’කෝවිඩ් - 19’ නිසා බ්ඳවැටුණු සංචාරක කර්මාන්තය


ලංකාවේ ආර්ථිකයට සෘජු මෙන්ම වක්‍රව විශාල දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය හැඳින්විය හැක. මෑත කාලයේදී අවස්ථා දෙකකදී ලංකාවේ ගොඩනැඟෙමින් තිබූ සංචාරක කර්මාන්තය බිඳ වැටීමට ලක්විණි. ඒ පාස්කු ප්‍රහාරයෙන් සහ 'කෝවිඩ් - 19' බලපෑම තුළය. විශේෂයෙන් 'කෝවිඩ් - 19' හි බලපෑම මත ලෝකයේම සංචාරක කර්මාන්තය බිඳවැටී ඇති මොහොතක අප නැවත නැගිටිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති කිෂූ ගෝමස් මහතා දැක්වූ අදහස් ඔස්සේ මෙම ලිපිය සකස් වී ඇත.

සංචාරක කර්මාන්තයෙහි කඩා වැටීම

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ඇති වුණු හානිය පියවීම සඳහා යම් කාලයක් ගත වුණු බව සැවොම දන්නා කරුණකි. සංචාරක කර්මාන්තය එයින් පසුව නැගිටීම සිදුවන කාලය තුළදී නොසිතූ ලෙසින් පැමිණි %කෝවිඩ් - 19^ හි බලපෑමෙන්ද සංචාරක කර්මාන්තයට වැදුණු පහර දරුණුය. ලෝකයේම සංචාරක ව්‍යාපාරය මේ වනවිට ඇනහිට තිබෙන අතර ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වයක් ලබාදෙනු ලබන්නේ සංචාරක කර්මාන්තය තුළින් වන නිසා මෙය අපට ඉතා වැදගත්ය. ලංකාවට විදේශ විනිමය ගෙන එන කර්මාන්ත තුළ තෙවැනි විශාලතම ව්‍යාපාරය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. 2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ප්‍රමාණය මිලියන 2.33ක් වන අතර ඔවුන් ගෙන ආ විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5කි.

හෝටල් ක්ෂේත්‍රය, සංචාරක මඟ පෙන්වන්නන්, සමරුඵලක නිර්මාණකරුවන්, ප්‍රවාහන පහසුකම් සලසන්නන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිකා මෙම කඩාවැටීම තුළ අකර්මණ්‍ය වී ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසුව නැගිටීම

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතු වූවත් හැකි විගස රටේ ආරක්ෂාව තහවුරු කරමින් සංචාරක කර්මාන්තය ඇරඹීමට අපට හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසු ඉදිරි මාස අටක කාලසීමාව තුළ ලංකාවට විදේශීය සංචාරකයින් මිලියන 1.9ක් ගෙන්වා ගැනීමට හැකි විය. 2019 වසරේදී රටේ ඉලක්කය වූයේ සංචාරකයන්ගේ ප්‍රමාණය මිලියන තුන දක්වා ඉහළට ගෙන ඒම වූවත් මාස අටක කාලසීමාව තුළදී මිලියන 1.9ක ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකිවීම සංචාරක ව්‍යාපාරය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.

සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැංවීම

'සංචරණය' මේ වනවිට මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් හා සමාන තත්ත්වයකට පැමිණ තිබේ. ලෝකයේ ජනගහනයෙන් බිලියන 1.7ක පමණ පිරිසක් විනෝදය සහ විවේකය සඳහා සංචාරය කිරීම සිදුකරයි. සංචාරක කර්මාන්තයෙන් තොරව ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට නොහැක. මේ කඩාවැටීම තුළින් අප පසු නොබැස අපට අවශ්‍ය සම්බන්ධතා ටික රඳවා තබා ගත යුතුය. ඕනෑම ක්ෂේත්‍රයක්, වෘත්තීයක් ජයග්‍රහණය සඳහා ගෙනයාමට අවශ්‍ය වන්නේ තරඟකාරී වාසිය ලබාගැනීමයි. එම තරගකාරී වාසිය කෝවිඩ් බලපෑම තුළින් අප තව ශක්තිමත් කරගෙන තිබේ. එය අලෙවි කිරීම සිදුකළ යුත්තේ කුමන ආකාරයෙන්ද බව ඉතා විශාල වශයෙන් කල්පනා කළ යුතුය. 

කෝවිඩ් බලපෑමෙන් බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය පිළිබඳව ශෝක වනවාට වඩා මේ මොහොතේදී ඒ තුළින් අපට නැගිටිය හැකි ආකාරය පිළිබඳව සිතා බැලිය යුතුය. රටේ තත්ත්වය යම්තාක් දුරකට පාලනය වී සාමාන්‍යකරණයට ලක් වූ පසුව එතුළින් නිර්මාණය වන සංචාරක ව්‍යාපාරය අනෙක් වසරවලට වඩා සියයට පණහකින් පමණ පහත බැස තිබුණත් ඉතිරි වන ප්‍රමාණය රැක ගැනීමට සහ එතුළින් නැගිටීමට අවශ්‍ය සාධක අපට මේ වනවිට ලැබී ඇත. තව මාස හතරක් වනවිට අවම වශයෙන් මෙම තත්ත්වය සාමාන්‍යකරණයට පත් වේවි යැයි අප උපකල්පනය කළහොත් ඉන්පසු ඉදිරි මාස දොළහක කාලය තුළදී සංචාරකයින් මිලියනයක් ගෙන්වීමේ ඉලක්කයට අප වැඩ කටයුතු කළ යුතුය.

ගත හැකි ක්‍රියාමාර්ග

ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට පෙර ලංකාවෙන් පිටවීමට නොහැකිව මේ වනවිට ලංකාවේ රැඳී සිටින විදේශීය සංචාරකයින් ප්‍රමාණය එකළොස්දහසකට අධිකය. මොවුන් සියලුදෙනාම මේ වනවිට ලංකාව තුළ සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වෙති. විශේෂයෙන් බොහෝ සංචාරක ප්‍රදේශවල ජීවත්වන සාමාන්‍ය ජනයා එම විදේශිකයන්ට ආගන්තුක සත්කාර, ආහාර සංග්‍රහ ලබාදෙනු අපි දුටුවෙමු. එය සැබැවින්ම හොඳ ප්‍රවණතාවයකි. ලාංකිකයන් යනු කුමන අවස්ථාවකදී හෝ අනෙකා මග නොහරින බව මේ මොහොතේදී විදේශිකයන්ට අප පෙන්වා දී ඇත. මේ පිරිස තුළින් ලෝකයට ‘ලංකාව පිළිබඳව විශාල ධනාත්මක පණිවුඩයක් ගෙන යා හැකිය. %ශ්‍රී ලංකාව කුමන අවස්ථාවකදී වුව ආරක්ෂිතයි^ යන පණිවුඩය ඔවුන් හරහා ලෝකයටම බෙදා දිය හැක. ඒ සඳහා නිසි සැලැස්මක් නිර්මාණය කළ යුතු අතර ලංකාවට එය පහසුවෙන් සිදු කළ හැක.

'කෝවිඩ් - 19' තුළින් පීඩනයට පත්ව සිටින ජනතාව මේ මොහොතේදී එම පීඩනය නැති කරගැනීම සඳහා සංචාරය කිරීමට අනිවාර්යයෙන්ම පෙලඹෙති. ඔවුන් ඒ තීරණය ගෙන වෙනත් රටකට යෑමට පෙර අප, අප පිළිබඳව ලෝකයට පැවසිය යුතුම වේ. ඔවුන්ට ආරාධනා කිරීම වෙනුවට අප කවුරුන්ද යන්න ඔවුන්ට හඳුන්වා දිය යුතුය. විශේෂයෙන් කෝවිඩ්වලින් අප හඳුනාගත් අලුත් අනන්‍යතා පිළිබඳව අපට සෑම රටකටම ගෙන යා හැකිය. ඊට මේ හොඳම අවස්ථාව වන බව අප මතක තබා ගත යුතුය. මේ මොහොතේ පටන් ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සූදානම් කළ යුතුය.

සංචාරය සඳහා ඇමෙරිකාව, චීනය සහ ප්‍රංශය වැනි රටවලට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 100කට අධික වන අතර ඉතාලියට මිලියන 70ක් පමණ සංචාරකයින් පැමිණෙයි. නමුත් 'කෝවිඩ් - 19' හමුවේ එම සියලු රටවල සෞඛ්‍ය සහ ආරක්ෂාව බිඳ වැටිණි. අප එසේ නොවී ජනතාවගේ සහ සංචාරකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර ගැනීමට සමත් විය. ලංකාවේ සංචාරක සන්නාමය ලෝකයට ගෙන යා හැක්කේ මෙතුළිනි. සෞඛ්‍යාරක්ෂාව පිරිහුණු රටක සංචාරය කරනවාද නැතහොත් සෞඛ්‍යාරක්ෂණය උපරිමය ලබාදෙන රටක සංචාරය කරනවාද යන්න පිළිබඳව විදේශිකයන්ට පැවසීමට මේ හරහා අපට හැකියාව ලැබෙයි. එමෙන්ම අපේ සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශවල කැපවීම සහ ඔවුන්ගේ මානුෂීයත්වය මේ මොහොතේදී ලෝකයට ගෙන යා හැකිය. ශ්‍රී ලංකාව යන සන්නාමය මේ හරහා විදේශීය සංචාරකයන්ට ප්‍රවර්ධනය කළ හැකිය. සැබැවින්ම මේ අවස්ථාවේදී අපට අවශ්‍ය වන්නේ ලංකාව නම් සන්නාමය ඉතා සාර්ථක අයුරින් ලෝකය හමුවේ ප්‍රවර්ධනය කිරීමයි.

වෘත්තිකයන්ගේ සහන

මේ වනවිට රජය විසින් සංචාරක ව්‍යාපාරයේ නියුතු පිරිස් සඳහා ලබාදෙන සහන පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබේ. මෙහිදී ණය සහන සියල්ලම ලබා දෙනු ලබන්නේ බැංකු හරහාය. බැංකු මාර්ගයෙන් සහන ලබා දීම පිළිබඳව යම් ගැටලුවක් ඇතිවන්නේ පෞද්ගලික බැංකු සඳහා රජයට බලපෑමක් එල්ල කිරීමට නොහැකි වීම හේතුවෙනි. විශේෂයෙන් මෙහිදී බැංකුවක් විසින් යම් පුද්ගලයෙකුට ණයක් නිකුත් කිරීමට පෙලඹෙන්නේ එම ණය මුදල නැවත ගෙවීමට හැකියාවක් රට තුළ නිසි වාතාවරණයක් නිර්මාණය වූ අවධියකදීය. පාස්කු ප්‍රහාරය සිදුවූ පසුවත් සංචාරක ක්ෂේත්‍රයේ නියැ‍ෙළන්නන්ට සහන ලබාදීම සිදුවූ අතර එම සහන ණය නැවත පියවා ගැනීමටද නොහැකි කාලයක් තුළ මෙවැනි පසුබිමක් නිර්මාණය වීම කනගාටුදායකය. ඔවුන් එම ගැටලුවට ප්‍රබලව මැදිහත් වූ පිරිස්ය. බැංකු හරහා ණය සහන ලබාදීමට වඩා ඔවුනට වෙනත් ආකාරවලින් සහන ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් එය සාර්ථක විය හැකිය. සංචාරක කර්මාන්තය නොමැතිව රටේ ආර්ථිකය ගොඩනංවා ගැනීමට බැරි බව අප මතක තබාගත යුතු වන අතර ඒ සඳහා සංචාරකයින් ආරක්ෂා කරනවා සේම එම වෘත්තිකයන්වද ආරක්ෂා කර ගත යුතු වේ.

වෘත්තිකයින් සංචාරක ක්ෂේත්‍රයෙන් ඉවත් වුවහොත්

සංචාරක ව්‍යාපාරයෙන් බිලියන 4.5ක් ඉපයූවත් එහි ලාභාංශයේ ගැටලුවක් මතුව තිබුණි. උදාහරණයක් ලෙස දැක්වුවහොත් තරු පන්තියේ හෝටල් පවා පවත්වාගෙන යන්නේ විශාල ලාභයක් නොමැතිවය. කොළඹ හෝටල් කාමර වසර පුරා පිරී තිබෙනුයේ සියයට හැටක පමණ ප්‍රතිශතයක් පමණි. කාමර 90,000ක් තිබියදී තවත් කාමර 20,000ක් ඉදිකිරීම සඳහා ආයෝජකයින් පෙලඹුණේ මෙවැනි පසුබිමකය. විශේෂයෙන් 2009 වසරේදී යුද්ධය අවසන්වීමත් සමගම බොහෝ දෙනා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වූයේ මෙයින් විශාල ලාභයක් ඉතා ඉක්මනට ඉපයීමට හැකියැයි සිතාය. සංචාරක කර්මාන්තයේ පරිමාව පිළිබඳව ඔවුන් තුළ දැනුමක් නොතිබුණි. ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් හැම අංශයකින්ම තිබුණි. මේ තත්ත්වය හමුවේ බොහෝ දෙනාගේ ව්‍යාපාර කඩා වැටිණි. ඉන් බොහෝ පිරිසක් සංචාරක ව්‍යාපාරය තුළින්ම ව්‍යාපාර යථා තත්ත්වයට ගෙන ඒමට උත්සාහ කළහ. මේ තුළ සංචාරකයන්ට අත්‍යවශ්‍යම ආයතනද තිබුණි. කෝවිඩ්හි බලපෑම එල්ල වූවත් නැතත් මෙහි ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් තිබුණි. ලංකාවේ සංචාරකයන් වැඩි වන සමයේදී යම්තාක් දුරකට එය පිරිමසා ගැනීමට ඔවුන්ට හැකිවිය. එහිදී බොහෝ පිරිස් සංචාරක සමයේදී පමණක් ව්‍යාපාරවල නිරත වී ඉන්පසු කාලවලදී වෙනත් ආයෝජන සඳහා සම්බන්ධ විය. සංචාරක ව්‍යාපාරයේ ලාභාංශය නිවැරදි මට්ටමට නොතිබුණහොත් පැමිණෙන සංචාරකයින්ට හොඳ සේවාවක් සැපයීමට නොහැකිය. ලාභාංශ අඩු වනවිට විශිෂ්ට සේවා, විශිෂ්ට නිෂ්පාදනයක් ලබාදීමට නොහැකි වන බව ඕනෑම ක්ෂේත්‍රයක පිරිස් දන්නා කරුණකි. 'කෝවිඩ් - 19' හි බලපෑම තුළ යම් පිරිසක් සංචාරක ව්‍යාපාරය තුළින් ඉවත් විය හැකියි. නමුත් එයින් ඇතැම් විට සංචාරක ව්‍යාපාරය තුළ තිබෙන ඉල්ලුම සහ සැපයුම අතර තිබෙන අසමබරතාවය යම් ප්‍රමාණයකින් සමනය විය හැක.

විදේශීය සංචාරකයින් තුළ මහත් ප්‍රසාදයක් දිනා තිබෙන සංචාරක හෝටල් දෙකක් වන The Tamarind Tree හෝටලයේ සහ Grand Oriental හෝටලයේ රැඳී සිටින සංචාරකයින්ගේ තත්ත්වය පිළිබඳව අප කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ මෙවැන්නකි.

The Tamarind Tree Hotel හි කළමනාකරු නොයෙල් රොජර්ස් මහතා,

දැනට අපේ හෝටලයේ එක් ප්‍රංශ ජාතික සංචාරකයෙක් නැවතී සිටිනවා. ගුවන් ගමන් නැවැත්වීමට පෙර ඔහුට ලංකාවෙන් පිටවීමට නොහැකි වුණා. ඔහු සෞඛ්‍යසම්පන්නව සහ ආරක්ෂිතව නැවතී සිටිනවා. ඔහුට සංචාරක ප්‍රදේශවලට යන්න ඉඩක් නැහැ මේ අවස්ථාවේදී. මේ තත්ත්වය යහපත් අතට පත්වන තෙක් ඔහු අපේ හෝටලයේ නැවතී සිටිනවා. අපේ හෝටලයත් මේ තිබෙන තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දමා තිබෙන්නේ. නමුත් රජයෙන් හෝ ගුවන්තොටුප‍ෙළන් විශේෂ ඉල්ලීමක් සිදු කළහොත් එයට සහය දැක්වීමට අපි සූදානමින් සිටිනවා.

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ මහජන සම්බන්ධතා නිලධාරිනී දේශානි පෙරේරා,

'කටුනායක ගුවන්තොටුපළ වසා දැමීමට පෙර ලංකාවෙන් පිටත් වීමට නොහැකි වුණු විදේශීය සංචාරකයින් කිහිපදෙනෙකු අපේ හෝටලයේ මේ වෙද්දි නැවතිලා ඉන්නවා. මේ වෙද්දි මුළු හෝටලයේම කාමර 12ක සංචාරකයින් සිටිනවා. ඔවුන් බොහෝදෙනෙක් සංචාරක නියෝජිත සමාගම් හරහා පැමිණි අය නොවෙයි. තනි තනිව අන්තර්ජාලය හරහා අපේ හෝටලයේ කාමර වෙන්කර ගත් අයයි. ඔවුන් ජර්මනිය, රුසියාව, චෙක් රාජ්‍ය, ඉන්දියාව සහ යුරෝපීය රටවල් කිහිපයකින් පැමිණි අයයි. මේ අය අන්තර්ජාලය හරහා කාමර වෙන් කරගෙන සිටින නිසා ඔවුන් අපගේ සේවාවන් වෙන වෙනම ලබාගන්නේ. ඒ අතරම බාහිරින් ආහාර ගෙන්වා ගන්නා අයත් ඉන්නවා. ඔවුන් එළියට යන්නේ නැහැ. හෝටලය තුළම තමයි රැඳී ඉන්නේ. අපේ කාර්යමණ්ඩලයත් ඔවුන්ව දැනුවත් කරලා තිබෙන්නේ. ඔවුනුත් මේ තත්ත්වය තේරුම අරගෙන තමයි අපේ හෝටලයේ රැඳිලා ඉන්නේ. මේ අය බොහෝමයක් මාර්තු මාසයේ මුල් සතියේ පැමිණි අයයි. ඔවුන්ට යම් රෝගී තත්ත්වයක් තිබෙනවා නම් නිසැකවම මේ වනවිට රෝග ලක්ෂණ මතු වෙන්න ඕනේ. ඒ සියලුදෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවා. ඔවුන්ට හදිසි කරුණක් මත පිටතට යන්න අවශ්‍ය වෙනවා නම් අපි පොලිස් නිලධාරීන්ට දන්වලා ඒ සඳහා අවසර ලබාගෙන එය සිදු කරනවා. ඒ විදිහට ජර්මන් සංචාරක පවුලක් පොලීසියට දන්වලා ඔවුන්ට පිටවීමට අවශ්‍ය ඉඩකඩ සලසා දුන්නා. ඔවුන්ට ප්‍රවාහන පහසුකම් කිසිවක් නැති නිසා වෙනත් ස්ථානයකට යෑමටවත් අවස්ථාවක් නැහැ. විටෙන් විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ ඔවුන්ව සහ හෝටලය සෝදිසි කරනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැනුවත් කිරීම් මත තමයි හෝටලයේ සියලු සේවා සපයන්නේ. වෙනත් බාහිර පුද්ගලයන් හෝ සංචාරකයින්ට කාමර ලබා දීම සිදුවෙන්නේ නැහැ.

සංචාරක හෝටල් සියල්ලම මාස දෙකක පමණ කාලයක සිටම වසා දමා තිබෙන නිසා සේවකයන් විශාල අර්බුදයක ජීවත් වන්නේ. සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කරලා යම් වැඩපිළිවෙළක් තුළින් සංචාරකයින් මෙරටට ගෙන්වා ගතහොත් අපේ රැකියා නැවත යථා තත්ත්වයට පත් වේවි. තවම රජයෙන් හෝටල් සේවකයින්ට සහනයන් ලබාදීම පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් සිදුකරලා නැහැ. සංචාරක කර්මාන්තය බිඳ වැටෙනවා කියන්නේ අපි සමගම වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙන පිරිසගේ ආර්ථිකයත් බිඳ වැටෙනවා කියන එක. ඒ නිසා ඉක්මන් පිළියමයක් අපට අවශ්‍යයි'.



Recommended Articles