‍‍සතිය ඔබට කොහොමද? මාර්තු 08- සඳුදා සිට 14 ඉරිදා දක්වා


‍‍සතිය ඔබට කොහොමද? (මාර්තු 08- සඳුදා සිට 14 ඉරිදා දක්වා)

මේ සතියේ  ධනය, දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවනජතම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබගේ ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතුවලට පවා සුළු වශයෙන් හෝ ප්‍රසිද්ධියක් ලැබෙනු ඇත. එසේම බලවත් අය ඇසුරට ඉඩකඩ ලැබේ. කාර්යයන් සාර්ථක වන සතියකි. නිෂ්ප්‍රයෝජන වියදම් විටින් විට ගෙන දුන්නත්, තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිල මුදල් ලාභ ලැබෙනු ඇත. රාජකාරිය මුල්කොට ගෙන සහජ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසීමෙන් කීර්ති ප්‍රශංසාවක් ලැබෙනු ඇත. රාජකාරී දැනුම දියුණු කර ගැනීමටත් මාර්ගයක් සැකසේ. බොහෝදෙනා ආශ්‍රය කරමින් කරන ව්‍යාපාරික කටයුතුවලින් වැඩි ප්‍රතිඵල හා ඉදිරියට යෑමක් ඇති වේ. නැතහොත් එවැනි දෙයකට සම්බන්ධ වීමට වුව ඉඩ ලැබේ. යම් යම් අධ්‍යාපනික වරප්‍රසාද ලැබේ. වෘත්තීය පාඨමාලාදී කටයුතුවල ජයග්‍රහණයන්ද ගෙනදේ. සංචාරක විනෝද ගමන්, ප්‍රියසම්භාෂණයක් වැනි දෙයක් හේතුකොට ගෙන හෝ සිදුවන හදිසි හමුවක් මගින් නව ආදර සබඳතාවක් ඇති වේ. පොදුවේ මෙවැනි ලග්නයකින් උපන්  ඔබගේ විවාහ යෝජනා ස්ථිර තහවුරු වන තැනට කටයුතු සිදු වේ.

2. මෙම සතියේ  තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම, ඊට සම්බන්ධ අරමුණු සැලසුම් ගමන්බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න වනුයේ සිංහ, මකර, මීන වැනි ලග්නයන්ය.

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතිය තුළ අධ්‍යාපනයට අදාළ කටයුතු කල් දැමීමටත්, නොසලකා හැරීමටත් පෙළඹෙන නිසා ඊට නතු නොවන්න. ඔබට ගුරුවරු වැඩිහිටියන්ගෙන් අපවාද චෝදනාවක් එල්ලවන ආකාරයේ යමක් සිදුවේ. එබැවින් ඉගෙනීමට පරිබාහිර දේ නොකරන්න. අධ්‍යාපන ආයතනය තුළ අනුන්ගේ රහස් රැකීමට යෑමෙන් ගුරු දෙගුරුන්ගේ චෝදනාවලට ලක්වේ. අධ්‍යාපනයට අදාළව පටන් ගත් දෑ අතරමග නතර කර නොගන්න.

3. මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්‍රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන, පැනනගින  ලග්න වනුයේ මිථුන, කටක , කුම්භ, මීන වැනි ලග්නයන්ය.     

එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතියේදී යුග දිවියේ හා ප්‍රේම දිවියේ ගැටලු වැඩි වශයෙන් ඇති නොවුණද, එහි සාමයට බාධා ඇතිවිය හැකි සුළු සුළු සිද්ධීන් ඇතිවේ. විවාහ යෝජනාවක් වෙනස් වී යාමට වුව ඉඩ තිබේ. පහසුවෙන් ආදර සබඳතා දැනහැඳිනුම් වැනි දෑ ගොඩනැගුණත්, පවතින ආදර සබඳතාවලට හා යුග දිවියේ ඇතැම් කටයුතු වලට වැඩිහිටි පාර්ශ්වයෙන් විරුද්ධකම් හා බාධාකිරීම් වැනි දෑ ඇතිවන්නේය. ඒ කෙරේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළයුතු සතියකි. ගැටලු ප්‍රශ්න අවම කරගෙන සිය දෛනික කාර්යය කටයුතු වල නිරත වන්න. ඇතැම් විට මිත්‍රයන් සමග හෝ ඥාතීන් සමගද ආරවුල් මතුවන දෑ සිදුවේ. දෛනික කාර්යය කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. උන්හිටි ගමන් පැනනගින අහිතකර බලපෑම් නිසා මූලික බලාපොරොත්තු බිඳ වැටීමට ලක්වේ. වගකීමකින් තොර ක්‍රියාමාර්ග වලට යොමු වීමත් ජීවන සිද්ධීන් තුළින් මතුවිය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න.

බෙන්තොට-හේමන්ත



Recommended Articles