’’ඇඹුල්ගස්වැව’’ ගැමියන්ට කරුමයක් වූ කැකිරාව ප්‍රාදේශීය සභාවේ කසළ කන්ද


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග

'කසළ' ලෝකයේ බොහෝ රටවලට සම්පතකි. කසළ ප්‍රතිචක්‍රීකරණය මගින් ඔවුහු මුදල් උපයති. පාරිසරිකව සහ සමාජයීය වශයෙන් ඇතිවිය හැකි අවදානම සීමා කරයි. එහෙත් අප රටෙහි කටයුතු පවතිනුයේ ඊට හාත්පසින්ම වෙනස් පසුබිමකය. මෙරට කසළ සමහර අතරමැදියන්ගේ අතමිට සරුකරන විට දුෂ්කර නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ජීවිත අවුල් වියවුල් කොට ඇත. කුණු කඳු නාය ගොස් මිනිස්සු මිය යන ලොව එකම රටද මෙසිරිලකමය. කසළ ප්‍රතිචක්‍රීකරණය මෙරට බොහෝ පළාත් පාලන ආයතන මනාව තොරොම්බල් කරන්නකි. එහෙත් ප්‍රතිඵල අවම වී තිබීම අභාග්‍යයකි. ආරම්භ කරන බොහෝ කටයුතු අතරමග අතහැර දැමීමේ මෙරට මුල්බැස පවතින සම්ප්‍රදාය සදහාද කසළ හොඳ නිදසුනකි. ලක්ෂ ගණනින් මුදල් වැයකොට උත්සවශ්‍රීයෙන් අරඹා ඇති බොහෝ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන බොහෝමයක් අතරමග නැවතී ඇත්තේ ඒ වග සහතික කරමිනි.

කැකිරාවට - අලගොල්ලෑව මාර්ගයේ කැකිරාව නගරයේ සිට කිලෝමීටර් 04ක් පමණ ගිය තැන්හී මුණගැසෙන "ඇඹුල්ගස්වැව", "තුනේ කණුව" ගමේ ගැමියන්ද කරගසා ඇත්තේ මෙවැනි කැළි කසළ පවකටය. කැකිරාව නගරයේ සහ තදාසන්න ප්‍රදේශයේ එකතුවන කැළිකසළ කැකිරාව ප්‍රාදේශීය සභාව මගින්  03 කණුව ගම් මායිමට මුදාහැරීම හේතුවෙන් මෙහි ගැමියෝ සමාජයීය සහ පාරිසරික ගැටලු රැසකට මැදිව සිටිති. මෙසේ අවධිමත් ලෙස කසළ මුදාහැරීම මගින් ඇතිවන අධික දුගද හා මැසි, මදුරු උවදුරුවල නිමාවක් නැත. ගෙනැවිත් දමන කසළ ගිනි තැබීම තවත් ගැටලු රැසකට මග පාදා ඇත. මෙමගින් ඇතිවන අධික දුම හේතුවෙන් කුඩා දරුවන්ට මෙන්ම වයෝවෘද්ධ වැඩිහිටියන්ට ශ්වසන රෝග ඇතිවීමේ අවදානම ගැමියන්ගේ සැනසුම උදුරා දමා තිබේ. ජී.එම්. චන්ද්‍රකාන්ති මහත්මිය දින දින නිවෙස් පෙනෙන මානයේ ගොඩගැහෙන කුණු කන්ද හිතේ සැනසුම උදුරාගත් අන්දම මෙලෙසින් පැහැදුවාය.

“ගෙනැත් දාල තියෙන පරණ ටයර්, ප්ලාස්ටික් බඩු, පොලිතීන් කවර වගේ දේවල්වලට වහිනකොට වතුර එකතු වෙනවා. දැන් මේ කුණු ගොඩ මැස්සන්ගේ, මදුරුවන්ගේ රජදහනක් වෙලා තියෙන්නේ. කෑම ටිකක් කන්න ගන්න බෑ මැස්සෝ විමානේ. හවස හය හත වෙනකොට මදුරුවෝ රංචු පිටින් එන්නේ. දරුවෝ නිතරම අසනීප වෙනවා. එක්කෝ උණ. බඩේ අමාරුව. නැත්නම් මොකක් හරි අසනීපයක්. අහිංසක දරු පැටවුන්ට මේ කුණු ගොඩත් එක්ක ජීවත් වෙන එක ලොකු හිරිහැරයක් වෙලා තියෙන්නේ. අපි මේ ගැන නිතරම ප්‍රාදේශීය සභාවට කිව්වා. ඇමැතිලා, මන්ත්‍රීලාට කිව්වා. කොතනකින්වත් අපිට පිහිටක් නෑ. අපි කියන්නේ මේ විදිහට කුණු ගෙනත් දාන එක මිනිස්සු වෙච්ච අපිට වගේම සත්තුන්ටත් මහා කරුමයක් වෙලා තියෙන්නේ. එක්කෝ කුණු කන්ද අයින් කරන්න ඕන. නැත්නම් අපි ගම දාලා යන්න ඕන. අපි කොහේ කියලා යන්නද.”

වැසි සමයේදී අපද්‍රව්‍ය සමග මිශ්‍ර වූ ජලය මෙම කසළ මුදාහරින භූමිය අසලින් ගලා යන ඇළ මාර්ගය ඔස්සේ ගලාවිත් ආසන්නයේ ඇති ඇඹුල්ගස්වැව ගමේ මහ වැවට එකතු වීම තවත් විනාශයකට මග පාදා තිබේ. එම ජලය ප්‍රයෝජනයට ගන්නා ගම්මාන ගණනාවක ප්‍රජාවගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල වී ඇත. මත්ස්‍යයන්ගේ සහ හිතකර ජලජ ශාකවල පැවැත්මටද එය මහත් බාධාවකි. ගම්වාසී එච්.එම්. ජවාහීර් මහතා පැවසුවේ වසර විස්සක පමණ කාලයක සිට සිදුවෙමින් ඇති මෙම විනාශය හමුවේ වගකිවයුත්තන් නිහඬව සිටින බවයි.

“කිසිම ඉවක් බවක් නැතිව දවසට දෙතුන් වතාව මෙතැනට කුණු ගෙනත් අතඅරිනවා. එතැනින් එහාට මේ ගම්වල ජීවත් වෙන මිනිස්සුන්ට වෙන කරදර ගැන කවුරුවත් කල්පනා කරන්නේ නෑ. කිසිම  තේරිල්ලක් බේරිල්ලක් නැතිව හැමදෙයක්ම ඔහේ ගෙනත් දානවා. ටයර් ගොඩවල්, වීදුරු කෑලි, ප්ලාස්ටික්, පොලිතීන්, කුණුවෙච්ච එළවළු ගොඩවල්, හරක් ඔළු, කකුල්, මැරිච්ච බල්ලෝ ඔක්කොම එකට ගෙනත් දානවා. ප්‍රාදේශීය සභාවේ ගලියෙන් අසුචී ගෙනල්ලා අතඅරින්නෙත් මේ කැලේටමයි. වහින කාලෙට මේ ජරාව ඔක්කොම ඇළ දිගේ ගලාගෙන ඇවිල්ලා මිනිස්සු නාන, සමහර වෙලාවට බොන්න වතුර ගන්න වැවට වැටෙනවා. සමහර කාලවලට වැවේ වතුර නාපුවහම ඇඟ කහනවා. ඒ මේ කුණු වතුර හින්දා කියලයි අපිට හිතන්නේ.”

ඇඹුල්ගස්වැව රක්ෂිතයට යාබදව පිහිටි පද්මලෙන් ආරාමයේ භාවනායෝගී භික්ෂුන් වහන්සේලාද කසළ කන්දේ දුෂ්කරතාවන්ට මැදිව වැඩ වසති. ඉවතලන එළවළු, පලතුරු ආදී අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට හුරුවූ වල් අලි රංචුව රාත්‍රියේ ගම්වැදී ගැමියන්ට මරණ බිය බෝකොට ඇත. අපද්‍රව්‍ය සමග මිශ්‍ර වී එන පොලිතීන් ආදිය ආහාරයට ගැනීම මගින් යාබද වනලැහැබ තුළ ජීවත් වන සතුන්ගේ ජීවිතද අවදානමට වැටී තිබේ.

විශේෂයෙන් වනය තුළ වෙසෙන හාවුන්, මුවන්, මීමින්නන්, තලගොයින්, රිළව්, වඳුරන්, මොනරුන් ආදී සතුන් මෙසේ අපද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් ජීවිත අවදානමට ලක්ව ඇත. අයාලේ යන බල්ලන් කුණු කන්ද ආසන්නයට ගෙනැවිත් දැමීමට සමහරෙකු හුරු වී තිබීම මේ කුණු කන්දට ඈදුණු තවත් අපූරු කතාවකි. එමගින් අයාලේ යන සුනඛ ගහනය වැඩි වීමද මෙහි ගැමියන්ගේ දෛනික ජීවන අරගලයට එකතු වූ තවත් අමතර ගැටලුවකි. නිදැල්ලේ එන ගව රංචු කුණු එළවළු, පලතුරු රසට වහ වැටී ඇත. ගම්වාසී ආර්.එම්.එස්. කරුණාරත්න මහතා පැවසුවේ මේ හිරිහැර, කරදර පිළිබඳවය.

“උදේට මෙතෙනට ගෙනත් දාන කුණුවලට හවසට ගිනි තියනවා. එතකොට ඉතින් රෑ එළිවෙනකන් දුම. හුස්ම ගන්න බෑ. මේ හින්දම පපුවේ අමාරුව හැදිලා කීපදෙනෙක්ම ඉස්පිරිතාලෙ නැවැත්තුවා. ලොකු මිනිස්සු නම් කොහොම හරි ඉවසගෙන ඉන්නවා. ඒත් කිසිදෙයක් කියාගන්න බැරි දරුවෝ කොහොමද මේ කරදර විඳින්නේ. අනිත් එක මනුස්සයෙකුට නහයක් තියාගෙන මේ පාරේ යන්න බෑ. පුදුම ගදක් එන්නේ. අයාලේ යන බල්ලෝ, හරක්, ඌරෝ වගේ සත්තු කුණු කන්න මෙතෙන්ට එන හින්දා උන් ගෙවල්වලටත් පුරුදු වෙලා ඉන්නේ. සමහරු බලු පැටව් ගෙනත් දාන්නෙත් මෙතෙනට. අයාලේ යන බල්ලොත් දවසින් දවස වැඩි වෙනවා. අලි කරදරේ ඔක්කොටම හපන්. ඉස්සර මේ හරියේ අලි හිටියෙ නෑ. කුණු කන්න හුරුවෙච්ච අලි දැන් මේ පළාත දාල යන්නෙ නෑ. හැම කරදරයක්ම කුණු ගොඩට මැදිවෙච්ච අපිට.”

මේ හැම අතරේ කැකිරාව ප්‍රාදේශීය සභාව මගින් මෙම භූමිය තුළ 2006 වර්ෂයේදී කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට යැයි පවසා කසළ කළමනාකරණ මධ්‍යස්ථානයක ඉදිකිරීම් අරඹා ඇතත්, එහි ඉදිකිරීම් අතරමග නැවතීමෙන් මෙතෙක් සිදුකොට ඇති සියලු ඉදිකිරීම් වල් වැදී විනාශ වෙමින් ඇත. එහි නාම පුවරුව පමණක් මහ මග යන්නවුන්ට දිස්වේ. ගැමියන්ගේ පැහැදිලි කිරීම වී ඇත්තේ ලක්ෂ ගණනාවක වටිනාකමින් යුතු මෙම ඉදිකිරීම් ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ අතමිට යහමින් සරු කිරීමට පමණක් එවක හේතු වූ බවය. දුර්වර්ණව බිත්ති පුපුරා ගිය, කැලයෙන් යටවූ ගොඩනැගිලි, මළ කෑ කසළ බහාලුම් ආදිය ගැමියන්ගේ චෝදනාවන්ට දෙස් දෙයි. කවර විනාශය සිදුවුවත් නිහඬව සිටීමට මේ ගැමියන්ට සිදුව ඇත. ඒ සියලු පව් සියල්ලෝ එකතුව එදිනෙදා ජීවන අරගලයේ නියුතු මේ ගැමියන් හිස මත අතහැර ඇති හෙයිනි. ගම්වාසී ඉන්දික තෙන්නකෝන් මහතාට ඇත්තේ මෙවැනි කනස්සල්ලකි.

“දැන් කාලෙකට ඉස්සර ඔය ගෙනත් දාන කසළ පොහොර කරන්න කියලා ගොඩනැගිලි වගයක් හදන්න ගත්තා. ඒකෙ වැඩ ඔක්කොම බාගෙට නැවතුණා. ලක්ෂ ගාණක් යට කරලා හදපු ගොඩනැගිලි ඔක්කොම දැන් කැලේට යටවෙලා තියෙන්නේ. මේ බොරු වැඩ කවුරු රවට්ටන්න කරන ඒවද, කාගේ උවමනාවට කරන ඒවද කියලා දන්නෙ මේව කරවන මිනිස්සුම තමයි. කොහොම හරි අවසානේ වෙලා තියෙන්නේ අපිට ගමේ ඉන්ඩ බැරි ගාණට මේ කුණු ගොඩේ බලපෑම දවසින් දවස වැඩිවෙන එක විතරයි. ඔක්කොම මිනිස්සු කරන්නේ බෝලෙ පාස් කරන එක. දැන් මේ ප්‍රශ්නෙ එයාලගේ නෙමෙයි. අපේ. ඒ හින්දා අපි විඳවන්න ඕන. එහෙම තමයි දේශපාලනේ කරන අය හිතන්නේ. අඩුම තරමින් අපි මේ විඳින වදේ ගැන කටක් ඇරලා වචනයක් කතා කරන්න ඉඩක් නෑ අපිට. පොඩ්ඩ බැරිවෙනකොට පොලිස් කූඩුවේ දානවා. පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ.”

පහත් තැනින් ජලය බැස යන කතාවක් අපේ ජනසම්ප්‍රදායේ අප අසා තිබේ. ලොකු එකාගේ ගොදුරු බවට පොඩිවුන් පත්වීමේ කැලෑ නීතියක් පිළිබඳව ද අපගේ ජනවහරේ කියවේ. ඒ සඳහා දෙස් දෙන නිදසුන් කොතෙකුත් මේ නූතන, තාක්ෂණික ලෝකය තුළ ද මුණගැසේ. කැකිරාව, ඇඹුල්ගස්වැව, තුනේ කණුව ගම්මැද්දේ උදේට ගොඩවෙන, සවසට ගිනිලන කසළ කන්ද ද ඒ වගට නිදසුන්කොට දැක්විය හැකිය. එය එසේ නොවේ යැයි කාට නම් පැවසිය හැකිද?

ගැමියන්ගේ දුක්ගැනවිලි පිළිබඳව කැකිරාව ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් අනුර මහතා වෙතින් කළ විමසීමකදී පැවසුවේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ කටයුතු ඉතා නුදුරේදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය. ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ කටයුතු වත්මන් රජය යටතේ මේ වන විට ආරම්භ වී ඇති බවද හෙතෙම කීය. තම පෞද්ගලික මුදලින් මෙම කටයුතු කළ නොහැකි බවත්, ඒ සඳහා ඉකුත් රජය සමය මුදල් ප්‍රතිපාදන නොලැබුණු බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීය.



Recommended Articles