පොලිස් නිලධාරීන්ට වෘත්තීයමය ගැටලුවක් ඇති වුවහොත් එය විසඳාගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නැත. මේ නිසා වෘත්තීයමය ගැටලුවක් පැමිණි විට එය විසඳාගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදයයි. මේ වනවිට පොලිස් නිලධාරීන්ට ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුව ඇතැයි පවසමින් ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදය විවිධ ක්‍රියාමාර්ග දියත් කරමින් තිබෙන අතර, ඉදිරියේදී යම් යම් ක්‍රියාමාර්ග සැලසුම් කර තිබේ. මේ පිළිබඳ %අද^ ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදයේ ලේකම් වෙදගේ ප්‍රසාද් මහතා සමග කතාබහක නිරත විය.
සංයුක්ත දීමනා
පොලිස් නිලධාරීන්ට පහසුකම් ලබාදීම යටතේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සංයුක්ත දීමනාව ඉහළ දැම්මා. මේ අනුව පොලිස් කොට්ඨාස කිහිපයකට මුලින් ඉහළ දැමූ දීමනාව ලබාදුන්නා. ඒත් මුදල් නොමැති බව සඳහන් කරමින් ඉහළ දැමූ දීමනාව නවතා දැම්මා. මේ පිළිබඳ අප සංගමය දිගින් දිගටම බලධාරීන් සමග සාකච්ඡා කළා. මෙම සාකච්ඡාවලට අනුව පසුගිය අගෝස්තු මාසයේදී මාසයකට දින විසි හතරක් සඳහා ලබාදීමට තීරණය කර තිබූ සංයුක්ත දීමනාව දිනදාහතරකට අඩු කිරීමට කටයුතු කළා. ඒ පිළිබඳ අප සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළා. ඉන්පසුව සංයුක්ත දීමනාව ලබාදෙන දින ගණන ඉහළ දැමූ බවට මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. එහෙම කියලා දින 20කට සංයුක්ත දීමනාව ගෙවනවා කියලා ප්‍රකාශයට පත් කළා. ඒත් ඊට අදාළ මුදල් වෙන් කිරීමක් සිදුකළේ නැහැ. ඉහළ දැමූ දීමනාව ලබාදෙන දිනයක් ගැන ප්‍රකාශයට පත් කළේ නැහැ.
නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේදී මියගිය හා ආබාධිත වූ පොලිස් විරුවන්ගේ ගැටලුව
මේකත් බරපතළ ගැටලුවක්. නීතිය හා සාමය සුරක්ෂිත කරන්න ගිහිල්ලා සැලකිය යුතු පිරිසක් මිය ගිහින් තියෙනවා. තවත් පිරිසක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ අයට වැටුපෙන් කොටසක් ලෙස විශ්‍රාම වැටුපත් ලැබෙනවා. හැබැයි ඒ මුදල ප්‍රමාණවත් නැහැ මියගිය නිලධාරීන්ගේ පවුල්වලට හෝ ආබාධිත පොලිස් නිලධාරීන්ට. වෙන ආදායම් නැහැ. ඒක නිසා අප සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට ගිහින් ආබාධිත වූ නිලධාරීන්ට හා මියගිය පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන්ට වැටුපයි විශ්‍රාම වැටුප දෙකම ජීවිත කාලයටම දෙන්න කියලා. මොකද යුද්ධය නිසා මියගිය හා ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට අදාළ වරප්‍රසාදය හිමි වෙනවා.
ගැටලුව විසඳාගැනීමට ක්‍රියාමාර්ග ගැනීම
සංයුක්ත දීමනා ගැටලුව හා ආබාධිත හා දිවිපිදූ පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳාගැනීම සඳහා මෙතෙක් පැවැත්වූ සියලුම සාකච්ඡා අසාර්ථක වුණා. ඒත් ගැටලු විසඳාගැනීමට පොලිස් නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒ නිසා පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳාගැනීමට පසුගිය 21 වැනිදා සිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩව සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කරන්න සැලසුම් කළා.
ඒත් මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තිබෙන නිසා එවැනි ක්‍රියාවක් සිදු නොකරන ලෙසට පොලිස් නිලධාරීන් දැනුම් දුන්නා. මේ නිසා එම ස්ථානයේ විරෝධතා බැනර් ප්‍රදර්ශනය කර විරෝධතාවක් දැක්වුවා. ඉදිරි දිනවලදී ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් නොවැම්බර් 16 වැනිදායින් පසු සැලසුම් කළ ආකාරයට සත්‍යග්‍රහය ආරම්භ කරන්න වෙනවා. අපි හිතනවා මෙම ගැටලුවලට බලධාරීන් කඩිනමින් විසඳුම් ලබාදේවි කියලා.
පොලිස් නිලධාරීන්ගේ සේවා කාලය
පොලිස් නිලධාරීන් පැය 24 පුරාම සතියේ දින හත පුරාම සේවයට බැඳලා ඉන්නවා. රාජකාරි කාලය ගත්තොත් දවසකට පැය දොළහකට (12) වැඩි කාලයක් අනිවාර්යයෙන්ම සේවය කරනවා. සමහර නිලධාරීන් මුළු මාසය පුරාමත් වැඩ කරන අවස්ථා තිබෙනවා. මේ නිසා බොහෝ පොලිස් නිලධාරීන් විවිධ රෝගාබාධවලට ලක්වෙනවා. ඒ නිසා පොලිස් නිලධාරීන්ට දෛනිකව සේවය කළ යුතු සේවා කාලයක් සකස් කරන්න ඕන වගේම නිශ්චිතවම නිවාඩු ලබාදීමටත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.
නිල ඇඳුම වෙනස් කිරීම
පසුගිය කාලයේ එවැනි කතාබහක් ඇතිවුණා. පොලිස් නිලධාරීන් නියෝජනය කරන සංගමයක් ලෙස මෙම යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කළා. එදා ඉඳලා පැවත එන්නේ මේ නිල ඇඳුම. ඒක පොලීසියට ගැළපෙනවා. නිල ඇඳුම වෙනස් කරන්න තීරණය කළේ ඇයිද කියල දන්නෙ නැහැ. ඒත් ඇඟට දැනෙන රස්නය නිසා නිල ඇඳුම වෙනස් කරනවා කියලා කතාබහක් තිබුණා. එහෙම බැලුවම ලංකාවේ විවිධ දේශගුණික තත්ත්වයන් තියෙනවා. ඒක නිසා ප්‍ර‘දේශ වශයෙන් නිල ඇඳුම වෙනස් කරන්න වෙනවා.
නිල ඇඳුම් ලබාදීම
වසරකට නිල ඇඳුම් දෙකක් ලැබෙනවා. වසරේ වැඩි කාලයක් රාජකාරියේ නිරත වන නිසා එය ප්‍රමාණවත් නැහැ. ඒ වගේම දිනකට වැඩි පැය ගණනක් සේවය කිරීම හා වර්ෂා කාලයට රථවාහන රාජකාරි කරන නිලධාරීන්ට ඇඳුම් කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ බලධාරීන් අවධානය යොමුකළ යුතුයි.
ආහාර දීමනාව
එවැනි දීමනාවක් ලැබෙන්නේ නැහැ. මෙවැනි දීමනාවක් පොලිස් නිලධාරීන්ට ලබාදෙන ලෙස අපි අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. මොකද නිවසේ සිට රාජකාරි කිරීමට බොහෝ පොලිස් නිලධාරීන්ට අවස්ථාවක් නැහැ. ඒ නිසා පොලිස් නිලධාරීන්ට ආහාරපාන විශාල මුදලක් ගෙවා මිලදීගන්න වෙනවා. මේ පිළිබඳ සලකා බලා පොලිස් නිලධාරීන්ට ආහාර දීමනාවක් ලැබෙන්න ඕන. සමහර පොලිස් ස්ථාන තියෙනවා සියලුම දෙනා එකට එකතු වෙලා මුදල් යොදවලා ආහාර සකස් කරගන්න.
වැහි කබා
පොලිස් ස්ථානවලින් පිට සේවය කරන පොලිස් නිලධාරීන් සෑම කෙනෙකුටම වැහිකබා අවශ්‍ය වෙනවා. ඒත් තවමත් සෑම කෙනෙකුටම වැහිකබා නැහැ. මේ දිනවල පවතින වර්ෂා තත්ත්වය නිසා වැහිකබා අවශ්‍යතාව විශාල ලෙස දැනෙනවා. ඒ වගේම වියළි කාලගුණයක් තියෙන කාලයට රථවාහන රාජකාරි කටයුතු කරන නිලධාරීන්ට වාහන දුමෙන් හා දූවිලිවලින් ආරක්ෂා වෙන්න නිසි ප්‍රමිතියකින් යුක්ත මුඛ ආවරණ ලබාදිය යුතු වෙනවා. මොකද රථවාහන නිලධාරීන් දීර්ඝ කාලයක් සේවය කරන්නේ මහාමාර්ගවල. මෙම ගැටලු දෙකටත් කඩිනමින් විසඳුම් අවශ්‍ය වෙනවා.
නවාතැන් පහසුකම්
නවාතැන් පහසුකම් ලබාදීම යටතේ තනිකඩ නිවස්න හා විවාහක නිවස්න කියලා නිවාස ලබාදීලා තියෙනවා. මෙම වර්ග දෙක යටතේ ලබාදීලා තියෙන බොහෝ නිවාසවල පහසුකම් නිසි ලෙස නැහැ. තනිකඩ නිවාස කියන කාණ්ඩය යටතේ තියෙන සමහර කාමරවලට නිසි ලෙස වාතාශ්‍රයවත් ලැබෙන්නේ නැහැ. වැසිකිළි පහසුකම් නිසි ලෙස නැහැ. සමහර ස්ථානවල එක කාමරයේ තුන්දෙනා හතර දෙනා ඉන්නවා. සමහර ස්ථානවල ඇඳවල් දෙකයි තියෙන්නේ. ඒකෙ තුන්දෙනෙක් නිදාගන්න ඉන්නවා. මේ පිළිබඳ සොයා බලා නිලධාරීන්ගේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කරන්න ඕන.
සැකකරුවන්ට ආහාර ලබාදීම
පොලිස් ස්ථානයක් තුළ සැකකරුවෙකු රඳවාගෙන ඉන්න කාලය තුළ ඔහුට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ඕන. සැකකරුගේ ඥාතීන් ආහාර ලබාදීමට කටයුතු නොකළහොත් සැකකරුට පොලිස් ස්ථානයෙන් ආහාර ලබාදෙන්න ඕන. ඒ වෙනුවෙන් රජයෙන් මුදලක් වෙන් වෙන්නේ නැහැ. පොලිස් නිලධාරීන්ගේ වැරදි ගැන සෑමවිටම කතා කරන කිසිවෙකුත් මේ පිළිබඳ කතා කරන්නේ නැහැ.
උපසේවා ගැටලුව
යුද සමය පැවැති කාලයේදී උපසේවාව ඇති කළා. මේ සඳහා බඳවාගැනීමේදී පොලිස් සේවයට බඳවාගන්න සුදුසුකම් මත තමයි සිදු කරලා තිබුණේ. මේ අනුව උප සේවාවේ අය පොලිස් ස්ථිර සේවයට 2006 වසරේදී ඇතුළත් කළා. ඔවුන්ගේ වැටුප් සකස් කිරීම සේවයට බැඳුණු දා ඉඳලා සලකා බලා සිදු කරනවා. ඒත් උසස්වීම් ලබාදීමේදී ගණනය කරන්නේ 2006 වසර. ඒ නිසා සැලකිය යුතු පිරිසකට අසාධාරණයක් වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස කියනවා නම් පොලිස් සේවයට හා උප සේවයට එකම දිනයේ බැඳුණු නිලධාරියෙකුට උසස්වීම් ලබාදිය යුත්තේ එකම ක්‍රම‘වේදයකට. එහෙම නැති වුණොත් එක් නිලධාරියෙකුට අසාධාරණයක් සිදු වෙනවා.
උසස්වීම් ගැටලුව
පහළ පොලිස් නිලධාරීන්ට දීර්ඝ කාලයක් තිස්සේ උසස්වීම් ලබාදුන්නේ නැහැ. මේ නිසා සමහර නිලධාරීන් උසස්වීම් නොලබාම විශ්‍රාම ගියා. මෙම ගැටලුව බලධාරීන්ට පෙන්වාදුන් පසු 31,500කට එකවර උසස්වීම් ලබාදෙන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළා. ඒත් එකවර උසස්වීම් ලබාදෙන්න මුදල් නොමැති බව පවසමින් අදියර තුනක් යටතේ උසස්වීම් ලබාදෙන්න මුදල් අමාත්‍යාංශය තීරණය කළා. අදියර තුනක් යටතේ උසස්වීම් ලබාදුන්නත් උසස්වීමට අදාළ ලිපිගොනු එකවර සකස් කරන්න තීරණය කරලා තිබුණේ. මොකද කාලයක් ගතවනවිට මෙම තීරණය වෙනස් වුණොත් පොලිස් නිලධාරීන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවන නිසා. ඒත් පළමු අදියරේ කියලා මේ වසරේ ජනවාරි පළමු වැනිදින සිට බලපැවැත්වෙන ලෙසට 5800කට පමණක් උසස්වීම් ලබාදෙන්න ලිපිගොනු සකස් කරලා, අනිත් ලිපිගොනු සකස් කිරීම නවත්වලා තියෙන්නේ. අදියර තුනක් යටතේ උසස්වීම් ලබාදෙන තීරණය අනුව ලබන වසරේ ජනවාරි 01 සහ 2021 ජනවාරි 01 වැනි දිනවල උසස්වීම් ලබාදීමට නියමිතව තියෙනවා.