මෙවර ජාතික මවු කිරි ප්‍රවර්ධන සතියේ විශේෂ අවධානය යොමු වනුයේ පාරිසරික, දේශගුණික විපර්යාස සහ මවුකිරි දීමේ සබඳතාව පිළිබඳවයි.
එහිදී මවුකිරි වෙනුවට ආදේශක ලෙස භාවිත කරන නිෂ්පාදන කර්මාන්තයේදී සිදුවන පරිසර හානිය පිළිබඳව අවධානය යොමු වනුයේ නිතැතිනි. මේ ජාතික මවුකිරි ප්‍රවර්ධන සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය දැක්වූ අදහස් හා එදින පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් දැක් වූ අදහස් අනුව සැකසුණු සටහනකි.
ආහාර නිෂ්පාදනය සහ දේශගුණික විපර්යාස
දේශගුණික විපර්යාස සහ පරිසර හානිය වත්මන් ලෝකය මුහුණ පා සිටින කඩිනමින්ම විසඳුම් අවැසි අභියෝගයන්ගෙන් කිහිපයකි. හරිතාගාර වායු විමෝචනය (හරිතාගාර වායු - මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට නිදහස් වන කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, මීතේන් වැනි වායු) හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ නැග ඇති බව පැහැදිලි කාරණයකි.
ඉදිරි වසර 11 තුළදී ඵලදායී ක්‍රියාමාර්ග නොගතහොත් ගෝලීය උෂ්ණත්වය විනාශකාරී ලෙස සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
අපගේ ආහාර නිෂ්පාදන පද්ධති සහ පරිභෝජන රටාව දේශගුණික විපර්යාස සහ පරිසර හානිය සඳහා සැලකිය යුතු ලෙස දායක වේ. හරිතාගාර වායු විමෝචනයෙන් 26෴ක් පමණ සඳහා හේතුවනුයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියයි. එය ගෝලීය පාංශු ආම්ලිකතාව වැඩිවීම සඳහා 32෴කින්ද, ජලාශවල ලවණතාව වැඩිවීම සඳහා 78෴කින්ද දායක වේ.
වර්තමානයේ මස් සහ කිරි කර්මාන්තය විශාලතම ගෝලීය හරිතාගාර විමෝචක ලෙස තෙල් කර්මාන්තය ආසන්නයටම ළඟා වී තිබේ. 2019 මුල් භාගයේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තවත් පර්යේෂකයන් කළ අධ්‍යයනයකට අනුව දරුවෙකුට කිරිපිටි ලබාදෙන මොහොත වනවිට ළදරු කිරිපිටි කිලෝග්‍රෑම් එකක් නිපදවීමේ ක්‍රියාවලියෙන් CO2 සහ අනිකුත් හරිතාගාර වායු කිලෝග්‍රෑම් 11- 14ත් අතර ප්‍රමාණයක් පරිසරයට මුදාහරින බව ගණනය කර තිබේ.
ළදරුවන්ට ආහාර දෙන ක්‍රමය ඉතා වැදගත් - තිරසාර ආහාර පද්ධතිවලට මවුකිරි දීම අයත් වේ
පරිසර හානිය සහ දේශගුණික අර්බුදය අවම කිරීමට අපගේ ජීවන චක්‍රය හරහා ගන්නා සෑම පියවරක්ම ඉතා වැදගත් වේ. අපගේ දරුවන් පෝෂණය කරන අවධියේ සිට අරඹා අපෙන් එකතුවන කාබන් පියසටහන් හා පාරිසරික පියසටහන් ප්‍රමාණය (Carbon footprint and ecological foot print) අඩු කිරීමට අප සියලුදෙනාටම කටයුතු කළ හැකිය.
මවුකිරි අප ගන්නා පළමු ආහාරය වන අතර, එය තිරසාර ආහාර පද්ධතිවල තීරණාත්මක අංගයක්ද වේ. අපගේ ළදරුවන්ට අත්‍යවශ්‍ය වන සහ සැබැවින්ම ආරක්ෂාකාරී පෝෂණය ලැබෙනුයේ මවගේ කිරිවලින් පමණක්ම බැවින් මවුකිරි දීමේ ප්‍රතිශතය ඉහළ ප්‍රජාවන්හි හදිසි ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිය.
අනෙක් අතට කිරිපිටි දීම මෙම ගැටලුව වැඩි කිරීමට දායක වන අතර, එය දැන් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින නැගී එන ගැටලුවකි. සාමාන්‍ය තත්ත්ව යටතේදී හා හදිසි ආපදා යන අවස්ථා දෙකේදීම මිහිමඩලේ සෞඛ්‍යා රක්ෂාවට ආහාරදීමේ විවිධ ක්‍රම මගින් වන බලපෑම අප හොඳින් අවබෝධ කරගත යුතුය.
පිටිකිරි දීම, ගොවිපොළේ සිට කෑම මේසය දක්වාම එහි නිෂ්පාදනය, ඇසුරුම් කිරීම, බෙදා හැරීම සහ පිළියෙල කිරීම යන ක්‍රියාදාමය මගින් පරිසරයට සහ දේශගුණයට බලපෑම් ඇති කරයි. ඉඩම් එළිකිරීම, ජල පරිභෝජනය, පරිසර දූෂණය සහ කිරි ගොවිපොළවලින් සිදුවන මීතේන් විමෝචනය හරහා පමණක් නොව කිරිපිටි නිෂ්පාදනයේදී සහ බෙදා හැරීමේදී සිදුවන බලශක්තිය හා ජල හානියද, ඇසුරුම් කිරීම, ආහාර නාස්තිය සහ සනීපාරක්ෂාව තහවුරු කිරීමට ජලය හා බලශක්තිය භාවිතය හරහාද මෙම කිරිපිටි නිෂ්පාදන පරිසරයට හානි සිදුකරයි.
අනෙක් අතට මවුකිරි නිපදවීමට අවශ්‍ය වනුයේ මවට වැඩිපුර ආහාර ටිකක් පමණක් බැවින් ස්වභාවික සම්පත් භාවිතය අවම වන අතර අපද්‍රව්‍ය ඉතිරි නොවන තරම්ය.
ළදරු කිරිපිටිවලට අමතරව අවුරුද්දට වැඩි දරුවන් සඳහා වන කිරි පිටි වෙළෙඳ පොළද වැඩි වෙමින් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුවද ළදරු අවධියෙන් පසුව ලබාදෙන මෙම කිරිපිටි වර්ග අනවශ්‍ය මෙන්ම හානිකරද විය හැකිය. කිරි ආහාර නිෂ්පාදන කර්මාන්තය අනුගමනය කරන සදාචාර විරෝධී අලෙවිකරණ පිළිවෙත් හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් ඇත.
පිටි කිරි නිසා ඇතිවන පාරිසරික පියසටහන
කිරි පිටි නිෂ්පාදනය හරිතාගාර වායු විමෝචනය සඳහා දායක වන ප්‍රභවයන් ලෙස ඉස්මතු වෙමින් පවතී. අවුරුද්දට වැඩි දරුවන් සඳහා අනවශ්‍ය ලෙස පිටි කිරි ලබාදීම දැඩි අවධානයකට යොමුවිය යුතු කරුණක් වී තිබේ.
මෙම නිෂ්පාදන බොහොමයක ප්‍රධාන සංඝටකය එළකිරිය. විශේෂයෙන් කිරි ගොවිපොළවලින් මීතේන් සහ අනිකුත් හරිතාගාර වායු සැලකිය යුතු ප්‍රමාණයක් මුදා හරී. තවද කිරි ගවපාලනයට අවශ්‍ය තණබිම් සැකසීමට වනබිම් එළිපෙහෙළි කිරීමද සිදු වේ. කිරි ගවයන් නිකුත් කරන මීතේන් වායුව ප්‍රබල හරිතාගාර වායුවක් ලෙස සැලකෙන අතර ගෝලීය හරිතාගාර වායු ගැටලුවට දායක වන ප්‍රධාන සංඝටකයක්ද වේ.
එහෙත් කිරි ගොවිපොළ සඳහා ඉඩම් එළි පෙහෙළි කර පාරිසරික විවිධත්වයට හානි සිදුකරන අතර එමගින් පෘථිවියේ ස්වාභාවික කාබන් අවශෝෂක එනම් වනාන්තරද විනාශ වී යයි.
බොහෝ ආහාර නිෂ්පාදන මෙන්ම කිරිපිටිද නිෂ්පාදනය ඇසුරුම්කරණය, බෙදා හැරීම සහ පිළියෙල කිරීම සඳහා ශක්තිය වැය වේ. ශක්ති ප්‍රභවය ලෙස ඛණිජ තෙල් යොදා ගන්නා විට වායුගෝලයට එකතු වන කාබන් ප්‍රමාණයද ඉහළ අගයක් ගනී.
ළමුන් මිලියනයක් සඳහා අවුරුදු දෙකකට අවශ්‍ය පිටි කිරි ප්‍රමාණය දල වශයෙන් පිටි කිරි ටින් මිලියන 150ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති අතර, පිටි කිරි නිෂ්පාදනයට සහ පිළියෙල කිරීමට ජලය අවශ්‍ය වේ. නැවුම් ජලය සීමිත ස්වාභාවික සම්පත් සහ අවශ්‍යතාවක් වන බැවින් එය ආරක්ෂා කරගත යුතුමය.
කිරි නිෂ්පාදන සඳහා වැයවන ජල ප්‍රමාණය ගණනය කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. එය භූගෝලීය පිහිටීම, කිරි ගොවිපොළ ක්‍රියාවලිය සහ අනෙකුත් සාධක මත රඳා පවතී.
පිටිකිරි අලෙවියෙහි සිදුවන අඛණ්ඩ වර්ධනය, එමගින් සිදුවන දේශගුණික විපර්යාස නිසා ඇතිවන අලාභය රටවල් අතර මෙන්ම තම රට තුළද වත්මන් සහ අනාගත පරපුර අතරද බෙදා ගනුයේ කෙසේද යන බරපතළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ලෝක ප්‍රජාවට බල කරයි.
මවුකිරි නිසා ඇතිවන පාරිසරික පියසටහන
උපතින් පසු මාස හයක් මවුකිරි පමණක් ලබාදීමට මවකට දිනකට සාමාන්‍ය‘යෙන් කිලෝ කැලරි 500ක පමණ අමතර ශක්තියක් අවශ්‍ය වේ.
මවුකිරි දීම සඳහා කාලගුණය සහ දෛනික ක්‍රියාකාරකම් මත අමතර ජල ප්‍රමාණයක් අවශ්‍ය වුවද සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරීත්වයට අවැසි ජල ප්‍රමාණය ඉක්මවූ ජල අවශ්‍යතාවක් ඇති බවට සාක්ෂි නොමැත.
විවිධ වූ ආහාර සඳහා කාබන් පියසටහන විවිධ අගයන් ගන්නා අතර පොදුවේ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශාකවලින් සමන්විත වූ ආහාර වේල් පෘථිවියට හිතකර ලෙස සලකනු ලැබේ. අපගේ ආහාර වේල අනුව එහි කාබන් පියසටහන වෙනස් වනු ඇත.
ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ ඔවුන්ගේ ළමා වියේදී කෘත්‍රිමව සැකසුණු ආහාර අනවශ්‍ය ලෙස ලබා දේ. වෙළෙඳ පොළේ ඇති ළදරු ආහාර බොහෝමයක් නිෂ්පාදනය කරනු ලබනුයේ ඒවා විකුණනු ලබන ස්ථානයට සැතපුම් සියදහස් ගණනක් දුරින් පිහිටි රටවලය. සියලුම මවුපියන්ට මවුකිරිදීමද ඇතුළුව ජීවන චක්‍රය පුරාම නිවැරදි පෝෂණයක් ලබාදෙන සහ පරිසර හිතකාමී ආහාර තෝරා ගැනීමට අප සහාය විය යුතුය. මවුකිරි දීම සහ අතින් දොවා ගත් මවුකිරි දීම බල ශක්තිය සහ අනිකුත් සම්පත් නාස්තිය වැළැක්වීමටත්, ඉතිරියටත් කාර්යක්ෂවම දායක වේ.
මවුකිරි දීමට සහාය දැක්වීමෙන් මිහිමඩලේ සෞඛ්‍යාරක්ෂිත බව උදෙසා ආයෝජනය කිරීම
මවුකිරි දීම සවිබලගන්වන පරිසරයක් නිර්මාණය කිරීමට සහ මවුකිරි දීම නංවාලීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද?
මිහිමඬලේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට අප සැවොම කඩිනමින් ක්‍රියා කළ යුතුය. තිරසාර නිෂ්පාදන සහ පරිභෝජන රටාවන් අපගේ ස්වභාවික සම්පත් සහ අපගේ පරිසරය ආරක්ෂා කිරීමටත් දේශගුණික විපර්යාස අවම කිරීමටත් දායක වේ.
මවුකිරි දීම මිහිමඬලේ සහ මිනිසාගේ සෞඛ්‍යාරක්ෂිත බව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන තිරසාර පාරිසරික විසඳුම් අතරින් එකකි. මවුකිරි දීම මගින් සාමාන්‍ය සහ හදිසි අවස්ථා දෙකෙහිදීම කෙටිකාලීන සහ දීර්ඝකාලීන සෞඛ්‍යයටත් යහපෝෂණයට සහ ආහාර සුරක්ෂිතතාවටත් දායක විය හැකිය.
ජනතාව අතර ලෙඩරෝග සහ ආසාදන ඇතිවීම වළකන, ජීවිත සුරකින ප්‍රජා සෞඛ්‍ය මැදිහත්වීමක් ලෙස මවුකිරි දීමට දිරිදීම %කෝවිඩ් -19^ අර්බුදය සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම තරම්ම කඩිනමින් සහ අඛණ්ඩව සිදුකළ යුතුය. හදිසි ආපදා අවස්ථාවලට පෙර, ඒ අතරතුර සහ ඉන්පසුව මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබල දීම අපට අමතර අභියෝගයක් ඇති කළ හැකිය.
ඒ අනුව මවුකිරි දීම ප්‍රවර්ධන කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබල දීම මෙන්ම කිරිපිටි සමාගම්වල වාණිජමය බලපෑම්වලින් හා නොමග යවනසුලු වෙළෙඳ ප්‍රචාරණයෙන් ඇති කරන බලපෑමෙන් දෙමවුපියන් ආරක්ෂා කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. ප්‍රශස්ත ළදරු හා ළමා පෝෂණ රටාවකට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය සමාජීය කටයුත්තකි.
හදිසි ආපදා සමයකදී මෙන්ම දැනට අප ගතකරන නව -සාමාන්‍ය ජීවන රටාවේදී සියලුම දරුවන්ට හොඳ පෝෂණයක් ලැබීම සහතික කිරීමට මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබල දීම සහ ප්‍රශස්ත ළදරු හා ළමා ආහාර රටාවක් ස්ථාපිත කිරීමට සාමූහික ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.