණ පැලඳීම වැනි සරල සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිළිපැදීමට සිදුව තිබේ. මෙවැනි වසංගත තත්ත්වයකදී දෑත් සේදීමේ ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කරමින් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය කියා සිටියේ මෙවැන්නකි.
&කොරෝනා වෛරසය පැතිර යන මෙවන් වකවානුවක ලෝක දෑත් සේදීමේ දිනය යෙදී තිබීම කෝවිඩ් 19 තුළින් ආරක්ෂා වීමට ආදර්ශයක් වනවා. කෝවිඩ් 19න් ආරක්ෂා වීමට දෑත් සේදීම වැදගත් වන බව අප දන්නවා. මේ වසර මුල පටන්ම දිගින් දිගටම අප දෑත් සේදීම සිදුකළේ මේ නිසයි. නමුත් අපි දැක්කා පහුගිය මාස දෙක තුනේදී කෝවිඩ් 19න් ආරක්ෂා වෙන්න කියපු සෞඛ්‍ය උපදෙස් බොහෝ අය පිළිපැද්දේ නැහැ. විශේෂයෙන් දෑත් සේදීමේ කාර්යයේදී වතුරට අත අල්ලලා පිහිදාන අයව අපි දැක්කා. වතුරට දෑත් ඇල්ලීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඇඟිලි පුරුක් අතරේ, නියපොතු අතරේ, ඇඟිලි තුඩු, අල්ලේ සෑමතැනම සබන් තවරා හොඳින් අතුල්ලා සේදීම තමයි වැදගත් වන්නේ. කොරෝනා වෛරසය කියන්නේ බිඳිති මඟින් බෝ වන වෛරසයක්. මේ බිඳිති අපේ දෑත්වල තැවරිලා මුහුණ, නාසය, මුඛය වැනි ස්ථාන ස්පර්ශ කිරීමේදී ශරීරය තුළට ඇතුල් වෙනවා. මේ වෛරසය ඇසට නොපෙනෙන ඉතා සියුම් අංශු නිසා දෑත් සබන් දා නිතර පිරිසුදු කිරීම තුළින් තමයි මේක වළක්වාගන්න පුළුවන් වන්නේ.
අපි මුහුණු ආවරණයක් පැලඳ අපිරිසුදු දෑත් වලින් මුහුණු ආවරණය නිරන්තරයෙන් ඇල්ලුවත්, ඒ තිබෙන වෛරසයන් මුහුණු ආවරණයේ තැවරෙනවා. අපේ දෑත් සෑම දෙයකදීම භාවිත කරන අවයවයක්. පුද්ගලයන්, හිතවතුන්, කුඩා දරුවන් ස්පර්ශ කරනවා, විවිධ කාර්යයන්වල නිරත වනවා. දෑත් පිරිසුදු නොවුණොත් පවුලේ අනෙක් සාමාජිකයන්ටත් මේ වෛරසය ඉක්මනින් පැතිරී යාමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා නිවෙසින් බැහැරට ගිහින් පැමිණි විගසම සබන් යොදා දෑත් සේදීම අත්‍යාවශ්‍යයි. අපේ රට නිරන්තරයෙන් උණුසම් කාලගුණයක් පවතින රටක් නිසා අපට නිරන්තරයෙන් දහඩිය දමනවා. ඒ නිසා අපි හැමවිටම මුහුණ ස්පර්ශකොට දහඩිය පිසදමනවා.*
කෝවිඩ් 19 රෝගය මේ වනවිට ලෝක ප්‍රජාවට තර්ජනයක් වී තිබෙන නිසා දෑත් සේදීම ඉතා වැදගත් කාර්යයක් බව අපි දනිමු. කෝවිඩ් 19 රෝගය පමණක් නොව දෑත්වල අපිරිසුදුතාව හේතුවෙන් ආසාදනය විය හැකි රෝග බොහෝමයකි. එම රෝග කෙටිකාලීනව මෙන්ම දීර්ඝකාලීනවත් පුද්ගල සෞඛ්‍යයට හානි කරනු ලබයි.
දෑත් අපිරිසුදු වීම තුළින් දෑත් මත තැවරෙන විෂබීජ (බැක්ටීරියා සහ වෛරස) ආහාර මගින් ආහාර මාර්ගයට ගොස් ආසාදනය විය හැකි රෝග බොහෝමයකි. අතීසාරය, පාචනය, උණසන්නිපාතය, හෙපටයිටීස් වැනි රෝගයන් දැනට ලංකාවේ පවතින දෑත් මගින් ශරීරයට ඇතුළු විය හැකි රෝගයන්ය. මෙම රෝග වැලඳීම තුළින් නිරන්තරයෙන් රෝහල්ගත වෙමින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතරම එම රෝග තත්ත්වයන් දීර්ඝකාලීනව ආසාදනය වී තිබීම මගින් පුද්ගල පෝෂණයටද ප්‍රධාන බාධකයක් වේ. විශේෂයෙන් මෙවැනි රෝග දිගින් දිගටම කුඩා දරුවන්ට වැලඳීම තුළින් මන්දපෝෂණ තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තිබේ.
දෑත්වල පිරිසුදුභාවය නොමැති වීම තුළින් සෑදෙන අනෙකුත් රෝග ලෙස පෝලියෝ, සරම්ප වැනි රෝග හැඳින්විය හැක. පෝලියෝ සහ සරම්ප රෝග එන්නත් මඟින් වළක්වාගත හැක. සරම්ප රෝගය සුළඟ මඟින් පුද්ගලයෙකුගේ දෑත් මත බිඳිති තැන්පත් වී නාසය තුළට ගොස් ආසාදනය වන රෝගයකි. තවද පෝලියෝ රෝගීන් මේ වනවිට ලංකාවේ නැතත්, එය ලෝකයෙන්ම නැති වී ගිය රෝගයක් නොවේ. පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් අදටත් පෝලියෝ රෝගයෙන් පීඩා විඳී. විශේෂයෙන් පරිසරයේ අපිරිසුදුතාව සහ එතුළින් දෑත් මතට එන විෂබීජ අධික වීම එවැනි රටවල දැකිය හැක.
දෑත් සේදීමේ දිනය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා මහත්මිය මෙලෙස කරුණු දැක්වූවාය.
&ඕනෑම පුද්ගලයෙකු සේවා ස්ථානයේදී, නිවෙස තුළදී, පරිසරයේදී, වාහනයේදී දෑත් භාවිත කරමින් තමයි ක්‍රියාකාරකම්වල නිරත වෙන්නේ. දෑත් පිරිසුදුව තබා නොගැනීම තුළින් ආහාර මාර්ගයට විෂබීජ ගොස් වසරකට ලක්ෂ ගණනක් පුද්ගලයන් මිය යනවා. එය බොහෝදෙනෙක් දන්නෙ නැහැ. ඒ වගේම මෙවැනි වසංගත තත්ත්වයකදීම පමණක් නෙවෙයි, මිනිසුන්ගේ චර්යාවන් සමග සෞඛ්‍ය ගැටලු බොහෝමයක් මතුවෙනවා. ක්ෂය රෝගය ඇති පුද්ගලයෙකු වටපිටාව පිළිබඳව හිතන්නේ නැතුව කැහැලා දෑත් පිරිසුදු කරන්නේ නැතිව තවත් වැඩවල නිරත වනවා. එතැනට තවත් අය එනවා. ඔවුන්ගේ ශරීරයටත් අර විෂබීජ තැන්පත් වෙනවා. මේ විදිහට එකිනෙකට බද්ධ වෙලා, පුද්ගලයාගෙන් පුද්ගලයාට බැක්ටීරියා සහ විෂබීජ ශරීරයට ඇතුළු වනවා. ඒ යන්නේ දෑත් මගින්. ඒ නිසා අපි දෑත් සේදීම, දෑත් පිරිසුදුව තබා ගැනීම වසංගතයක් තිබුණත් නැතත් නිරන්තරයෙන් සිදුකළ යුතු දෙයක්. දෑත් අපිරිසුදු වන ඕනෑම අවස්ථාවකදී ඉක්මනින් දෑත් පිරිසුදුව තබාගන්න එක පුද්ගල සෞඛ්‍යයට හිතකරයි. විශේෂයෙන් ආහාර ගැනීමට පෙර සහ පසු, වැසිකිළි ගිය පසු, එළියට ගොස් පැමිණි විට අත් සේදීම සිදුකළ යුතුයි.
අත් සේදීම මේ කෝවිඩ් අවදියේදී වසංගතය පාලනය කිරීමට සිදුකළ හැකි පහසුම සහ සරලම ක්‍රමයයි. ඒ වගේම දෑත්වලින් අනවශ්‍ය ආකාරයට මුහුණ, නාසය, මුඛය ඇල්ලීමට යාම මේ කාලයේ නොකළ යුතුයි.
පුද්ගලයෙකු දිනකට දෑත් කොපමණ වාරයක් සේදිය යුතුද කියලා නිශ්චිත වාර ගණනක් නැහැ. තමාගේ රැකියාවේ ස්වභාවය අනුව දෑත් අපිරිසුදු වන ඕනෑම අවස්ථාවකදී දෑත් හොඳින් සේදීම කළයුතු වනවා. අපි නම් රෝගියෙකුට ප්‍රතිකාර කළ පසු අනෙක් රෝගියා ළඟට යාමට පෙර දෑත් සෝදනවා. රාජකාරී කටයුතු නිසා නිරන්තරව දෑත් ජලයෙන් සේදීමේ ගැටලුවක් තිබෙනවා නම් දෑත් පිරිසුදු කිරීමේ ද්‍රාවණයක් ළඟ තබාගැනීම හෝ කරන්න පුළුවන්. සතෙක් සිවුපාවෙක් ස්පර්ශ කළත්, වැඩිහිටියෙකුට උපස්ථාන කළත් දෑත් පිරිසුදු කරගන්න ඕනේ. දෑත් පිරිසුදුව තබාගන්නවා කියන එක උත්පත්තියත් සමග පුද්ගලයෙකුට එන පුරුද්දක්. නමුත් බොහෝ අයට එම පුරුද්ද නැහැ. අපි ඒක දැකලා තියෙනවා. මෙවැනි දිනයකදීවත් එම පුරුද්දේ වැදගත්කම තේරුම් ගැනීම යහපත්.*
කෝවිඩ් 19 රෝගය ලංකාවේ ව්‍යාප්ත වීම ඇරඹුණු කාලය තුළදී සෑම පුද්ගලයෙකුම නිරන්තරයෙන් දෑත් හොඳින් සේදීම සිදුකළ බව අපි දුටුවෙමු. කාලයක් ගත වීමත් සමගම සමාජයෙන් කෝවිඩ් රෝගීන් හමු නොවීමත් සමග එම සෞඛ්‍ය පුරුදු ඉබේම ගිලිහී ගියේය. නමුත් පසුගියදා එකවරම සමාජය තුළින් කෝවිඩ් රෝගීන් හමුවීමත් සමගම මේ පිළිබඳ යම් අවධානයක් ලබාදීමට බොහෝ පිරිසක් කටයුතු කළද, ඊටත් වඩා වැඩි පිරිසක් තවමත් දෑත් පිරිසුදුව තබාගැනීම පිළිබඳව වැඩි තැකීමක් නොකරයි. විශේෂයෙන් නිරන්තරයෙන් දෑත් සේදීම ඇතැම් පරිසරවල වෙසෙන පුද්ගලයන් කරදරකාරී කාර්යයක් ලෙස දක්වයි. ඇතැම්විට ඔවුන් දෑත් ජලයෙන් තෙමා පිසදා ගැනීම පවා සිදුකරන්නේ දෑත් පිරිසුදු කිරීම අනිවාර්ය බවට සෞඛ්‍ය අංශ දැනුම්වත් කර තිබෙන නිසාය. එමෙන්ම ඇතැම් සේවා ස්ථානවල, ව්‍යාපාරික ස්ථානවල, වෙළෙඳ සැල් තුළද දෑත් පිරිසුදු කිරීම සඳහා තබා තිබූ ජල කරාම, සබන් වැනි දෑද නොමැති බවට දැකිය හැකිය. කෝවිඩ් වසංගතය නැවත හිස ඔසවමින් තිබෙන අවස්ථාවකදී ගිලිහී ගිය එම සෞඛ්‍ය පුරුදු නැවත ඇති කරගැනීම අත්‍යාවශ්‍යය. ඒ පිළිබඳව ලෝක දෑත් සේදීමේ දිනයේදී අපිද ඔබට නැවත මතක් කර දෙන්නෙමු.