’කුඹුක්කඩවල’ වැව් මැරෙනු දැක ඉකිබ්ඳින ගල්කිරියා කන්ද


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග

ගල්කිරියා කඳු මුදුනේ හිරු හොඳ පදමට දිලිසෙමින් තිබේ. දැන් දවල් දොළහද පසුවී ඇත. ගමේ වෙල්දෙණි, බඩවැටි මතින්, තුරු මුදුන් යටින් අපි ඇවිද යමින් සිටිමු. ගිනි මද්දහනේ වුවද අමුතු සිසිලසක් ගතට දැනේ. %කුඹුක්කඩවල^ ගමේ හතරමුළු හොඳින් දත් නිමල් රත්නායක මට පාර පෙන්වයි. ඔහුට අවුරුදු තිස්පහක් පමණ වෙතැයි මම අනුමාන කළෙමි. අප යා යුත්තේ කොතැනකටදැයි දන්නේ ඔහුමය. එක යායට යාවී ඇති පොල් අතු මත ඔබ මොබ යන රිළව් රැළකි. මට නම් එය විනෝදයකි. ඒත් එහි සැබෑ අරුමය දන්නේ නිමල්ලාය.

“මේ සත්තු පුදුම වසංගතයක් වෙලා තියෙන්නේ. පොල් ගස් පිටින් විනාශ කරන්නේ. රංවුව ආවහම කුරුම්බා යායටම වග කියනවා. අඹ ගෙඩියක් හැදෙන්න දෙන්නෙ නෑ. සම්පූර්ණයෙන් කන්නෙත් නෑ. බාගෙට කාලා අතෑරලා දුවනවා. ඇත්තටම මේ ගම්වල පොල් හිඟවෙන්ඩ මේ රිළව් වසංගතෙත් එක හේතුවක්. මොනව කරන්නද කියලා හිතාගන්න බෑ. එක අතකින් අහිංසක සත්තු. උනුත් මොනව හරි කාලා ජීවත් වෙන්න ඕන. එකම දේ ඉස්සර මේ කැලෑ රොදවල්වල සත්තුන්ට කන්න තිබුණ දේවල් දැන් නෑ. ඉතින් උන් ගම් වදිනවා.”

සොබාදහම පිළිබඳව ඔහු තුළ ඇති අනුකම්පාව මා සිත් ගනියි. පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,  සුප්‍රකට ගල්කිරියා කඳු පාමුල පිහිටි %කුඹුක්කඩවල^ ගම්මානයේ සිට පොල්පිතිගම නගරයට කිලෝමීටර් දහඅටක් පමණ ඇත. තවමත් පිටිසර සිරියාව ඈත්මෑත් නොවුණු කුඹුක්කඩවල ගමට අද වනවිට ලබා ඇති ලොකුම අපලය නම් ගම වටකොට ඇති ඉපැරණි වැව් ටික දැඩි සේ රොන්මඩ එකතු වී, ගොඩ වී විනාශ වීමේ අවදානමට ලක්ව තිබීමය. අපි ගමේ මහ වැව අසලට පැමිණියෙමු.

“අර පේනවා නේද වැව මැද පස් කඳු. ඔය දැන් මීට අවුරුද්දකට හමාරකට විතර කලින් රොන්මඩ අයින් කරනවා කියල වැව හාරන්න ගත්තා. පස් ටික වැව මැද ගොඩ ගැහැව්වා, අතෑරලා දාලා ගියා. ඒකෙන් වුණේ වැවට එකතුවෙන වතුර තවත් අඩුවුණ එක. මේ වැව පුරාණ වැවක්. අපේ අප්පච්චිලා කියන්නේ රජ කාලේ ඉඳන් තියෙන වැවක් වෙන්න ඇති කියලා. මේ වැවේ හැටියට රළපනාවක් තියෙන්න ඕන. එහෙම මොකුත් නෑ. පරණ සොරොව්ව පුපුරලා අද ඊයෙක නෙමෙයි. වැව හදවගන්න අපි මොනතරම් ඔට්ටු වුණාද. ඒත් අවසානේ වෙච්ච දෙයක් නෑ.”

කුඹුක්කඩවල ගැමියෝ වැඩිදෙනෙකු ජීවත් වීමේ ගැටලු රැසකට මුහුණ පා සිටිති. ඒ මේ වැව් අබල, දුබල වීම හේතුවෙනි. ගමේ මහවැව සහ තවත් කුඩා වැව් හතරකින් කුඹුක්කඩවල වැව් පද්ධතිය සමන්විතව ඇත.

මහවැව, පන්සලේ වැව, මූකලානේ වැව, තලාකොලවැව, මැද පොලයාගම වැව යනාදී නම් වලින් ගැමියෝ මෙම වැව් හඳුන්වති. වැව් සියල්ලෙහිම පාහේ බැම්ම, සොරොව්ව, වාන ආදිය අබලන් වී දැඩි ලෙස රොන්මඩ පිරී, ගොඩ වී විනාශ වීමේ අවදානමට ලක්ව ඇත. මේ හේතුවෙන් මහ කන්නයට පමණක් වගාවන් සීමා වී ඇත.

මීට වසර එකහමාරකට මත්තෙන් ගම මැදට වන්නට පිහිටි මහවැවේ රොන් මඩ ඉවත් කිරීම ආරම්භ කරනු ලැබුවද එය අතරමග නැවතී තිබේ. ඒ කවර හේතුවක් නිසාදැයි ගැමියන් කිසිවෙකු දන්නේ නැත. වැඩ අතරමග නවතින විට වැව මැද ගොඩගසා ඇති රොන්මඩ කඳු හේතුවෙන් එකතු වන ජලය තවදුරටත් සීමාවී ඇත. වැවට ජලය මඳක් එකතු වී ඇතත්, එය යල් කන්නයේ වගාවන් කිරීමට තරම් ප්‍රමාණවත් නැත. එහි ඉපැරණි සොරොව්වේ කොන්ක්‍රීට් නිර්මිත පුපුරා දැඩි සේ අබලන්ව ඇත. එමගින් වැවේ ඇති වතුර ටිකද නිකරුණේ ඉවත ගලා යමින් තිබේ. වැව යටතේ කලකට ඉහත යලට එළවළු වැව්වද දැන් එයද මඟහැරී ඇත. තියෙන වතුර ටික ගැමියන්ට දිය නෑම ආදිය සඳහා ඉතුරු කළ යුතුය. කවර කෙනෙහිලිකම් කළද තවමත් වැවෙහි සුන්දරත්වය අඩුවක් නැත. පිපී එන ඕලු මල් හමා එන සුළඟට ඒ මේ අත වැනෙයි.

ගමට යා වී ඇති ගල්කිරියා කඳු පාමුල පිහිටි අනෙක් කුඩා වැව් ටික කලකට ඉහතදී කඳු මුදුනින් ගලා ආ දිය සීරාවන්ගෙන් පෝෂණය ලැබුවද අද වනවිට එම බොහෝ දිය කඳුරු සිඳී ඇත. දැන් නවතා දමා ඇති එහෙත් කලකට ඉහත කන්දේ ගජරාමෙට සිදුවූ අනවසර දැව ජාවාරම ඊට හේතුවන්නට ඇති බව ගැමියන්ගේ විශ්වාසයයි. වැස්සෙන් එකතුවන ජලය දරා සිටීමට තරම් වපසරියක් අද වනවිට මෙම වැව් තුළ නොතිබීම ප්‍රධානතම ගැටලුව වී ඇත. කලක් තිස්සේ නොඅඩුව එකතුව ඇති රොන්මඩ ඊට හේතු වී තිබේ. වැව් ගර්භය තුළ රූස්ස ගස් වැවී ඇත. ගස් ඉදිරී අතු ඉති වැටී ඇත. පෑවිල්ලේ වනසතෙකුට බීමට තරමින් වතුර ටිකක් වැව් තුළ ඉතුරු නොවන තරම්ය. යන්තමින් ඇති දිය කඳුළත් හොඳ ගානට බොර වී තිබීමෙන් පෙනී යන්නේ බිම් කරුවල වැටෙත්ම මුවන්, ඌරන්, ගෝනුන් ආදී වනසතුන් මේ වැව් පිටි වෙත ඇදෙන බවය. අලි පැමිණි වගට මං සලකුණු ද එහි ඇත. ඒ මේ ගැමියන්ට ඇති තවත් ගැටලුවකි.

“අලි ඉතින් නිතරම වගේ ඉන්නවා. ඔය කන්ද පාමුල ඉන්න අලි සමහර දවස්වලට ගමට ඇදෙනවා. මිනිස්සුන්ටත් දැන් ඒ ගැන ඒ තරම් ගානක් නෑ. හැම කරදරේකටම වගේ මිනිස්සු දැන් අලින්ටත් හුරුවෙලා ඉන්නේ.” නිමල් වගේ වගක් නැතිව කීය.

ඉකුත් මහේ කලකට පසු වැසි වැටුණු බැවින් කන්න කිහිපයක් පුරන් වී තිබූ කුඹුරු අස්වද්දන්ට ගැමියන්නට හැකි වී ඇත. එවක පැසුණු අස්වැන්න රැකගන්නට නිදිවර්ජිතව රැය ගත කළ පැල්කොට තවමත් වෙල් මායිමේ හුදකලා වී ඇත.

යල් කන්නයක් පැස්සවූ කාලයක් මේ ගැමියන්ට මතක නැත. මෙවරද වැටෙන වැස්ස වී වැපිරීමට ප්‍රමාණවත් නැත. කව්පි, මුං, එළවළු ආදිය වැවීමට ගොවීහු උනන්දු වෙති. ගමේ වැව් පොකුරෙහි දුබල බව එහිදීද හරස් වෙයි. මේ කඨෝර මහපොළොව සමගම ඔට්ටු වී වයසට ගිය ආර්.එම්. රණ්බන්ඩා මහතා ගල්කිරියා කන්ද දෙස බලා සුසුම්ලන්නට විය. ඔහු කුඹුක්කඩවල ගමේ පරම්පරා කිහිපයක ජීවන ඇවතුම්, පැවතුම්වල වෙනස්වීම මනාව දුටු අයෙකි. ඔහුගේ හිතේ ඇවිළෙන කනස්සල්ල මේ මහා කන්දටත් වැඩිය.

“කිසි කරදරයක් නැතිව මේ වැව් ටික හොඳට තියෙන කාලේ මිනිස්සු යල, මහ ගොවිතැන් කරගෙන ජීවත් වුණා. අදටත් මේ ගම්වල රස්සා කරන මිනිස්සු අඩුයි. ගොවිතැනක් බතක් කරගෙන තියෙන හැටියට ජීවත් වෙන්නේ. වැව් ටික ගොඩ වෙන්න ගත්තට පස්සේ මිනිස්සුත් අහේනියෙන් ඉන්නේ. ඔය හැමතැනම වැව් හදනවා කිව්වට මේ කඳු පාමුල තියෙන වැව් ටික හදල දෙන්න මනුස්සයෙක් නෑනේ. අපේ කාලේ දැන් කොහොමත් ඉවරයි. වතුර නැතිව දරුවො ගොවිතැන් බත් කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතෙනකොට මැරෙන ටිකටවත් සැනසීමක් නෑ. වැවේ වතුර ටික තියෙනකොට මිනිස්සුන්ට කන්න බොන්න හිඟයක් නෑ. ගොවිතැනක් බතක් කරගත්තා, මාළු ටික අල්ලාගත්තා, පලා ටික, අල, දඬු ඔය කොයිදේත් වැවේ තිබුණා. නිකරුණේ වැවක් ගොඩවෙලා යන්න දෙනවා කියන්නේ ගමක මිනිස්සු මරනවා වගේ පවුකාර වැඩක්. දැන්වත් මේවා ගැන හිතනව නම් ලොකු දෙයක්. ඒත් මේ කරදරෙන් පස්සේ අපේ දේවල් ගැන කතා කරපු මිනිස්සු හොයාගන්නවත් ඉදියිද දන්නෑ. ඒක තමයි අපිට වෙච්ච කරුමේ.”

මේ වැව්වල රොන්මඩ ඉවත්කොට පිළිසකර කර දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ගැමියන් සිදුකොට ඇති ඉල්ලීම් බොහෝය. ගමේ පුරාණ නිල්ගිරි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ඇල්පිටියේ රාහුල හිමියන්ද ඒ සඳහා  කොතෙකුත් වෙහෙසී ඇත. එහෙත් සිදුවූ යහපතක් නොවීමෙන් එහිමියෝද දැන් සියල්ල අතහැර වැඩ වසති. ගමට දායාදකොට පවතින මෙම වැව් සියල්ලම පාහේ පෙර රජ දවස පටන් පැවත එන වග ගැමියන්ගේ විශ්වාසයයි. ඒ වගට දෙස් දෙන සාධක කිහිපයක්ම මේ ගම් මායිමෙන් සොයාගත හැකිව පවතී.

ආරණ්‍ය සේනාසනයට යාබදව ගල්කිරියා කඳු පාමුලට වන්නට පිහිටි ඉපැරණි චෛත්‍යය එයට කදිම නිදසුනකි. කලක් වල් වැදී නටබුන්ව තිබූ මේ සෑය මෑතකදී පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් ප්‍රතිසංස්කරණය වී ඇත. විහාරාධිපති හිමියන්ගේ පැහැදිලි කිරීම වී ඇත්තේ දේවානම්පියතිස්ස රජ දවස ගව්වෙන් ගව්ව චෛත්‍ය බැඳි සමයේ මෙම විහාර කර්මාන්තයද සිදුවන්නට ඇති බවය. එවක පටන් ජනාවාසව පැවත ඇති මේ භූමියේ ඉදිකොට ඇති වැව් අමුණු අද වනතෙක්ම ශේෂ වී ඇති බව ගැමියන්ගේ තදබල විශ්වාසයයි. තවදුරටත් මෙම වැව් මෙලෙසම පැවතියහොත් සහතික ලෙසම ගැමියන්ගේ ජීවනෝපායට එය මරු පහරක් වීම වැළකිය නොහැක්කකි.

වැව් ටික හදා දෙන්නට මේ දිනවල හොඳ පොටක් පෑදී ඇති බව හොඳින්ම පැහැදිලිය. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත. පී.එම්. බණ්ඩාර මැණිකේ මාතාව කුඹුක්කඩවලට දීග ආ දා පටන් මෙහි වෙල් ලියැදිවල, හේන් කනතුවල හොඳින් පදම්ව ඇත. ඇය පැවසුවේ වැව් ගොඩ වූ හෙයින් ගොවිතැන්බත් කළ සමහරක් ගමෙන් පිට ජීවිත සොයා ගිය බවය.

“වැව්වල වතුර නැතිව ගමේ ඉඳලා මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ. පහුගිය කාලේ කොල්ලො, කෙල්ලො මොනවහරි හොයාගෙන ගමෙන් පිට ගියා. වතුර නැතිව ගමේ ඉඳලා මොනව කරන්නද. ඉස්සර අපි ගොවිතැන්බත් කරලා හරිහම්බ කරගෙන මුළු පවුලම එකට හිටියා. ඒත් ඒ සැනසීම දැන් නෑ. වැව් ටිකවත් හදලා දෙනව නම් දරුවන්ට ඉස්සරහට සැනසිල්ලේ ඉන්ඩ පුළුවන් වෙයි. ඔය පිටරටවල්වල ක්‍රමේට ජීවත්වෙන්න ගිහිල්ලා තමයි අපිට මේ හැම විනාශයක්ම. නීති දාලා හැමදේම නවත්තන්න බෑ. ඒ දේවල් අපේ සිරිත්විරිත්වලින් නිකම්ම කෙරුණා. එක අතකින් අපේ සිරිත්විරිත් දන්නවා නම් රටේ ලේ නහර වගේ තියෙන වැව් ටික මෙහෙම විනාශ වෙන්න අරින් නෑනේ.”

ගම වටකොට ඇති අක්කර 250ක් තරම් වන කුඹුරු ඉඩම් අස්වද්දන්නට මේ ගැමියන්ට අවැසිව ඇත්තේ වතුරය. පවුල් 350ක 1500කට වැඩි පිරිසක් ගමේ ජීවත් වෙති. ගම්මැද්දෙන් පොල්පිතිගම දක්වා ඇති මාර්ගය වසර දෙකකට මත්තෙන් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය වී ඇත. එහෙත් වැව් ටික හැදෙනතුරු වෙන කවරක් කළත් මේ ජීවිත සුවපත් නොවන බව නොඅනුමානය.



Recommended Articles