ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ප්‍රමාද වූයේ ඇයි?


සෑම පැය දෙකකට වරක්ම ලංකාව තුළ දරුවෙක් ළමා අපයෝජනයකට ලක්වන අතර, පසුගිය කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබිණ. පසුගිය දිනෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද පවසා සිටියේ පසුගිය කාලය පුරාවටම ළමා අපයෝජන සම්බන්ධයෙන් පොලීසියට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බැවින් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. මේ අතර ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර තිබුණද එය තවමත් ක්‍රියාත්මක නොවීම පිළිබඳව පසුගියදා කෝප් කමිටු රැස්වීමේදී අවධානයට ලක්විය.

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ 14 (අ) වගන්තිය ප්‍රකාරව 'ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්' (National Policy on Child Protection) සම්පාදනය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත බලය පවරා තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන 'ළමා ආරක්ෂක ජාතික ප්‍රතිපත්තියක්' ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12වෙනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී  ළමා ආරක්ෂක අධිකාරිය අයත් වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. මෙහිදී ළමා ආරක්ෂක අධිකාරිය විසින් පැහැර හැර තිබූ කටයුතු රැසක් පිළිබඳව අවධානය යොමු විය.

ළමා  අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1998දී පිහිටුවා ඇතත්, වසර 21ක් මුළුල්ලේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පමා වී තිබීම මහත් කණගාටුවකි. එබැවින් මේ වන විට සකස්කොට ඇති %ජාතික ප්‍රතිපත්තිය^ සඳහා අනුමැතිය ලැබී ඇති බැවින්, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද මෙහිදී කමිටුව අවධාරණය කරන ලදී.

එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 2016, 2017, 2018 සහ 2019 වසරවලට අදාළ වාර්ෂික වාර්තා කිසිවක් පාර්ලිමේන්තුවට මේ වන තෙක් ඉදිරිපත් කර නොමැති බවද කෝප් කමිටු රැස්වීමේදී අණාවරණය විය. ඒ පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කළ කෝප් කමිටු සභාපතිවරයා වහාම මේ පිළිබඳව සොයා බලා අදාළ වාර්ෂික වාර්තා මාස 2ක් ඇතුළත අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුවට ලැබීමට සලස්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබා දුනි.

ළමා අපයෝජන වැළැක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස %පාසල් සිසුන් ප්‍රවාහන සේවය^ විධිමත් කිරීම සඳහා නෛතික රාමුවක් සකස් කිරීමත්, නියාමනයත් හඳුනාගෙන තිබුණද එය මේ වන තෙක් ඉටුනොවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ සඳහා අවශ්‍ය ප්‍රමිතීන් සකස් කර ඇති බවත්, නියාමනය අධිකාරිය විසින් සිදුකිරීමට සේවක පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කළයුතු බවත් අධිකාරියේ සභාපතිවරයා එහිදී පැවසීය. දැනට අලුතින් පත්වීම් ලද උපාධිධාරීන්ගේ සුදුසුකම් අනුව ඔවුන් සේවයේ යොදවාගෙන මෙම වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස මෙහිදී කමිටුව විසින් උපදෙස් ලබාදුනි.

තවද ළමා අපයෝජන සම්බන්ධ නඩු සඳහා ගතවන කාලය පිළිබඳවද කෝප් කමිටුවේදී සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් ළමා අපයෝජන සඳහා ගතවන කාලය ඉතා දීර්ඝ වීම නිසා බොහෝ අපහසුතාවලට වින්දිතයන්ට මුහුණ දීමට සිදුවන බවත්, අපයෝජනයන්ට ගොදුරු වූ ළමුන් වැඩිහිටියන් බවට පත්වීමට පෙර එම නඩු විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිද එම කෝප් කමිටු රැස්වීමේදී අවධානය යොමු විය.

තවද ළමා අපයෝජන වැළැක්වීම සඳහා %පාසල් ළමා ආරක්ෂක කමිටු^ 3165ක් පිහිටුවා තිබුණද මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ කමිටු 2392ක් පමණක් බවත් මෙහිදී හෙළි විය. පාසල් ළමුන් අතර මෙය ජනප්‍රිය කරවීමට වඩාත් ආකර්ෂණීය ප්‍රවේශයකින් නැවත පණගැන්විය යුතු බවත්, ඒ අනුව ආයතනයේ ක්‍රියාකාරී වැඩපිළිවෙළට මෙය ඇතුළත් කළයුතු බවත් කමිටුව නිර්දේශ කරන ලදී. ළමා ආරක්ෂක අධිකාරියේ නීති අංශයේ සේවය කිරීමට දෙදෙනෙක් පමණක් සිටින බැවින් එය ආයතනයේ කටයුතුවලට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද මෙහිදී අනාවරණය විය. එබැවින් නීති අංශය වඩාත් ශක්තිමක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

2011 - 2020 කාලයේ අධිකාරියට පැමිණිලි 89,405ක් ලැබී ඇති බවත්, 2021.01.31 වන විට ආයතනයේ නොවිසඳී ඉදිරියට ගෙනා පැමිණිලි සංඛ්‍යාව 40,668ක් බවටත් කරුණු හෙළි විය. පැමිණිලි පිළිබඳ මෙහෙයවීමේ කටයුතු සිදුකරන නීති බලාත්මක කිරීමේ අංශයෙහි සේවය කිරීමට ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් වීම කණගාටුව කරුණක් බවත්, ඒ අනුව අවශ්‍ය පරිදි නීති බලාත්මක කිරීමේ අංශය ශක්තිමත් කොට පැමිණිලි මෙහෙයවීමේ කටයුතු කඩිනම් කරන ලෙස කමිටුව උපදෙස් ලබාදුන්නේය.

තවද ලංකාව තුළ සියලු 'ළමා නිවාස' නිසි පරිදි නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස්කොට සියලු මූලික දත්ත ලබාගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස අධිකාරියට නිර්දේශ කළේය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතුව පැමිණිලි සම්බන්ධ දත්ත තිබුණත්, ළමා අපචාර පිළිබඳ ජාතික දත්ත පදනමක් නොමැති වීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. ළමා අපයෝජන වළක්වා ගැනීමේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා විධිමත් දත්ත අත්‍යාවශ්‍ය බැවින් වඩාත් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව දැනුම් දුන්නේය.

එමෙන්ම අධිකාරියේ ඇති තනතුරුවල පුරප්පාඩුද ඉතා ඉක්මනින් විසඳීමට එහිදී නිලධාරීන් හට දැන්විය. අපයෝජනයට ලක්වන දරුවන්ගේ හඬ බවට පත්වන රටේ අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මෙම ගැටලු කඩිනමින් විසඳා ආයතනය ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙහිදී මහාචාර්ය හේරත් මහතා අවධාරණය කළ අතර, නැවත මෙම වසර අගදී කෝප් කමිටුව හමුවට මෙම අධිකාරිය කැඳවීමට කටයුතු කරන බවද දැනුම් දුන්නේය.

ළමා ආරක්ෂක ප්‍රතිපත්තියක ඇති වැදගත්කම සහ එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාලයක පටන් විශාල සටනක් ගෙන ගිය 'ළමා හිංසනයට තිත' පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියගෙන් %ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය^ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අපි අදහස් විමසීමු.

"අධිකාරිය ප්‍රතිපත්තියක් සකස් කරගෙන යන විට එන එන සභාපතිවරු වැරදි අඩුපාඩු කියමින් ඒක වෙන කෙනෙකුට පැවරුවා"

&1998 අංක 50 දරණ බලගතු පනත යටතේ ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවූවේ ස්වාධීන අධිකාරියක් විදිහට. ඒ පනත ප්‍රකාරව අධිකාරියට තිබෙන බලතල සාමාන්‍ය පොලීසියට තිබෙන බලතලවලටත් වඩා වැඩියි. ළමා ආරක්ෂක අධිකාරිය මුලින්ම පිහිටුවූවේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. එතකොට ඒ තිබුණ බලතල පහසුවෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒ අනුව සහ ඒ කාලයේදී සිටි විශේෂඥ බළකාය ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් පටන් ගත්තා. නමුත් අවාසනාවකට 2005දී මහින්ද රාජපක්ෂ මහතා පළමු වතාවට ජනාධිපති වුණාම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ අධිකාරිය ඉවත්කොට %කාන්තා සහ ළමා^ අමාත්‍යාංශයක් පිහිටුවලා ඒකට ළමා ආරක්ෂක අධිකාරිය පවරනවා. එදා ඉඳලා අද වෙනකල් ළමා ආරක්ෂක අධිකාරියේ නිදහස්භාවය නැති වෙනවා. මේ අධිකාරිය එදා ඉඳලා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පත්වුණු නිසා ඒ මුලින් තිබුණු බලතල නැති වුණා. ඒ විතරක් නෙවෙයි ඒ අධිකාරියට තිබුණු මූල්‍යමය ආධාර පවා අඩු වුණා. මෙවර අයවැයෙනුත් ජනාධිපති කාර්යාලය හරහා තිබෙන ආයතනවලට උපරිම මූල්‍යමය පහසුකම් ලබාදුන්නා. ළමා, කාන්තා සහ අධ්‍යාපනයට අඩුම අයවැයක් තමයි ලබාදුන්නේ. එවැනි දේ නිසා ළමා ආරක්ෂක අධිකාරිය පිහිටු වූ මූලික පරමාර්ථය උල්ලංඝනය වුණා.

1998දී ළමා ආරක්ෂක අධිකාරිය පිහිටු වූ ගමන්ම තමයි 'ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය' සකස් කරන්න පටන් ගත්තේ. ඒක මෙහෙයවන්නේ ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා. අධිකාරිය ප්‍රතිපත්තියක් සකස් කරගෙන යනවිට එන එන සභාපතිවරු වැරදි අඩුපාඩු කියමින් වෙන කෙනෙකුට කොන්ත්‍රාත්තුව පැවරුවා. විශාල මුදලක් වියදම් කරලා එකක් හැදුවට පස්සේ ඊළඟට එන කෙනා කරන්නේ ආයෙ ඒක වෙනස් කරන එක. කාලෙකට පස්සේ දේශපාලන පත්වීම් මතනේ සභාපතිවරු පත්වෙන්න ගත්තේ. හරි විදිහට පත්වුණේ නැහැ. එතකොට මේ දේශපාලන පත්වීම් මතම මේකත් දේශපාලනීකරණය වෙන්න ගත්තා. අන්තිමට මේ ප්‍රතිපත්තිය සකස් කිරීම සම්බන්ධයෙන් අපි ඇතුළු සංවිධාන රැසක් සටන් කරන්න පටන් ගත්තා. අපේ සංවිධානය අ‍ලුතෙන් පටන් ගත් එකක් නිසා අපට විශාල ජවයක් තිබුණා. අපේ උපදේශන මඬුල්ලේ ඉන්නෙත් ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවීමෙන් පසු පත්වුණු මුල්ම සභාපතිතුමන් වන මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු පිරිසක්. නමුත් ඔවුන් මේ සම්බන්ධයෙන් එදා ඉඳලම සටන් කරලා මහන්සි නිසා තමයි අපේ ජවයෙන් මේ සටන ගෙනියන්නේ.

ඒ අනුව 2019 ඔක්තෝබර් මාසයේදී ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලැබුණා. 2019දී DIG මහත්මයෙක්ම කියනවා දරුවෙක් පැය දෙකකට වරක් ලිංගික අතවරයකට ලක්වනවා කියලා. ඒ වගේම 2019දී එවකට තිබුණු දරුණුතම වාර්තාත් ඉදිරිපත් කළා. ඊට වඩා දරුණු වාර්තාවක් 2020 ඔක්තෝබර් මාසයේදී ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළා. එතුමාම කිව්වා ඒ වන තෙක් කරලා තිබුණු දේවල් ගැන සෑහීමකට පත්වෙන්න බැහැ කියලා. එතකොට අපිත් මේ ඇඟිල්ල දිගු කරන්නේ පත්වුණු සෑම ආණ්ඩුවකටමනේ. මේ රටේ අපයෝජනයකට ලක්වන සෑම දරුවෙකුටම මේ වන තෙක් පත්වුණු සියලු නායකයන් සහ ආණ්ඩු වගකිව යුතුයි. දැන් මේක කෙටුම්පත් කරලා තියෙන්නේ පස් අවුරුදු සැලැස්මක් විදිහට. සෑම පැය දෙකකට වරක්ම ළමා අපයෝජනයක් සිදුවනවා නම්, ලංකාවේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් පසුගිය මාස හයට ලැබිලා තියෙනවා නම්, ඒවා අඩුවෙන්ම විසඳිලා තියෙනවා නම් තවත් අවුරුදු පහක් යනකල් බලාගෙන ඉන්න පුළුවන්ද?

මේ දැන්මම කරන්න පුළුවන් විධිමත් ක්‍රියාමාර්ග තිබෙනවා. කෙටිකාලීන සහ දිගුකාලීන පියවරත් තිබෙනවා. තව අවුරුදු පහකින් කරන්නම් කියලා පුටු රත් කරන සභාපතිලා අපට අවශ්‍ය නැහැ. අතට ලැබුණු ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තවත් අවුරුදු හතරක් ඉල්ලන එක මෝඩ කතාවක්. ඒ වගේම ළමා ආරක්ෂක අධිකාරිය අමාත්‍යාංශයක් යටතේ තිබුණට ඒක ස්වාධීන ආයතනයක් ලෙස පවතින්න ඕනේ සහ ඒ සඳහා නිදහස ලබාදෙන්න කියලා එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන්ගේ කමිටුවත් 2018 අග භාගයේදී අධීක්ෂණය කරපු වෙලාවේ කියලා තියෙනවා.'

‘ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටු රැස්වීමේදී උපදෙස් ලබාදීමෙන් පසුව එහි වත්මන් තත්ත්වය පිළිබඳව දැනගැනීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමන් සහ එහි උසස් නිලධාරිනියක් සම්බන්ධ කරගැනීමට අප උත්සහ ගත් නමුත් එම උත්සාහය ව්‍යර්ත විය.



Recommended Articles