“නාථ සුරින්දා
බුදු බව පතා එන්දා
නුඹේ ගුණ කන්දා
මෙන්න නුඹේ සිරිපාද වැන්දා”
හැටපස් වියැති 'අවුසදහාමිගේ වීරසේකර' මහතාගේ වියපත් මුවග කෝල්මුර කවියක තාලය සොයයි. අතැඟිලි පහරින් කම්පනය වන උඩැක්කි මුහුණත විශ්වය අමතයි. මල් යහනට වඩිනු පිණිස හෙතෙම උඩැක්කි හඬවමින්, කෝල්මුර කවි ගයමින් නොපෙනෙන දෙවියන්ට සාදර ආරාධනා කරයි. කැකිරාව, අලගොල්ලෑව, පණ්ඩිත රබෑව ගම්මානයේ අවුසදහාමි ගුරුන්නාන්සේ කම්බිලි දෙවියන්ගෙන් වරම් ලද පරපුරක සාඩම්බර උරුමකරුවෙකි. හෙතෙම බලි ශාන්තිකර්ම, කෝල්මුර දේව ශාස්ත්‍රය, තොවිල් පවිල්, මුට්ටි නැමීමේ මංගල්‍ය ආදියට දායක වෙමින් අදත් මේ සංස්කෘතික දායාදාය රැකගැනීමට මහඟු වෙහෙසක් ගන්නා දෙටු පුරවැසියෙකි. අවුසදහාමි සමකාලීන සනුහරයක පුරෝගාමියෙකු වී සිය දරු පරම්පරාවටද මේ සාම්ප්‍රදායික වතාවත් දායාද කිරීමට වෙහෙසෙයි.
රිටිගල කඳු පාමුල ගම් පොකුරකි. අලගොල්ලෑව, උණගොල්ලෑව, පහල අඹතලේ, ඉහල අඹතලේ, මුරියාකඩවල, පණ්ඩිත රබෑව, බමුණුගම, ඌත්තුපිටිය, අමිනිච්චිය ආදී ගම්මැදි ජනයා ජීවන දුෂ්කරතාවයන් රැසකට මැදිව දවස ගෙවති. මේ සාම්ප්‍රදායික ගම්මාන කැකිරාව සහ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පරිපාලනයට නතුව පවතී. මේ ගම්මැදි විශේෂ වනුයේ තවමත් දෙවියන්, යකුන් කෙරෙහි අපමණක් විශ්වාසයෙන් තොවිල්, පවිල්, බලි, ශාන්තිකර්ම ආදිය සඳහා ප්‍රසිද්ධියක් උසුලන බැවිනි. අවුසදහාමි ගුරුන්ණාන්සේ මේ පුරාණ ඇදහිලි, විශ්වාස, ඇවතුම් පැවතුම් පරම්පරාගතව තමන් වෙත දායාද වූ බව පැවසීය.
“අපේ අප්පච්චිලාගෙන් ලැබිච්ච උරුමෙ තමයි අපි අදටත් පරම්පරා ගාණක් තිස්සේ රැකගෙන ඉන්නේ. ඒත් දැන් මේ පුරාණ දේවල් එකින් එක අභාවයට ගිහිල්ලා බොහොම ස්වල්පයයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට පුළුවන් විදිහට මේ චාරිත්‍ර රැකගන්න මහන්සි ගන්නවා. තෝත්තර වැඩවලට මගේ පුතා, මුණුපුරා එහෙමත් එකතු වෙලා ඉන්නවා. බොහොම හොඳට කෝල්මුර කවි වලට උඩැක්කි ගහන්න ඒ දෙන්නටත් පුළුවන්. දැන් මේ දේවල් කරලා ජීවත් වෙන්න බෑ. රිටිගල කන්ද වටේට තියෙන ගම්මාන ගාණක තිබ්බ මේ වතාවත් දැන් ගම්මාන දෙක තුනකට සීමා වෙලා තියෙන්නේ. තාමත් වතාවත් රකින අපිට දෙවියන්ගේ බැල්ම වැටෙනවා.”
අනාදිමත් කාලයක පටන් ලාංකේය ජනයා කිසිදු වර්ග භේදයකින් තොරව දේව ඇදහිලි හා අභිචාර විධි කෙරෙහි විශ්වාසයෙන් පසුවී ඇති බවට සාධක මුණගැසේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම දිවයන්නකි. එවක් පටන් දෙවිවරුන්, යක්‌ෂයන් මෙන්ම නොයෙකුත් දෘශ්‍ය හා අදෘශ්‍යමාන බලවේග කෙරෙහි භක්‌තිමත්ව කටයුතුකොට ඇත. එපමණක් නොව දෙවියන් තම ජීවිතයට එළඹෙන බාධා කම්කටොලු ඉවත් කර, තමන්ට ආශිර්වාද කරන අතර, සැපවත් ජීවිතයක් ගත කිරීමට පිහිට වන බවටද ගැමියෝ විශ්වාස කළහ.
අවුසදහාමි ගුරුන්ණාන්සේගේ 'තෝත්තර' කල්ලියේ සාමාජිකයෙක් වන ප්‍රවීණ කලාකරු සිරිල් සමරකෝන් මහතා සිය අත්දැකීම් පැහැදිලි කළේ මෙලෙසිනි.
“ගම්මැදි වල කරපු බලි ශාන්තිකර්ම වගේ වතාවත් වල මූලික බලාපොරොත්තුව වුණේ මානසික සහනය ලබාදෙන එක. අනිත් පැත්තෙන් මුට්ටි නමන මංගල්ලේ, කිරි ඉතුරුම් මංගල්ලේ වගේ වතාවත් ඇතුළේ තිබුණෙ කෘතගුණ සැලකීම. අපේ මිනිස්සු වගා කන්නයක් පටන් ගන්න කලිනුයි, කන්නෙ අවසානේ අස්වැන්න නෙළාගත්තට පස්සෙයි කිරි උතුරලා කළගුණ දැක්වුවා. වෙන කාටවත් නෙමෙයි සොබාදහමට. බුදුන්, දෙවියන් සිහිකරලා උතුරන කිරිබත ගමටම බෙදුවා. මේ වතාවත් වලින් ගමම එකතු වුණා. අපි ගොවිතැනට උදව්පදව් කරන සතා සිවුපාවුන්ට පවා මහ ඉහළින් සත්කාර කරපු ජාතියක්. දැන් මේ වතාවත් විවේචනය කරන මිනිස්සු මොකද කරන්නේ කිරි උතුරනවා වෙනුවට අරක්කු සාද තියන එක. සත්කාර කරනවා වෙනුවට හරක් බුරුතු පිටින් මරාගෙන කන එක. ඉතිං එහෙම රටක දෙවියෝ බලයිද?”
අවුසදහාමි ගුරුන්ණාන්සේගේ එකම පුතු දර්ශන සරත් කුමාර සහ මුණුබුරා තිසාල් නිරෝෂ් මේ සනුහරේ උරුමය රැකීමට වෙහෙසෙයි. නූතන තාක්ෂණික ලෝකයේ සොබාදහමේ ආශිර්වාදය ලබමින් ඔවුහු දවස ගෙවති. දර්ශන ජීවනෝපායට ගොවිතැන් බත් කරමින් සිය දරු පවුල රකියි. තිසාල් උසස් අධ්‍යපනය ලබමින් ජීවිතයේ ආලෝකය සොයයි. ඔහු මෙසේ කීය.
“මං උසස් පෙළ කරන ගමන් සීයගෙන් මේ වතාවත් ඉගෙන ගන්නවා. සීයා ශාන්තිකර්මවලට යනකොට අපිවත් එක්කගෙන යනවා. මේ කිසිදෙයක් ආවට ගියාට කරන්න බෑ. අද බැලුවොත් හැම අතේම තියෙන්නේ බොරුව, වංචාව. ඒත් සොබාදහමට බොරු කරන්න බෑ. ඒ කාලේ මේ පුදසිරිත් කරලා තියෙන්නේ සොබාදහමට එකඟව. අවංකව. බොරුවක් නෑ. ඇත්තටම මේ වතාවත් වලින් ඉල්ලන්නේ සොබාදහමේ ආශිර්වාදය. ඒක ගොඩක් දෙනෙක් තේරුම් ගන්නෙ නෑ. කරන්න පුළුවන් හැම විනාශයක්ම කරලා සොබාදහමෙන් ආශිර්වාද ඉල්ලනවා. ඉතිං ලැබෙන්නෙ නෑනේ. අද වෙලා තියෙන්නේ ඒක.”
ගොක්කොළ හා කෙසෙල් ගස්වලින් සැරසූ විචිත්‍රවත් මඩුවක නවග්‍රහයන්ගේ රූප හැදීමෙන් බලි ශාන්තිකර්ම සිදුකරයි. බලි තට්ටුවේ මැද සිටින බලවත් ග්‍රහයා සෙනසුරුය. මැටියෙන් අඹන චිත්‍ර මත වර්ණ ගල්වන්නේ අඟුරු, කහ, හුනු ආදී කළමනා මගිනි. ශාන්තිකර්මයක ශාන්තිය ලැබීමට මුළු ගමම එකතු වේ. මෙවැනි කටයුත්තකදී විසල් පරිශ්‍රමයක් දැරීමට ගැමියන්ට සිදුවේ. දහ පහළොස්දෙනෙකුගෙන් පමණ එවක ශාන්තිකර්ම පිරිවරක් සමන්විත වී ඇත. එහෙත් අද වන විට ඒ පිරිස හත් අට දෙනෙකුට සීමා වී තිබේ. සෑම බලියක් අවසානයේම සිය ජීවිත වෙත සශ්‍රීකත්වය උදාව උපද්‍රව මගහැරී යන බව ගැමියෝ විශ්වාස කරති. වසංගත රෝග, වගා හානි, අකල් මරණ, නියඟය හා අසමගිය දුරුවේ යැයි ඔවුහු සිතති. පොදුවේ ගමට, රටට සෙත්පතා සිදුකරන බලිතොවිල් මෙන්ම පුද්ගලයකු, නිවසක් හෝ පවුලක් වෙනුවෙන් සෙත් පතා ශාන්තිකර්ම සිදුකොට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදුවේ.
ඒ මග යමින් නූතන අරුමෝසම් අතෝරක් මැද අවුසදහාමි ගුරුන්නාන්සේ වැනි විසල් මිනිසුන් සනුහරේ උරුමය රැකීමට සිය පිරිවර සමග තවමත් වෙහෙසෙයි. සොබාදහමට ආයාචනය කරයි. ඔහුගේ බොඳ වූ දෙනෙත කියවා ගැනීම පහසු නැත.
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග