ගෙවුණු කෝවිඩ් වසර තුළ කහ ආනයනය තහනම් කිරීමත් සමග 'හොද්දට කහත් නැතැයි' ජනතාව අතර ප්‍රබල චෝදනාවක් විය. අපි ලබන වසරේ මේ අර්බුදය ජයගන්නවා යැයි රජය පාර්ශ්වයෙන් පිළිතුරු දුන්නේය. එසේනම් ඒ අර්බුදයේ නව මුහුණුවර කෙබඳුද යන්න පිළිබඳ අපි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අරුණ පී හීන්කෙන්ද මහතාගෙන් විමසුවෙමු.
"අපේ දෙපාර්තමේන්තුවේ ගතවූ වසරේ ආදායම විමසීමේදී අපි කෝවිඩ් පරාජය කර තවත් ඉදිරියට ගියා යැයි කීවොත් නිවැරදියි. ඒ කියන්නේ 2019 වසරට සාපේක්ෂව අපි 2020 වසරේදී බිලියන 72.9ක ආදායමක් උපයා ගත්තා. ඒත් 2019 වසරේදී අප ලබාගත් අදායම බිලියන 63යි.
ගෙවුණු වසරේදී අපට කහ, කුරුඳු වැනි භෝගයන්ගෙන් ලැබුණු ආදායම ඉහළ මට්ටමක් පෙන්වනවා. කුරුඳු අපනයනයෙන් 58෴ක ආදායමක් ලැබුණා. ගම්මිරිස් අපනයනයෙන් ලද ආදායමත් සාධනීය ලක්ෂණ පෙන්නුම් කරනවා.
කහ සම්බන්ධයෙන් දිගු කතාබහක් ගෙවුණු වසරේ ඇසුණා. මෙතෙනදි වසරක් තිස්සේ කහ සමග ඇසුණු අර්බුදය මේ වන විට සමනයට පත්වෙමින් තිබෙනවා. 2021 මුල් භාගය වන විට එසේ විය හැකි බවට කහ හිඟයක් ගැන ඇසුණු 2020 වසරේ අපි කරුණු පැහැදිලි කර දුන්නා.
ගෙවී ගිය 2019 වසරේ කහ අපනයනයට රුපියල් මිලියන 1300ක් වැයකර තිබෙනවා. කොහොම වුණත් 2020 වන විට මෙරට ජනතාව කහ වගාවෙන් ඉවත්ව හිටියා. උනන්දු වුණේ නැහැ. ආදායම අඩුයි කියන තර්කය වගේම ජනතාව තුළ මේ සම්බන්ධයෙන් පවතින උනන්දුව අඩුකම වැනි හේතු නිසා එසේ වන්නට ඇති.
නමුත් කහ ගෙන්වීම නතර කිරීමත් සමග ජනතාව එම වගාවට යොමු වුණා. මහල් නිවාසවල කොරිඩෝරයේ පවා කහ වගාකර ගත්තා. එසේ කළ හැකි බව ජනතාව තේරුම් ගත්තා.
අපනයනයේ ප්‍රතිලාභ
එනිසාම රට පුරා හෙක්ටයාර් 1500ක කහ අල වගා කිරීමට ජනතාව යොමු වුණා. එයින් අපේ ඉලක්කය අමු කහ ප්‍රමාණය මෙ.ටො 25000ක් වෙනවා. මේ දිනවල කහ අස්වනු නෙළීමේ කාලය උදාවී තිබෙනවා. අපි අපේක්ෂා කළ ඉලක්කය සම්පූර්ණ කළ හැකි බවට අපට සාක්ෂි තිබෙනවා. මැයි දක්වා පමණ කාලය තෙක් කහ අස්වැන්න ලබාගත හැකියි.
මෙම මෙ.ටො 25000න් නැවත සිටුවීමට මෙ.ටො.4000ක් වෙන් කරනවා. අපි 2022 වසරේ කහ අස්වනු ඉලක්කය හැටියට මෙ.ටො 60,000ක අස්වැන්නක් අපේක්ෂා කරනවා. එය රටේ දෛනික අවශ්‍යතාවන්ගෙන් 70%ක් පමණ විය හැකියි.
ඒ අනුව කහ මෙරටට ගෙන්වීම නතර කිරීම තුළ මෙරට කහ නිෂ්පාදනය ඉහළ ගියා කියන දේ පැහැදිලියි. හැමතැනම ඇහෙන කලවම් කළ සහ ප්‍රමිතියෙන් අඩු කහ කියන දේ වෙනුවට ගුණාත්මක කහ නිෂ්පාදනය කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලැබුණා. ඒ විතරක් නෙවෙයි, කහවලට යම් සාධාරණ අගයක් ලැබුණා. කහ වවන එක පාඩුයි කියා අත්හැර දැමූ ගොවියා දැන් කහවලට ඇති ඉල්ලුම නිසා කහ වගාව ප්‍රධාන අංගයක් බවට පත්කරගෙන තිබෙනවා.
අනික් අතට ජනතාව තමන්ගේ කහ තමන්ම නිෂ්පාදනය කරගන්නා තැනට යොමුවෙලා ඉන්නවා. එයින්ම පිරිසුදු බවේ සහතිකය ඔවුන් අත්විඳිනවා. කහ කුඩු නිෂ්පාදනය නිවසේදීම කළ නොහැකිය කියන මතය අපි දැන් වෙනස් කර තිබෙනවා. මෙහෙම කියන්නම්. නිවසේ ඉඩකඩ මදිනම් පොලිසැක් බෑග් වැනි ඉවතලන බෑග් තුළ කහ වගා කළ හැකියි. එයින් අස්වැන්න 20%කට වැඩි වර්ධනයක් පෙන්නුම් කරනවා. අනික කහ තැම්බීමට ලොකු කරදරයක් විය යුතු නැහැ. ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රෙෂර්කුකර්, ස්ටීම් කුකුර් වැනි දෙයකින් ඒවා තම්බාගත හැකියි. ඒවා නූල් ඇදෙන තරමට තැම්බුණු පසු සිහින් පෙති වශයෙන් කපා වියළා බ්ලෙන්ඩර් කරගන්නා ක්‍රම දැන් ජනතාව අතර ප්‍රචලිතව තිබෙනවා. මේ ක්‍රම ගැන ගැටලුවක් ඇතිවිට අපේ ව්‍යාප්ති නිලධාරීන්ගෙන් හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හිදී හෝ අපේ දෙපාර්තමේන්තුවෙන් විමසා දැනගත හැකියි.
අදට පවතින මිල අනුව අමු කහ කිලෝවක් රුපියල් 450.00ක් පමණ වෙනවා. මේ දිනවල ආපනයන භෝග වර්ග ගණනාවක මිල ඉහළ යමින් පවතිනවා. එය වගාකරුවන් තවත් දිරිගැන්වීමක්. මේ තත්ත්වය දිගටම බලපෑ හැකි යැයි මම විශ්වාස කරනවා. එයට හේතුව ලෙස එකක් කෝවිඩ් අර්බුදය තුළ මේවා විදෙස් රටවල නිෂ්පාදනයේ ප්‍රමාදයන් සහ සංචරණ සීමා නිසා ලබාගැනීමේ අපහසුතාවන් පවතිනවා. අනික කෝවිඩ් තත්ත්වයෙන් පසු කුළුබඩු අනුභවය කෙරෙහි ජනතාව අතර වැඩි උනන්දුවක් පවතිනවා. එහෙම වෙනකොට මිළ ඉහළ යාමක් සිදුවෙනවා.
ගතවූ කාලයේ වියළි ගම්මිරිස් කිලෝව රුපියල් 500-650 අතර තිබුණත්, එය මේ වන විට රු.750 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සාදික්කා නොම්බර 1 රුපියල් 500ක් වැනි මුදලකට තිබුණත්, එය දැන් රුපියල් 1000-1100 අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා. කුරුඳු මිල රුපියල් 2500ක් පමණ වෙනවා. කෝපි ගස් යට කුණුව ගියත් මිනිසුන් එකතු කළේ නැහැ. අද එය කිලෝ එකක් රුපියල් 900ත් 1000ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.
මෙරට කුළුබඩු සඳහා ලෝකයේ ඉතා හොඳ ඉල්ලුමක් පවතින නිසා ඒ සඳහා යොමුවන ලෙස අපේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා. අද වනවිට එහි සාධනීය ලක්ෂණ ඇස්පනාපිට දැකිය හැකියි. අප සමග එකතුවූ ජනතාව එහි උපරිම ප්‍රතිඵල භුක්ති විඳිනවා. මේ තත්ත්වයන් සමග පසුගිය දිනවල කුළුබඩු මණ්ඩලය පිහිටුවීම කළා. එතෙනදි රාජ්‍ය මැදිහත්වීම මත කුළුබඩු මිලදී ගැනීම කළා. එය ඉදිරියේ ප්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ත වෙනවා. මේ හැම අවස්ථාවකදීම දිරිගැන්වීමක් හැටියට අපි සහනාධාර ක්‍රම ආදිය පුහුණු වැඩසටහන් ක්ෂේත්‍ර දැනුම්වත් කිරීම කරනවා. ඒවා මේ වගාවන් ගැන උනන්දු වන කාටත් විවෘතයි.
සහනාධාර සහ දිරිගැන්වීම
ඒ අනුව අපි අක්කර පහක් දක්වා වන ඉඩම් වෙනුවෙන් නොමිලේ පැළ වර්ග ලබාදෙනවා. ඵලදායිතාව නැංවීම සඳහා කුරුඳු, ගම්මිරිස් ඇතුළු අස්වැන්න සඳහා සහනාධාර ලබාදෙනවා. එතෙනදි ගම්මිරිස් හෙක්ටයාරයකට රුපියල් 85000ක් ලබාදෙන අතර, කුරුඳු හෙක්ටයාරයකට රුපියල් 45000ක සහනාධර මුදලක් ලබාදෙනවා. කහ සඳහා සහනාධාරයක් ලෙස කහ බීජ කිලෝවක් සඳහා රුපියල් 150ක සහනාධාර මුදලක් ලබාදෙනවා.
ඉදිරියේදී ගෙවතු වගාවක් ලෙස කහ පැළ ලබාදීම කෙරෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවල අප දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විස්තර ලබාගත හැකියි.
තවදුරටත් අපි නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළනැංවීම වෙනුවෙන් වියළීම, සකස් කිරීම සඳහා යන්ත්‍රසූත්‍ර ලබාදීම කරනවා. එයින් ගම්මිරිස්වල ශ්‍රේණිගත කිරීම, සුදු ගම්මිරිස් සකස් කිරීම ආදී කටයුතු පවා කළ හැකියි. කහ වගාව ගත්තොත් කහ අල ඔප දැමීම, කැබලි කිරීම, පිරිසුදු කිරීම වශයෙන් ගුණාත්මක තත්ත්වයන් අපේක්ෂා කළ හැකියි.
ඒ අතර කාබනික භෝග වගාව කෙරෙහි අප අවධානය යොමුකර තිබෙනවා. ඒ සඳහා ගොවි සංවිධාන ඇතිකර සමූහ සහතිකකරණය යටතේ අවශ්‍ය මුදල් එම කණ්ඩායම්වලට ලබාදෙනවා. යහපත් කාෂිකර්ම වත්පිළිවෙත් ක්‍රමවේදය අනුව බීජ වගාව සහතික කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ආනයනය තහනම් කළ භෝගයන් නවයක් තිබෙනවා. කුරුඳු, ගම්මිරිස්, කරාබු, සාදික්කා, කරදමුංගු, කහ, ඉඟුරු, පුවක්, සියඹලා ඒ අතර වෙනවා.
අපි ඉදිරි ඉලක්කය වශයෙන් 2023දී බිලියන 73ක් වූ ආදායම බිලියන 100 දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා දිස්ත්‍රික්ක 17ක ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ අපේ නිලධාරීන් කටයුතු කරනවා. එදා විදේශයන්ගෙන් බාල ප්‍රමිතිය සහ මිශ්‍ර කරන ලද ව්‍යාජ කහ වෙනුවට අද ජනතාවට තමන්ගේ දෙඅතින්ම කහ වගා කර පාරිභෝජනයට ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. තමන්ගේ ගෙවත්තේ ඉඩ ඇති බිම් කොටස මෙවැනි භෝග වගාවන්ට යොමු කළ හැකි බැවින්, ඒ සඳහා අප නිලධාරීන් සමග සම්බන්ධතාව ගොඩනඟා ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.
ඒ වගේම සඳහන් කරන්න ඕන මෙම කටයුතු ජනතාව අතරට ගෙන යාමේදී අපේ ගරු ඇමතිතුමා සහ රාජ්‍ය ඇමතිතුමන්ලාගෙන් ලැබෙන අනුබලය අපට විශාල ශක්තියක් වුණා.
(විශේෂ ස්තූතිය - සම්බන්ධීකරණයෙන් සහය දුන් එම මාධ්‍ය ඒකකයේ සහෘදයන්ට)
විමසුම සහ ඡායාරූප-ලාල් ජයසුන්දර