‘‘මම එදා කියපු දේ ඇහුවෙ නැති නිසා අවාසනාවට වගේ අද එජාපයම එය භුක්ති විඳිනවා


එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා යළිත් දේශපාලනයට අවතීර්ණ වීමට නියමිත බව පැවසෙයි. ඒ සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔහු සමග කළ සංවාද සටහනකි මේ.


Tissa

වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ඔබේ අදහස?

අද රටේ දේශපාලනය අවුල් සහගත තත්ත්වයක් තියෙන්නේ. හේතුව ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. මිනිස්සු බලාපොරොත්තු වුණ විදියට ඒ ප්‍රශ්න විසඳන්න අසමත් වීම හා දේශපාලන බෙදීම විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මේවා විසඳාගැනීමට ස්ථාවර දේශපාලන පදනමක් ඕන. ස්ථාවර දේශපාලන පදනමක් ඇති නොවෙන තාක්කල් රට අස්ථාවරයි. 

ඔබ එජාපයෙන් ඉවත් වීමත් සමග දේශපාලන වශයෙන් යම් අතරමං වීමක් සිදුව තිබෙනවා නේද?

ඇත්තටම මම එජාපයේ ක්‍රියාකාරී වැඩවලින් පමණයි අයින් වුණේ. ජනාධිපතිවරණයේදී මගේ මූලික කාරණාව වුණේ එජාපයෙන් අපේක්ෂකයෙක් ආ යුතුයි කියලා. ඒකට තමයි මම සටන් කළේ. පක්ෂය ඇතුළෙ සංවිධානය කළේ. අවාසනාවට වගේ මගේ යෝජනාව පිළිගත්තෙ නැහැ. ඒ පොදු අපේක්ෂකයෙක් ගේන්න කල්පනා කරපු නිසා. මම එදා කියපු දේ ඇහුවෙ නැති නිසා අවාසනාවට වගේ අද එජාපයම එය භුක්ති විඳිනවා. 

එතකොට ඔබ දේශපාලන වශයෙන් කිසිදු අතරමං වීමක් සිදු වෙලා නැහැ?

මට අවස්ථාව ලැබුණා නව දේශපාලන ගමනක් යන්න. මම වසර 30ක් එජාප දේශපාලනයේ ක්‍රියාකාරීව හිටියේ. පහුගිය කාලෙ පොඩි විරාමයක මම හිටියේ. එය ඔබ වැරදි ලෙස අර්ථ දක්වන්න එපා. හොඳ නිවාඩුවක්, හොඳ අත්දැකීමක්, හොඳ අවබෝධයක් ලබාගන්න හැකි වුණා. ඉදිරි ජනාධිපතිවරණයත් සමග යළි දේශපාලනය ගමන ආරම්භ කරනවා. 

එජාපයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් පසුගිය කාලයේ සිදුකෙරුණා. ඒ ගැන මොකද හිතන්නේ?

නිසි ප්‍රතිසංවිධානයක් වුණා කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. දැන් බලන්න පාක්ෂිකයන්ගේ පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ඒ අය අවුරුදු 20ක් පමණ දේශපාලන වශයෙන් පසුබැහැලා හිටියේ, නොයෙක් තාඩන පීඩනවලට ලක්වුණා, දේශපාලන පළිගැනීම්වලට පවා ලක්වුණා. ඒත් කිසිවෙකුටත් සාධාරණයක් මේ වනතෙක් ලැබිලා නැහැ. මේ නිසා පිරිස් පක්ෂයෙන් ඈත්වෙන තත්ත්වයක් තියෙන්නෙ. නිකම් මේ පුද්ගලයො දෙන්නෙක් එහෙට මෙහෙට දාලා කරලා නෙමෙයි, රටට හඳුන්වලා දෙන්න පුළුවන් වෙනසක් ඇති කරන්න ඕන.

එතකොට ඔබ පවසන්නේ එජාපය බිමි මටිටමින් බිඳ වැටී ඇති බවද?

සම්පූර්ණයෙන් ඔව්, පසුගිය කාලයේ පක්ෂයේ සංවිධාන කටයුතුවලට සම්බන්ධ වුණ පිරිසක් ඉන්නවා, ජනාධිපතිවරණයේදී සම්බන්ධ වුණ අපේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්, සංවිධායකවරු, සමිති නිලධාරීන්, ඡන්ද පොළ සාමාජිකයන්, සන්නිවේදන බළකාය, වෘත්තීය සමිති, කාන්තා හා තරුණ සංවිධාන වගේ ලොකු සංවිධානයක් එජාපය කියන්නේ. නමුත් අවාසනාවට වගේ ඒ පිරිස් දිහා බලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා පක්ෂයේ සංවිධාන සියල්ල බිඳවැටිලා තියෙන්නේ. යළි ගොඩගැනීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකළ යුතුයි.

පක්ෂ නායකත්වය ගැන ඔබේ අදහස තවමත් එහෙමමද?

එක්සත් ජාතික පක්ෂයට ඕන අලුත් දේශපාලන දර්ශනයක්, ඒ වගේම අලුත් වැඩපිළිවෙළක්. ඒකට පරණ මුහුණක් දාගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසා නායකත්වයේ වෙනසක් ඇති විය යුතුයි කියලා මම පසුගිය කාලයේම කිව්වා. අදත් මම ඒම ස්ථාවරයේමයි ඉන්නේ. පක්ෂය යළි ජයග්‍රහණය කරන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕන කියන එකයි මම සෑහෙන්න කාලයක සිටන් කියන්නේ. අලුත් නායකත්වයක් පක්ෂයට ඕන. අලුත් ප්‍රතිපත්තියක් පක්ෂයට ඕන, මිනිස්සුන්ට ආයේ නැගිටින්න පුළුවන් ජවයක් ඕන. එය ලැබෙන්නෙ නැත්නම් කවුරු එකතු වුණත්, කවුරු එහෙට මෙහෙට දැම්මත් වැඩක් නැහැ. ඒ වෙනස ඇති නොකර පක්ෂයට ඉදිරියට යා නොහැකියි. 

නමුත් එජාප මහලේකම්වරයා පසුගියදා පවසා තිබුණා 2020 එජාප ජනාධිපති අපේක්ෂකයාත් රනිල් වික්‍රමසිංහ මහතාම බව?

එජාපය නිල වශයෙන් තවම ප්‍රකාශ කරලා නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කියලා, එක එක්කෙනා එක එක තැන්වල කියන කතා විතරයි තාම තියෙන්නේ. එය තීරණය වෙන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී. ඒ වගේම මිනිස්සු බලාපොරොත්තු වෙනවා වෙනසක්, ඒ වෙනස ඇති කරන්න නම් මුහුණට මුහුණ සටනකට එන්න පුළුවන් කණ්ඩායමකට මෙය බාරදිය යුතුයි. එසේ නොකරනවා නම් ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධව බලාපොරොත්තු තියන්න අමාරුයි. 

ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ගෝඨභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇති බවට මත පළ වෙනවා?

එම පක්ෂයේ බොහෝ දෙනෙකුගේ නම් කියවෙනවා. ගෝඨාභය මහත්තයාගේ නමත් කියැවෙනවා. ඒ වගේම පොළොන්නරුව පැත්තේ ව්‍යාපාරිකයෙකුගේ නමත් යෝජනා වී තිබෙනවා. මම කිසිම පුද්ගලයෙක් නරකයි කියන්නෙ නැහැ. ජනතාවට පිළිගන්න පුළුවන් නායකත්වයක් රටට ඕන. අත්දැකීම් දිහා බැලුවම පේනවා රටට හරි තීරණ ගන්න පුළුවන් නායකයෙක් ඕන කියලා.

2020 ජනාධිපතිවරණයේදී ඔබ සහයෝගය දක්වන්නේ කුමන පක්ෂයටද?

එය තීරණය වෙන්නෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයා මත. මම දන්නෙ නැහැ එය කුමන පක්ෂයකද කියලා. ඒක දැන්ම කියන්න බැහැ. රටේ අද පාලනය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ලොකු ප්‍රසාදයක් මහජනතාවට නැහැ. රටට ඍජු තීරණ ගන්න පුළුවන් නායකත්වයක අවශ්‍යතාව තියෙනවා. ඒ දිහා බලලා තීරණයකට එළඹෙන්න පුළුවන්.

ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීම සම්බන්ධව විවිධ අදහස් පළවෙනවා නේද?

ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීම සම්බන්ධව කතා කළොත් අධිකරණය ලබාදුන් තීන්දුවේ ගැටලුවක් තියෙනවා. නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරන්න ගියපු වෙලාවේ තමයි මෙම සිදුවීම වෙලා තිබුණෙ. එක් පැත්තකින් එම සිදුවීම කනගාටුදායක තත්ත්වයක්. බැණ වැදීමකට එවැනි තීරණයකට එළඹීම මං හිතන්නෑ සුදුසුයි කියලා. එම ස්වාමීන් වහන්සේ රටට මත ඉදිරිපත් කිරීමේදී ප්‍රශ්න තියෙනවා. හැබැයි උන්වහන්සේ කියන කාරණාවල යථාර්ථයක් තියෙනවා. ස්වාමින් වහන්සේ නමකට මෙවැනි දඬුවමක් නියම කිරීම උචිත නැහැ. මෙය සමථ මණ්ඩලය පැත්තෙන් නිමා කරන්න තිබුණ දෙයක් වැරදි පැත්තකට යොමුවුණා කියලයි  මම දකින්නේ.   

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ නම් ඇති බවට මත පළවෙනවා නේද?

එය වහා සොයා බැලිය යුතු කාරණයක්. විශේෂයෙන්ම මුදල් ලබාගැනීම ගැන රටම කතා කරනවා. එය ආන්දෝලනාත්මක සිද්ධියක්. ඉතින් එකෙන් වෙච්ච පාඩුව අති විශාලයි. අදටත් අපට දරාගන්න අමාරුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි ව්‍යාපාරිකයෙකුගේ මුදල් අරන් මැතිවරණ ව්‍යාපාරය කරලා තියෙනවා නම් එය නරක පූර්වාදර්ශයක්. එවැනි කාරණා සම්බන්ධව හෙළි කරන්න ඕන. පාර්ලිමේන්තුවට සහ රජයට වගකීමක් තියෙනවා එය රටට හෙළි කරලා නිසි දඬුවම් ලබාදෙන්න.

නමුත් එජාපයේ ඉහළ තැන්වලින් එම පරීක්ෂණවලට බලපෑම් සිදුව තිබෙන බවට වාර්තා වෙනවා?

ඒක ඉතාම භයානක තත්ත්වයක්, මහජන මුදල් වංචා කරපු අය ගැනයි මේ කතා වෙන්නේ. මහජනතාව හොරු කියලා ලේබල් එක ගැහුවට පස්සේ එතනට එන නායකත්වය අවංක වෙන්න ඕන. ඒ ගැන පරීක්ෂණ විනිවිදභාවයකින් තියෙන්න ඕන. නැතුව පරීක්ෂණවලට බාධා කරන එක නෙමෙයි යුතුකම. ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වලා ඒ අයට දඬුවමි ලබාදෙන්න ඕන. මගඅරින්න මගඅරින්න ජනතාව සැකය වැඩි කරගන්නවා.

 



Recommended Articles