මිෂෙල් ෆූකෝ යනු ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතුන් අතරට නිතැතින්ම එක් වන්නෙකි. ප්‍රංශ ජාතිකයෙකු වන මිෂෙල් ෆූකෝ 1926 වසරේ උපත ලබන අතර, මිය යන්නේ 1984 වසරේදීය. මරණයට හේතුව ඒඩ්ස් රෝගයයි. ඒඩ්ස් රෝගයෙන් මියගිය පළමු ප්‍රසිද්ධ ප්‍රංශ ජාතිකයා වන්නේද ෆූකෝය.
ෆූකෝ දාර්ශනික කතිකාව තුළ ඉතා වැදගත් පුද්ගලයෙකු වන්නේ ලෝකය කියවීම සඳහා ලබා දුන් නැවුම් ප්‍රවේශය හේතුවෙනි. ඔහු අදහස් සම්බන්ධයෙන් ඉතිහාසයට (history of ideas) ලබා දුන් සම්ප්‍රදානය ඉන් පෙර නොවූ යමකි. ෆූකෝ ප්‍රධාන වශයෙන් සිය කතිකාව තුළ අවධානය යොමු කළේ බලය සහ දැනුම සම්බන්ධයෙනි. සමාජ ආයතන ඔස්සේ සමාජය පාලනය කිරීම උදෙසා බලය හා දැනුම කෙසේ භාවිත කරන්නේ ද යන්න පිළිබඳ ඔහු විශ්ලේෂණාත්මක විග්‍රහයක නිරත විය.
ෆූකෝ යුරෝපයේ නූතනවාදයට එරෙහි දැඩි විවේචනයක නිරත විය. විශේෂයෙන් වික්ටෝරියානු රැජිනගේ නායකත්වය මැද ගොඩනැගුණු වික්ටෝරියානු සදාචාරය පිළිකෙව් කළේය. නූතනවාදී ව්‍යාපෘතිය විසංයෝජනය කිරීම උදෙසා ගත් උත්සාහය හේතුවෙන්ම බොහෝ විචාරකයන් ෆූකෝ දුටුවේ පශ්චාත් නූතනවාදියෙකු හෝ පශ්චාත් ව්‍යූහවාදියෙකු ලෙසය. %The History of Madness, The Birth of the Clinic, The Archaeology of Knowledge, The History of Sexuality, Discipline and Punish, The Order of Things^ ආදී කෘති ඔහු විසින් රචනා කරන ලද විශිෂ්ටතම කෘති ලෙස සලකනු ලැබේ. ෆූකෝ න්‍යායගත කළ කරුණක් නම් බලය යනු සෑම තැනකම ඇති දෙයක් බවයි. විශේෂයෙන් මිනිසුන් විසින් ගොඩනගන ලද මුළුමහත් ශිෂ්ටාචාරය පුරා ඇත්තේ බලසම්බන්ධතා පද්ධතියකි. බලය සම්බන්ධයෙන් තමන්ට පෙර දාර්ශනිකයන් පිළිගත් මතයට සපුරා වෙනස් ආකාරයක අර්ථ විග්‍රහයක් ෆූකෝ විසින් ගෙන එන ලදී. බලය හැම තැනම ඇතැයි ෆූකෝ කියන අදහස තුළම බලය විසිරී ඇත (diffused) යන්න විශද කෙරේ. ඔහුට පෙර දාර්ශනිකයන්ගේ පිළිගැනීම වූයේ බලය යනු යම් කැටි ගැසුණු දෙයක් (concentrated and embodied) ලෙසය. එසේත් නැත්නම් සීමිත පිරිසක් අත පමණක් ඇති දෙයක් ලෙසය.
බලය යනු කිසියම් ඒජන්තයෙකු හෝ කිසියම් ව්‍යූහයක් මගින් පමණක් ක්‍රියාත්මක කරමින් තිබෙන්නක් නොවන බව ෆූකෝ පැහැදිලි කළේය. බලය යන්න සමාජය තුළ දැනුම, විද්‍යාත්මක අවබෝධය, සත්‍යය ආදිය ඔස්සේ ස්ථාපිත වන ආකාරය ෆූකෝ තහවුරු කළේය. විද්‍යාත්මක පැහැදිලි කිරීම් සඳහා සමාජය තුළ අධිපති පිළිගැනීමක් පවතී. අපි මෙසේ සිතමු. පාරම්පරික වෛද්‍ය ක්‍රමයක ඇති ප්‍රතිකර්මයකින් රෝගයක් සුවපත් වුවද, එය විද්‍යාත්මක වශයෙන් පැහැදිලි කිරීමට නොහැකි වෙයි. එහිදී විද්‍යාත්මක ලෙස පැහැදිලි කෙරෙන දේ පමණක් උත්කර්ෂයට නැගෙන අතර ප්‍රායෝගික සත්‍යයක් වුවද, විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීමට නොහැකි දේ අවතක්සේරු කිරීම සිදු වෙයි. දැනුම පිටුපස ක්‍රියාත්මක වන සියුම් බලය ෆූකෝ හෙළිදරව් කරන්නේ සමාජයේ සෑම ක්‍රියාවක් පිටුපසම බලය ව්‍යාප්ත වී ඇති බව අවධාරණය කරමිනි. ඔහුට අනුව බලය සම්බන්ධ වූ දැනුම සහ අධිපතිවාදී මතවාදය ස්ථාපනය කිරීම උදෙසා මාධ්‍ය, පාසල්, ආගමික ආයතන ආදිය සිදු කරනුයේ විශාල කාර්යයකි.