ෆ්‍රෙන්ච් ප්‍රෙස් ක්‍රමයට කෝපි කෝප්පයක් සාදා ගනිමු


අප රටේ ප්‍රධාන වශයෙන්ම බොහෝ දෙනෙකු පානය කරන්නේ, තේ වුවත්, කෝපි සඳහා ඇති තැනද පහසුවෙන් ඉවතලිය නොහැකිය. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු කෝපි එකක් සාදා ගැනීමේදී නියම කෝපි රසයෙන් යුතු කෝපි කෝප්පයක් සාදාගන්නේද යන්න ගැටලුවකි. නියම කෝපි රසයෙන් යුතු කෝපි කෝප්පයක් සාදා ගැනීමට විවිධ ක්‍රම පවතින අතර, ෆ්‍රෙන්ච් ප්‍රෙස් යනු ඉන් එක් ක්‍රමයකි.

මේ ආකාරයට කෝපි සෑදීම සඳහා ඔබ මුලින්ම ෆ්‍රෙන්ච් ප්‍රෙස් යනුවෙන් හැඳින්වෙන උපකරණයක් මිලදීගත යුතු වේ. ඔබට රුපියල් 1,500 සිට ඉහළට ෆ්‍රෙන්ච් ප්‍රෙස් උපකරණයක් මිලදීගත හැකිය.

ෆ්‍රෙන්ච් ප්‍රෙස් ක්‍රමයට කෝපි කෝප්පයක් සාදා ගැනීම සඳහා මුලින්ම වතුර උතුරුවා ගන්න. දැන් උතුරන වතුර එක නිවා, ෆ්‍රෙන්ච් ප්‍රෙස් එකට කෝපි තේ හැඳි 4ක් පමණ දමන්න. දැන් ඒ මතට උණුසුම් ජලය වත් කර ගන්න. ෆ්‍රෙන්ච් ප්‍රෙස් එකේ ඉහළ සලකුණු කර ඇති මට්ටමට පමණ එනතුරු ජලය එකතු කර, හොඳින් හැන්දකින් ජලය සහ කෝපි කුඩු මිශ්‍ර කර ගන්න. දැන් ප්ලන්ජරයක් සහිතව එන ෆ්‍රෙන්ච් ප්‍රෙස් උපකරණයේ හිස කොටස සවි කර, මිනිත්තු 3-4ක් පමණ කෝපි උණුසුම් ජලයේ හොඳින් පැසවන්නට ඉඩ දෙන්න. ඔබට වඩාත් තද කෝපි රසක් අවශ්‍ය නම්, අමතර මිනිත්තුවක් පමණ එය තැබිය හැකිය. 

දැන් සුමට ලෙසින් ප්ලන්ජරය ෆ්‍රෙන්ච් ප්‍රෙස් උපකරණයේ පතුල දක්වාම ඔබන්න. ඉන්පසුව ෆ්‍රෙන්ච් ප්‍රෙස් එකෙන් කෝප්පයට කෝපි අවශ්‍ය පමණ වත් කර ගන්න. දැන් රස අනුව සීනි යොදාගෙන හෝ සීනි නැතිව ඔබේ කෝපි එක පානය කළ හැකිය. 



Recommended Articles