හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කෑමෙන් ගසා කෑමක්


වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම වඩාත් උග්‍ර වෙමින් පවතී. මෙම අලි- මිනිස් ගැටුම හේතුවෙන් ලංකාවෙන් වාර්තා වන 6000ක තරම් වූ වනඅලි ගහනයෙන් පසුගිය 2014 වර්ෂයේ සිට 2021 මාර්තු දක්වා කාලය තුළදී වාර්තා වී ඇති දත්තවලට අනුව පමණක් වනඅලි 2087 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙන්ම මිනිස් ජීවිත 550කට ආසන්න ප්‍රමණයක් අහිමි වී තිබේ. මේ අතරින්ද ඉහළම අලි හා මිනිස් මරණ වාර්තා වී ඇත්තේ 2019 වර්ෂයේදී වන අතර, එය වනඅලි 415 දෙනෙකු හා මිනිස් ජීවිත 115කි. මේ ආකාරයෙන් වාර්ෂිකව අලි-මිනිස් ගැටුමට ගොදුරුව මිය යන අලි-ඇතුන් සහ මිනිසුන්ගේ ප්‍රමාණය ඉහළ යමින් පවතින්නේ වනාන්තර හෙළිකිරීම් තුළ වනඅලින්ට හිමි වාසභූමි හෙළි කිරීම බවයි පරිසරවේදීන්ද පෙන්වා දෙනු ලබන්නේ.

විශේෂයෙන්ම අලි ඇතුන්ගේ වාසස්ථාන, ආහාර සහ ජලමූලාශ්‍ර ආරක්ෂා කිරීම මෙන්ම පාරිසරික තුලනය තහවුරු කිරීම වැනි විද්‍යාත්මක ක්‍රමවේදයන්ගෙන් විසඳිය යුතු මෙම අලි-මිනිස් ගැටුම විසඳීම කෙරෙහි නිසි අවධානයකින් තොරව මෙකී ගැටලුව ශ්‍රී ලංකාවේ විසඳීමට යන්නේ අලි-ඇතුන් පරිස්ථාපනය, නිශ්චිත බිම් ප්‍රමාණයකට කොටුකිරීම වැනි අසාර්ථක ක්‍රම මගිනි. හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ඊට කදිම නිදසුනකි.

ලංකාවේ වනඅලි කළමනාකරණය වෙනුවෙන් මෙන්ම අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට යැයි පවසමින් ඉදිකෙරුණු මෙම වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය හුදෙක් අසාර්ථක එකක් පමණක් නොව, එය මේ වනවිට වනඅලින්ගේ සිරගෙයකටත් එහා ගිය වධකාගාරයක ලක්ෂණ සහිත ස්ථානයක් බවට පත්ව තිබේ. එසේම එය වංචනික ක්‍රියා රාශියක් සිදුවන ස්ථානයක් බවට පත්ව තිබීමද බරපතළ ගැටලුවකි. මෙම විමර්ශනය මගින් අවධානය යොමු කෙරෙනුයේ ඒ සම්බන්ධයෙනි.

පසුගිය 2019 වර්ෂය වන විට පැවැති රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අවස්ථා කිහිපයකදී මෙම වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශකර ඇත්තේ මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානය වනඅලි අල්ලා පුනරුත්ථාපනය කරන ස්ථානයක් ලෙසයි. “වනඅලි අල්ලා පුනරුත්ථාපනය කිරීමට රැඳවුම් මධ්‍යස්ථානය සකස් කරමින් සිටිනවා. හොරොව්පතාන ප්‍රදේශයේ වනඅලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා”. (ITN News Editor සැප්තැම්බර්4, 2019 15:01 -Link https://www.itnnews.lk/2019/09/04/171041/)

එමෙන්ම Dec 12, 2019  Live at 8 රූපවාහිනී පුවත් විකාශයේදී අදහස් දක්වා ඇති වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශකර ඇත්තේ හුදෙක් මෙම වනඅලි රැදවුම් මධ්‍යස්ථානය දරුණු වනඅලින්ගේ සුපෝෂණ මධ්‍යස්ථානයක් බවයි.

"දරුණු අලි ගෙනැල්ලා මේකට දාන්නේ දැනටමත් ඒ සතුන්ට අවශ්‍ය වතුර සඳහා වැව් හදලා තියෙනවා. ඒ වගේම ආහාර හිඟ කාලෙට ආහාර දෙන්න ලෑස්ති කරලා තියෙනවා. මෙය දේශීය විදේශීය සංචාරකයන්ට නැරඹීමට විවෘත කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා." (news link -https://www.youtube.com/watch?v=CuO9uhsmU_I)

මේ ආකාරයෙන් බලධාරීන් පවසා සිටියද, එය හුදු වචනවලට පමණක් සීමාවෙමින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වනඅලි සුපෝෂණය කරනවා වෙනුවට මෙහි සිටින වනඅලින් වෙනුවෙන් වෙන් කළ මුදලින් සුපෝෂණය වූ නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් පිළිබඳව මේ වන විට කරුණු අනාවරණය වී තිබේ.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අසාර්ථක බව මෙන්ම එහි සිදුව ඇති මහාපරිමාණ වංචාවන් රැසක් ගැන 2020 ඔක්තෝබර් මස නිකුත් කර ඇති විගණකාධිපතිවරයාගේ අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. එමගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවත්, වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා එම වාර්තාවේ සඳහන් කර තිබේ.

මීට අමතරව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමේදී සිදුව ඇති මහාපරිමාණ අයථා ක්‍රියා රැසක්ද එහිදී අනාවරණය වී තිබේ. ඉන් පළමුවැන්න වනුයේ 2012/3/17 දිනැති අංක 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව, හෙක්ටයාර 997ක රුපියල් මිලියන 345ක් වැය කරමින් සිදුකළ මෙම ඉදිකිරීමට පාරිසරික බලපෑම් වාර්තාව ලබාගත යුතුව තිබුණද එවැන්නක් ලබාගෙන නොතිබීමයි.

එම විගණන වාර්තාවට අනුව අලි රැඳවුම් මධ්‍යස්ථානයට මුල්ම අලියා මුදාහැර ඇත්තේ 2015 සැප්තැම්බර් 04 වැනිදාය. අවසන්වරට අලියෙකු ඊට මුදාහැර ඇත්තේ 2021 පෙබරවාරි මාසයේය. මෙම කාලසීමාව තුළ මුදාහැර ඇති අලි-ඇතුන් සංඛ්‍යව 64ක් බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ පවතින අලි-මිනිස් ගැටුමට විසඳුමක් සෙවීමේ අරමුණින් පසුගිය (2015 වර්ෂයේ)  රජය සමයේ විවෘත කරනු ලැබූ හොරොව්පතාන වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත වසර 06ක කාලයකදී වනඅලින් 64 දෙනෙකු පමණ එහි රැඳවීමට කටයුතු යොදා ඇතත්, එම වනඅලින්ගෙන් 2021 මාර්තු මස වනවිට ඉතිරිව ඇත්තේ වනඅලි 20කට අඩු ප්‍රමාණයක් බව ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදී අනාවරණය විය.

දැනට එහි ජීවත්ව සිටින අලි 20දෙනාගේ පෝෂණ තත්ත්ව නිසි මට්ටමක නොමැති බවද නම හෙළිකිරීමට අකමැති වනජීවී නිලධාරියෙකු කියා සිටියේය. මෙම තත්ත්වයට එක් හේතුවක් වන්නේ 2019 සිදුකළ විගණනයෙන් පසුව සිට මේ දක්වා වනඅලින් හට බාහිරින් ලබාදෙන සොච්චම් ආහාර වේලද අහිමි වීමයි.

මේ වනවිට රැඳවුම් මධ්‍යස්ථානය තුළ අලි 44දෙනෙකු සිටිය යුතු වුවත්, මේ වනතෙක් එම අලින් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව තුළ සැලකිය යුතු තොරතුරු නොමැති බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය. එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකර තිබෙන විගණන වාර්තාවෙන්ද ඒ බව තහවුරුකර තිබේ.

මේ අයුරින් අතුරුදන් වී ඇති අලින්ගෙන් 12ක් මියගොස් ඇති අතර, ඉන් අලි 05ක් මියගොස් ඇත්තේ ආහාර හිඟය නිසා ඇතිවූ මන්දපෝෂණ තත්ත්වය නිසා බව විගණන වාර්තාවේ සඳහන්ය. විගණන වාර්තාවේ එසේ සඳහන් වුවත්, මේ සම්බන්ධයෙන් අප කළ වැඩිදුර ගවේෂණයේදී අනාවරණය වූයේ වනඅලි 15දෙනෙකු පමණ හොරොව්පතාන වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මියගොස් ඇති බවයි.

එසේ මිය ගිය අලි අතරින් වනඅලින් 06දෙනෙකුගේ අස්ථි කොටස් 2017 දෙසැම්බර් මාසයේදී හොරොව්පතාන වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ අභ්‍යන්තර මාර්ගයක් තනමින් යන අවස්ථාවකදී හමුවී තිබේ. ඉන් අනතුරුවද තවත් ස්ථාන කිහිපයකදී ඒ ආකාරයෙන්ම වනඅලි දෙදෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබේ. එමෙන්ම මියගොස් දින දෙක තුනකට පමණ පසුව හමුවූ වනඅලි සිරුරු 07ක් පමණද වේ. ඉන් ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2021 පෙබරවාරි 04 දිනයි.

අලි අතුරුදන් වූ හැටි

මේ ආකාරයෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වනඅලි අතුරුදන් වී ඇති බවට වනජීවී දෙපාර්තමේන්තුව කියා සිටියත්, එහි සැබැවින්ම සිදුව ඇත්තේ වනඅලි මිය යාම මෙන්ම එම අලි ගාලේ විදුලි වැට බිඳ වනඅලින් පළා යාමයි.

"මේකේ ඉන්න අලින්ට කන්න නෑ. ඒ නිසා උන් කොහොම හරි අලිවැට කඩාගෙන යනවා. එහෙම අලි කිහිපදෙනකු යනවා අපි දැකල තියෙනවා. බොහෝ වෙලාවට ඒකෙන් පැනල යන අලි ගම් වදිනවා. ඒකෙන් අපේ ජීවිතත් අනතුරේ. වගාවනුත් හානි කරනවා. එහෙම ගම්වැදුණු අලින්ට මිනිස්සු වෙඩි තියලත් තියෙනවා." යැයි හොරොව්පතානේ පදිංචි බි.කේ. සිරිවර්ධන මහතා කියා සිටියේය.

කෙසේ නමුත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි වනඅලි කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇත්දැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් විමසා සිටි අවස්ථාවේ 2021 ජනවාරි 13වන දින ඒ සඳහා පිළිතුරු දෙමින් සඳහන්කර ඇත්තේ මේ ආකාරයෙන් මියගිය අලි සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති බවයි.

වනඅලින්ගේ මිය යාම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව තොරතුරු දීම මගහරිනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වූයේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථනයේ වනජීවී නිලධාරීන් හා එක්ව එම කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් වනඅලි මරණ පරීක්ෂණ කිහිපයක්ද සිදුකර තිබෙන බවයි.

මෙවන් පසුබිමක හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී මිය ගිය වනඅලි සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකදී එහිදී මිය ගිය වනඅලි කිහිපදෙනෙකුගේ ඡායාරූප කිහිපයක් සොයාගැනීමට හැකි විය. ආසන්න වශයෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී මියගොස් සිටි වනඅලියෙකු 2021 පෙබරවාරි 04 දින හමුවී තිබේ. එම ඡායාරූපය ඔස්සේ Google Earth හරහා සිදුකළ සොයා බැලීමකදී පැහැදිලිව අනාවරණය වූයේ එම වනඅලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඔලගම්පිටිය යන ස්ථානයේ මියගොස් ඇති බවයි. එමෙන්ම එසේ මිය ගිය අලියාගේ දේහ ලක්ෂණ පරික්ෂා කිරීමේදී යම් ආකාරයකින් එම අලියා 2018 නොවැම්බර්මස 25වැනිදා මහියංගණය මාපාකඩ ප්‍රදේශයෙන් ඇල්ලූ වනඅලියාට සමානකම් විදහා දක්වයි.

මේ සම්බන්ධයෙන් වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී වනඅලි මියගොස් තිබෙන නමුත්, ඒ සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීම සඳහා තමන්හට අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ගතයුතු බවයි.

එමෙන්ම ලෝක සත්ත්ව සහ මින්මැදුරු සංවිධානය නිකුත් කර ඇති සත්ත්ව සුබසාධන ආචාරධර්ම මාලාවේ 10වෙනි ඡේදයට ප්‍රකාරව සත්ත්වෝද්‍යානයක සිටින සතෙකු කැලයට මුදාහරින්නේ නම් එම සතා කැලයට හුරු කිරීම පියවරෙන් පියවර කළ යුතුය. නමුත් එම අචාරධර්මද උල්ලංඝනය කරමින් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති පින්නවල සිටි අලින් දෙදෙනෙකු අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත මුදාහැර තිබේ. (මෙලෙස මුදාහළ ජයතු නම් අලියා ආහාර හිඟයෙන් මියගොස් ඇති අතර, අනෙක් අලියා පලා ගියේද, මිය ගියේද යන්න පිළිබඳ වාර්තා නැත.)

අලි රැඳවුම් මධ්‍යස්ථනය සඳහා හොරොව්පතාන වනෝද්‍යානයේ මුළු බිම් ප්‍රමාණයෙන් 58෴ක් යොදා ගැනීම නිසා සෙසු සතුන්ගේ වාසභූමි සහ ආහාර අවශ්‍යතා අහිමිව යෑමද බරපතළ තත්ත්වයක් ලෙස මතු වී තිබේ. අලි රැඳවුම් මධ්‍යස්ථානය වටා විදුලි වැට ඉදිකිරීමට පෙර එම සීමාවේ කොටුවන සතුන් ඉවත් කිරීම දෙපාර්තමේන්තුවේ වගකීමකි. එහෙත් මී ගවයෙකු සහ කෙනරක් දිගු කලක් රැඳවුම් මධ්‍යස්ථාන බිමේ කොටුවී සිටීම නිලධාරීන්ගේ අපරීක්ෂාකාරී බවට සාක්ෂියකි. තණබිම් ප්‍රමාණවත් නොවීම සහ සියලු තණබිම් වියළී පැවතීම හාමතේ අලි මිය යෑමට හේතුවක් බව නම හෙළිකිරීමට අකමැති වනජීවී නිලධාරියෙකු කියා සිටියේය. එය විගණන වර්තාවේද සඳහන් වූ කාරණාවකි. ඒ සම්බන්ධයෙන් අප ස්ථානීය ඡායාරූප ඔස්සේ සිදුකළ විමර්ශනයේදීද එය තහවුරු විය.

ලීටර් 2000ක ධාරිතාවෙන් යුත් පොකුණු කිහිපයක් ඉදිකර තිබුණද, ඒවායේ ජලය නොවීම සහ ජලය සැපයීමට රැඳවුම් මධ්‍යස්ථානය සතුව බවුසර් නොමැති වීම වැනි අඩුපාඩු ගණනාවක් අලි රැඳවුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට ගිය විගණන නිලධාරීන් නිරීක්ෂණය කළ බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙම ආහාර හා ජල හිඟය මෙන්ම වෙනත් ප්‍රචණ්ඩ වනඅලින්ගේ පහර කෑමට ලක්වීමට පෙර අවස්ථා කිහිපයකදීම මෙහිදී මියගිය වනඅලින් කිහිපදෙනෙකුගේම දිරා යමින් තිබූ අස්ථි කොටස් සහිත සිරුරු හමුවී ඇතත්, වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් එය වසන් කිරීමට තැත් කරන්නේ කුමන කාරණයක් නිසාද? යන්න බරපතළ ගැටලුවකි.

එමෙන්ම බලධාරීන් කෙසේ කියනු ලැබුවත්, හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇත්තේ කුඩා වැව් 04ක් බවත්, එහිද ප්‍රමාණවත් ජලය රැඳී නොමැති බවත් Google Earth හරහා සිදුකළ සොයාබැලීමේදී අනාවරණය කරගත හැකි වූ අතර, එහි නිලධාරියෙකුද එය සනාථ කළේය. 

අලින්ගේ හිරගෙය

සාමාන්‍යයෙන් වැඩුණු අලියෙකු දිනකට කිලෝමීටර 20ත් 25ත් අතර ප්‍රමාණයක් ගමන් කරනු ඇත. එමෙන්ම වනගත මදකිපුණු අලියෙකු සාමාන්‍යයෙන් කිලෝමීටර් 60ක් පමණ දිනකට ගමන් කරන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. නමුත් හොරොව්පතාන වනඅලි රැඳවුම් මධ්‍යස්ථානයේ සමස්ත විශාලත්වය වන්නේ හෙක්ටයාර් 998 (අක්කර 2466)ක තරම් කුඩා භූමි ප්‍රමාණයකි. මෙහි වනඅලි කොටුකිරීම තුළ එම සතුන්ගේ ස්වාභාවික හැසිරීම් රටාව, නිදහසේ ජීවත් වීමේ අවකාශය සම්පූර්ණයෙන්ම අහුරා තිබේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 200ක් 300ක් පමණ ආහාර වනඅලියෙකු හට දෛනිකව ලබාගත යුතු බව වනඅලින් සම්බන්ධයෙන් පර්යේෂකයෙකු වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.  කෙසේනමුත් මෙය ද්විතීයීක ලක්ෂණවලින් යුත් වනාන්තර කොටසක් බැවින්, එහි ඇති ආහාර ප්‍රමාණය මෙම රැඳවුම් මධ්‍යස්ථානය තුළ ඇති ශාක මගින් ලබාගැනීමට නොහැකිය. එවන් පසුබිමක පිටතින් ආහාර සැපයීම සිදුකිරීම අනිවාර්ය වේ. නමුත් මේ වනවිට එය නතර කර තිබීම හේතුවෙන් මෙහි සිටින වනඅලින් ආහාර හිඟයකින් ජීවත් වන බව තහවුරු වී තිබේ. ඒ තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය හිරගෙයකට එහා ගිය වධකාගාරයක් බවට පත්වී තිබේ.

පහත 01 ඡායාරූපයේ දැක්වෙන ඇතා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති ආහාර හිඟයට කදිම නිදසුනකි. 2018 ජුලි 02 දින පුත්තලම සිමෙන්තිගම ප්‍රදේශයෙන් අල්ලාගන්නා විටදී වයස අවුරුදු 30ක් මෙන්ම උස අඩි අටකුත් අඟල් 6ක් (8' 6'') විය. 2018 ජුලි 03 දින මෙම ඇතා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනැවිත් දමා ඇති අතර, ඒ අනුව මෙම ඇතා 2021 වර්ෂය වන විට වයස අවුරුදු 33ක පෘෂ්ඨිමත් ඇතෙකු විය යුතුය. නමුත් අවාසනාවකට සිදුව ඇති දේ ඡායාරූප සාක්ෂි දරයි. හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින්ට ප්‍රමාණවත් තරම් ආහාරපාන ලැබේ නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ කෙසේද?

තරාදියක්වත් නොමැතිව කෝටි දෙකහමාරක කෑම කිරලා!

2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදයේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි තිස්දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. එහිදී සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය හෝ අලි-ඇතුන් ඒවා ආහාරයට ගන්නට රුචි වේද යන්න සලකා බලා නැත. ඒ පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක්ද සිදුකර නැති බව අදාළ විගණන වාර්තාවෙන් හෙළි වෙයි.

එමෙන්ම අදාළ කොන්ත්‍රාත්තුව සූරියවැව ප්‍රදේශයේ නිස්සංක නැමති අයෙකු විසින් ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අප කළ වැඩිදුර විමර්ශනයේදී සොයාගැනීමට හැකි විය. එමෙන්ම අදාළ කොන්ත්‍රාත්කරුට එම කොන්ත්‍රාත්තුව ලබාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේද සහයෝගය ලබාදී ඇති බවත්, කොන්ත්‍රාත්කරු අදාළ නිලධාරියාගේ සමීප හිතවතෙකු බවත් ලැබුණු අභ්‍යන්තර තොරතුරු ඔස්සේ අනාවරණය විය.

"ඔය කෑම දෙන එකට මමත් සම්බන්ධ වුණා. නිස්සංක කළේ අලින්ට දෙන කෑම ටික අඩුවෙන් කිරලා ඇතුළට අරන් ගිහින් ඒ ටිකම ආයෙත් එළියට ගෙනැල්ලා අලුත් එකක් වගේ ආපහු ඇතුළට ගෙනියන එක. ඒකට වනජීවී දෙපාර්තමේන්තුවේ අදාළ අංශය භාර නිලධාරියෙකුත් සහයෝගය දුන්නා" නම හෙළි කිරීමට අකමැති මේ සඳහා සම්බන්ධ වූ අයෙකු කියා සිටියේය.

අලි-ඇතුන් ආහාරයට නොගන්නා සියඹලා කොළ සැපයීමත්, සපයන ලද කොස්කොළ ආහාරයට නොගෙන ඉතිරි වීමත් ආහාර සැපයීමේ ක්‍රියාවලියේ අඩුපාඩු තිබූ බවට නිදසුන් ලෙස දැක්විය හැකිය. වඩාත්ම පුදුමය වනුයේ සපයන ලද ආහාරවල බර කිරීම සඳහා තරාදියක්වත් එහි නොතිබීමය. ගෙවීම් සියල්ල කර ඇත්තේ බර නිවැරදිදැයි තහවුරු කර ගැනීමකින් තොරවය. පෞද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියක් භාවිත කර ඇති අතර, බර කිරීම සිදුකළ බව වාර්තා වුවද එය අධීක්ෂණය සඳහා නිලධාරියෙකු යොදවා නොතිබූ බව විගණන වාර්තාවේ වූ සඳහන ඉහත නම හෙළිකිරීමට අකමැති මූලාශ්‍රය මගින්ද එය තහවුරු කරන ලදී.

2019 ජුනි මස වන විට මධ්‍යස්ථානයේ සිටින අලින් සංඛ්‍යාව 9ක් බව වාර්තා වුවද, 2019 අගෝස්තු 01දින සිට ඔක්තෝබර් 31 දින දක්වා අලි තිස්දෙනෙකු සඳහා ආහාර පිටින් සපයා තිබේ.

ඒ වෙනුවෙන් රුපියල් 6,559,245ක මුදලක් වියදම් කර ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙතරම් ප්‍රමාණයක් ආහාර සැපයුවද මධ්‍යස්ථානයේ සිටි අලි පස්දෙනෙකුම මියගොස් ඇත්තේ ආහාර නොමැති වීම සහ මන්දපෝෂණය හේතුවෙන් බවයි එම විගණනයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

කෙසේ නමුත් වනඅලින්ට ආහාර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබාගත් නිශ්ශංක මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්. &මම අලින්ට ආහාර ලෙස ලබාදුන්නේ කොස් කොළ, නුග වැනි දේවල්. නමුත් ඒ වනවිට ඒ අලින් කන්න පුරුදුවෙලා තිබුණේ බඩඉරිඟු, කෙසෙල් වැනි දේවල්. ඒ නිසා තමයි උන් කෑම ගත්තෙ නැතුව ඇත්තේ. ඒ වගේම අපි ටෙන්ඩරය ගත්තේ කෑම ටික රැඳවුම් මධ්‍යස්ථානයේ ඔෆිස් එක ළඟට ගිහින් දෙන්න විතරයි. එතැනට ගියාම ඒකෙ නිලධාරීන් අපේ අයට අලි වෙඩිල්ලක් දෙකක් දීල යන්න කියනවා. කවුරුවත් ආවෙ නෑ. ඒ නිසා අමතරව කිලෝමීටර් 15ක් විතර අලින්ට කෑම දෙන්න ඒක වටේ යන්න සිද්ධ වුණා."

"අපිට එක ලෝඩ් එක දෙපාරක් යන්න බෑ. මොකද අපි ළඟ තියෙනවා ඒ අය භාරගෙන අත්සන් කරපු ලේඛන. ඕකේ ඉන්න කිසිම කෙනෙක් එක්ක මගේ පෞද්ගලික සම්බන්ධතාවයක් නෑ. රාජකාරී වශයෙන් විතරයි හඳුනන්නේ." යනුවෙන්ද ඔහු කියා සිටියේය.

අඩවි ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු තවත් නිලධාරීන්, සේවකයන් 20කට අධික ප්‍රමාණයක් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සේවය වෙනුවෙන් රාජකාරියේ යොදවා තිබේ. එමෙන්ම ඔවුන්හට එම සේවාවන් කිරීමට පහසුකම් ලෙස ට්‍රැක්ටරයක්ද සමග වාහන තුනකුත් ලබාදී තිබියදී අලින්ට ආහාර සැපයූ නිශ්ශංක නමැති අය චෝදනා කරන ආකාරයට අලි රැඳවුම් මධ්‍යස්ථානය සඳහා ආහාර සැපයූ පිරිස සම්බන්ධයෙන් මෙන්ම, එම ආහාර ඔවුන් නිසි පරිදි සතුන්ට ලබාදුන්නේදැයි සොයා බැලීමක් සිදු නොකිරීමද බරපතළ ගැටලුවකි.

එසේ නම් අලි කෑමෙන් ගසා කෑමක් කර ඇත්තේ කවුරුන්දැයි සොයාබැලිය යුතුව තිබේ. මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, &පවතින ආහාර හිඟය සම්බන්ධයෙන් පළවන මත තුළ සත්‍යතාවයක් නෑ. ඒ සම්බන්ධයෙන් විගණනයෙන් ප්‍රකාශකර තිබුණත්, එය අවබෝධයකින් තොරව සිදුකළ දෙයක්.* බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ කියා සිටියත්, මෙම විගණනය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විධාන ප්‍රකාරව හා 2018 අංක 19 ජාතික විගණන පනතේ 3(1)(ඈ ),5(2),12(ඌ) වගන්ති අනුව බව එම විගණනය තුළම සඳහන් කර තිබේ. ඒ ආකාරයෙන් සිදුකරනු ලබන විගණනයක් පිළිගත නොහැකි තත්ත්වයක් පවතී නම් එයද බරපතළ ගැටලුවකි.

"මේකෙදි අලි මැරෙනවා කියන එක ස්වාභාවික දෙයක්. මොකද මේකට ගේන්නේ දරුණු අනතුරුවලට ලක්වූ අලි. එහෙම වෙලාවට එහෙම සතෙක් මැරෙන්න පුළුවන්. නමුත් ඒ සතා වෙඩි කාලා මැරෙන්න කලින් තමයි අපි ඇතුළට ගෙනැල්ල දාන්නේ. අනෙක් කාරණය තමයි අපි මේ සතුන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හොයල බැලුව එකේ ප්‍රශ්නයක් නෑ. ඒ තුළින් කියන්නේ ආහාර තියෙනවා කියල. දැන් ආහාර දීම නවත්වල තියෙන්නෙත් ඒකෙ ඇතුළෙ ඇති තරම් ආහාර තියෙන නිසා. ඒ වගේම සතුන්ට පැනයාමට නොහැකි ආකාරයෙන් නිලධාරීන් සොයා බැලීමක් කරනවා."

මේ වනවිට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කොපමණ අලින් ප්‍රමාණයක් සිටිනවාද යන්න විමසූවිට අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සෙවීමට සංගණනයක් සිදුකර නොමැති බවයි. එමෙන්ම මෙහි කිසිදු මුදල් අක්‍රමිකතාවක් සිදුවී නොමැති බවත්, තිබෙන්නේ මිනුම් දෝෂ බවත් හෙතෙම කියා සිටියේය.

අලින්ට ප්‍රමාණවත් ආහාර ඇති බවට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියත්, 2018 ජුලි 02 දින පුත්තලම සිමෙන්තිගම ප්‍රදේශයෙන් අල්ලාගත් ඇතාගේ දේහ ලක්ෂණ මගින් ඒ අයුරින් අලින් හට ආහාර තිබෙන බවක් නිරීක්ෂණය නොවේ.

සතුන්ට පැන යාමට නොහැකි ආකාරයෙන් නිලධාරීන් සොයාබැලීමක් කරනවා යනුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියත් දැඩි කුසගින්නේ සිටින ශක්තිමත් වනඅලින් හොරොව්පතාන අලිරැඳවුම් මධ්‍යස්ථානයේ අලිවැට බිඳ පළා ගිය අවස්ථා එමටය. ඊට කදිම නිදසුනක් ලෙස ගල්ගමුවේ ඒකදන්තයා විසින් අලිවැට බිඳ අවස්ථා කිහිපයකදී හොරොව්පතාන අලිරැඳවුම් මධ්‍යස්ථානයෙන් පළා යාම පෙන්වාදිය හැකිය.

අලි හිරකරලා ප්‍රශ්නෙ විසඳන්න බෑ

ප්‍රචණ්ඩ අලි යනු සක්‍රීය පිරිමි සතුන් වේ. එවැනි සතුන් මෙලෙස කොටුකිරීම නිසා ගැහැනු සතුන් හා ලිංගිකව එක්වීමේ අවස්ථා උන්ට අහිමි වෙයි. මෙය අලි ගහනය කෙරෙහි ඍජුවම බලපාන අතර, ශක්තිමත් අලින්ගේ ජාන පරම්පරාවක් අහිමිවීමටද හේතුවෙන බව ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල් ගණනාවකම වනඅලින් සම්බන්ධයෙන් පර්යේෂකයෙකු වන ආචාර්ය පෘතුවි රාජ් ප්‍රනාන්දු මහතා කියා සිටී.

"අලි අල්ලලා හොරොව්පතානේ හිර කළා කියල මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. එහෙම විසඳන්න පුළුවන් නම් අවුරුද්දකට අලි 300ක් 400ක් මැරෙන්නෙ නෑ. මේ ආකාරයෙන් දරුණු වෙන්නේ මිනිස්සුන්ගෙන් බැට කාපු අලි. උන් කරන්නේ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම. අපි මුලින්ම කරන්න ඕන ඒ අලින් හරියටම හඳුනා ගැනීම. නමුත් ඒකට වැඩපිළිවෙළක්නෑ."

"ඒ වගේම ප්‍රචණ්ඩ යැයි කියන අලි තමයි මෙහෙම අල්ලලා ගෙනියන්නේ. එහෙනම් මේක හිරගෙදරකට වැරදි කරපු අය දානවා වගේ දෙයක්. නමුත් හිරගෙදරින් සිරකරුවෙක් පැනල ගියාම හෝ මිනිහෙක් මැරුණාම ඒක බාරව සිටි අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි අලි මැරුණම, අතුරුදන් වුණාම ඒකට කවුරුවත් වගකීමක් ගන්නෙ නෑ. ඒක බරපතළ ගැටලුවක්. අඩුම ගානේ කරපටියක්වත් දාලා මේ අලින්ගේ සංචාරක ක්‍රියාවලිය ගැන හොයන්න තිබුණා. එහෙම කළා නම් මේ අලින්ට වුණේ මොකද කියලවත් හරියට දැනගන්න තිබුණා. මේ නැතිවෙලා තියන්නේ තවත් වසර 20ක් 30ක් ජීවත් වෙන්න ඕන සතුන්." බවයි ආචාර්ය පෘතුවි රාජ් ප්‍රනාන්දු අවධාරණය කරන්නේ.

ඉහත කාරණා සියල්ල සම්බන්ධයෙන් සලකා බැලීමේදී තහවුරු වන කාරණා අතර හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට භූමියේ ප්‍රමාණයට වඩා වනඅලි දැමීම, එම සතුන්හට ප්‍රමාණවත් ආහාර නොමැතිකම නිසා දැඩි මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළීම මෙන්ම ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ, නිලධාරීන්ගේ නිසි අවධානයට, සැලකිල්ලට ලක්නොවීම නිසා මේ වනවිට අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලින් දැඩි අවදානමක සිටින බව පෙනී යයි. 

එවන් පසුබිමක උඩවලව වනෝද්‍යානයේ සිටින රම්බෝ වැනි හස්තීන්ද හොරොව්පතානේ සිර කිරීම තුළින් එම අහිංසක සතාටද අත්විය හැකි ඉරණම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. එමෙන්ම සිදුකළ විගණනය විධිමත් නොවේ නම් කළයුත්තේ විධිමත් විගණනයක් සිදුකර මේ සඳහා නිසි විසඳුමක් ලබාදීමයි. එසේ නොකරමින් නැවතත් මෙහි ගැටලුවක් තිබෙන බව ඕනෑවටත් වඩා පෙනීයද්දී තවත් වනඅලින් මෙහි ගෙනැවිත් දැමීමෙන් සිදුවන්නේ එම සතුන්ගේ ජීවිතද අනතුරේ දැමීම නොවේද? එම නිසා සතෙකු ලෙසට වඩා සම්පතක් ලෙස සලකමින් මේ වනඅලි සුරැකීමට පියවර ගැනීම වගකිවයුත්තන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි.



Recommended Articles