හිතුමතයේ ප්‍රතිජීවක ගන්න එපා


රෝගයක් වශයෙන් අප හඳුන්වන්නේ වෙනදාට වඩා වෙනස් ආකාරයෙන්  අපට දැනෙන කිසියම් පීඩාකාරී ලක්ෂණයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. නමුත් මෙවන් තත්ත්වයක් ඇති විට මෙකල බොහෝදෙනා උත්සාහ දරන්නේ කුමන හෝ ගොඩ වෙදකමක් මාර්ගයෙන් මේ තත්ත්වය මගහැර දමා ගන්නටයි. ඒ සඳහා ඔවුන් වෛද්‍යවරයෙකු වෙත යනු වෙනුවට නොයෙක් ක්‍රම අනුගමනය කර පසුකාලීනව ඉතාම අයහපත් ප්‍රතිඵල උදාකරගන්නට පෙළඹෙයි. ප්‍රතිජීවක මේ වන විට බොහෝ දෙනාගේ සිතු තුළ කෝකටත් තෛලයක් බවට පත්ව තිබේ. ප්‍රතිජීවක හැම රෝගයටම යෝග්‍යද, ඔබ සොයා නොබලන කාරණයද මෙයමයි.


රෝගී වූ විට අපට වෛද්‍යවරයා විසින් පෙති, කරල්, එන්නත්, දියර ආදී නොයෙක් ආකාරයෙන් සැකසූ ඖෂධ වර්ග ලබාදීමට නියෝග කරන බව සැබවි. නමුත් ඒ ඖෂධවල ක්‍රියාකාරීත්වය හා එම ඖෂධ මගින් අදාළ රෝගයේ ලක්ෂණ වෙත එල්ල කළ හැකි බලපෑම සම්බන්ධයෙන් අපට දැනුමක් නැති බැවින්, එම ඖෂධ භාවිත කරන ආකාරය පවා අප අතට ඖෂධ ලබාදීමේදී ඇසුරුම් තුළ  සඳහන් කර දෙන්නේ එබැවිනි.

එහිදී අපට කිසියම් ප්‍රතිජීවකයක් ලබාදීම අවශ්‍ය යැයි හැඟෙන්නේ නම් වෛද්‍යවරයා ඒ බව විශේෂයෙන් සඳහන් කරන්නට පෙළඹෙනු ඇත. එමෙන්ම මෙවන් ඖෂධ වෛද්‍ය නිර්දේශපතක් නොමැතිව නිකුත් කිරීමටද තහනමක් පවතී. එසේ නම් මෙම ඖෂධ සම්බන්ධයෙන් කිසියම් විශේෂත්වයක් පැවතිය යුතුය. දැන් අපි ප්‍රතිජීවක වශයෙන් නම් ලැබූ මේ ඖෂධ යොදා ගැනෙන්නේ කෙසේදැයි විමසා බලමු. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධයක් වශයෙන් හඳුන්වන්නේ බැක්ටීරියා හෝ විෂබීජ නැසීමට හෝ මර්දනය කිරීමට හැකි ඖෂධ වේ.

මේ නිසා බැක්ටීරියා සඳහා නියමකරන ඖෂධ මගින් සුවයක් ලබාදෙන්නට හැකි වෙන්නේ බැක්ටීරියාවක් නිසා හටගත් රෝගයකට පමණි. නමුත් මේ ඖෂධ මගින් කිසිවිටෙකත් කිසිම ගුණයක් ඇති නොවෙයි. වෛරස් රෝග ඇසුරින් ඔබට වැලඳෙන උණ, කැස්ස, උගුරේ, කනේ ආසාදන සඳහා මෙම ඖෂධ වලින් ගුණයක් නොලැබෙයි. කෙසේ නමුත් ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම නිසා වෛද්‍ය විද්‍යාවේ විශාල පෙරළියක් ඇතිවුණ බව සැබෑය.

කිවිසුමක් ගිය පමණින්, උගුර හෝ කණ කැසූ පමණින්, ඇඟපත රුදාවක් හෝ මඳ උණක් සෑදුණු පමණින් අද බොහෝදෙනා ප්‍රතිජීවක ඖෂධ ගැනීමට පෙළඹෙයි. නමුත් නිකරුණේ ඇන්ටිබයොටික් ඖෂධ ලබාගැනීම නිසා ඔබගේ මුදල් අපතේ යෑම,  එම ප්‍රතිජීවකයෙන් අපේක්ෂිත ගුණය නොලැබී යෑම ඔබගේ ශරීරයේ ජීවත් වන ශරීරයට හිතකර බැක්ටීරියා විනාශ වී යෑම, මේ නිසා රෝගකාරක බැක්ටීරියාවලට පැතිරීමට සහ රෝග ඇතිකිරීමට අවස්ථාව සැලසීම සිදුවිය හැකිය. මේ හැරෙන්නට සමහරුන් ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශය මත ගත් විටද වැරදි ලෙස භාවිත කරයි. 

ඒවා අතර මාත්‍රාව අඩුවෙන් ගැනීම, දිනකට නියම කළ වාර ගණන නොගැනීම, ඖෂධ වේල් දෙකක් අතර තිබිය යුතු කාල පරතරය නිසි ලෙස නොතැබීම, ගුණයක් ලැබුණු විගස ඖෂධය අතහැරීම, කලකට පෙර ලබාගෙන නිවසේ ඉතිරි වී ඇති ඖෂධයක් භාවිතයට ගැනීම, පවුලේ අයෙකුට ඔබේ රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණයක් මතු වූ විට  ඔබේ ඖෂධ ලබාදීම වැනි වැරදි පුරුදු ඔබ අතින් ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් විය හැකිය.

බොහෝ දෙනා ප්‍රතිජීවක කරල් දෙකක් ලබාගන්නැයි කියූ විට  එකක් භාවිත කරයි. එසේත් නැතිනම් දිනකට තුන් වතාවක් ගන්නැයි දන්වා ඇති විට දිනකට එක වතාවක් හෝ දෙවතාවක් ගැනීමටත්, එක් වේලක් මගහැරීමටත් පෙළඹෙයි.  සාමාන්‍යයෙන් දිනකට මෙවන් ඖෂධ වේල් දෙකක් අතර පරතරය මෙහිදී ඉතාම වැදගත්ය. සාමාන්‍යයෙන් උදේ 6, දවල් 2, රාත්‍රී 10 ආදී වශයෙන් ඇතැම් අය පැය දෙකකට හෝ හතරකට වරක් දිනක් තුළ ගන්නා ඖෂධ වාර ගණන සියල්ල ගෙන අවසන් කරයි.

එවිට දවසේ වැඩි වේලාවක් ඖෂධයෙන් ආවරණය නොවේ. මෙම කාලය තුළ රෝගකාරක බැක්ටීරියාවලට යළි පණ ගැසීමේ අවකාශය ලැබෙයි.  සාමාන්‍යයෙන් ඖෂධයක් ලබාගැනීම පිණිස නියම කළ මුළු කාලය තුළම ලබාගත යුත්තේ අතරමග නවතා දැමුවහොත්  එයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බැවිනි. බොහෝ නිවෙස්වල යම් යම් අවස්ථාවල වෛද්‍යවරයා විසින් නියම කර භාවිතයෙන් පසුව ඉතිරි වී ඇති පරණ ප්‍රතිජීවක ඖෂධ  තිබේ.

කලක් ගත වන විට මේවා වෙනස් වෙන්නට පුළුවන. ඒවායේ ඇසුරුම් තුළින් සුළං වැදීම නිසා  සහ පලුඳු ඇතිවීම් නිසා  ඔෂධීය ගුණය වෙනස් වී තිබිය හැකිය.  මෙසේ කිරීමෙන් ඔබේ රෝගය උත්සන්න වීම මෙන්ම, රෝගය බරපතළ තත්ත්වයන්ට පත්වීම සිරුරේ හිතකර ලෙස පිහිටා ඇති බැක්ටීරියා වර්ග විනාශ වීම  මෙන්ම යල්පැනපු ප්‍රතිජීවක නිසා අනිසි ප්‍රතිඵල ලැබිය හැකිය. ඒ නිසා ඔබට නිර්දේශ කළ ප්‍රතිජීවක වෙන කිසිවෙකුට ලබා නොදෙන්න.

ඔබට පැවති රෝග ලක්ෂණයන්ම ඔහුට හෝ ඇයට ඇතිවුවත්, එයට හේතුව ඔබට බලපෑ බැක්ටීරියාවම නොවන්නට පුළුවන.  එමෙන්ම සමහරුන්ට ප්‍රතිජීවක ඖෂධ නිසා යම් යම් අසාත්මිකතා මතුවිය හැකිය. ප්‍රතිජීවක ඖෂධයක් දෙන්නේද යන්න  තීරණය කළ හැක්කේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පමණි.

කෙසේ නමුත් ඔබට යම් ප්‍රතිජීවකයක් සඳහා කිසියම් අසාත්මික ලක්ෂණයක් පෙන්වීම දැනටමත් හඳුනාගෙන ඇති නම්, ඒ බව ඔබේ වෛද්‍යවරයා වෙත ප්‍රතිකාර සඳහා යන හැම අවස්ථාවකම දැනුම් දීම වැදගත්ය. යම් අයුරකින් ඖෂධය භාවිතයෙන් පසුව ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ කැක්කුම හෝ පපුව තදවීම, සමේ පලු මතුවීම, තොල් ඉදිමීම, සම කැසීම, උණ, බඩ බුරුලට යෑම, ක්ලාන්ත ගතියක් ඇතිවීම  වැනි ලක්ෂණයක් මතුවන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

අප ඉහතදී සඳහන් කළ  ආකාරයෙන් වැරදි ප්‍රතිජීවක භාවිතයට ඔබත් හුරු පුරුදුව සිටියේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ ඖෂධයන්ට විරුද්ධව නැගී සිටීමට රෝගකාරක බැක්ටීරියාවන්ට අවස්ථාව සලසා දෙන බව මතක තබාගන්න. එවිට ඔබට වැළඳී තිබූ බැක්ටීරියා ආසාදනය යළි උත්සන්න වී, ඖෂධවලින් මර්දනය කළ නොහැකි තත්ත්වයට පත්වෙයි. එසේම එම රෝගකාරක විෂබීජ මගින් ඔබට හෝ අන් අයට යළි වතාවක් රෝගයක් ඇතිවූ විට ප්‍රතිජීවක ඖෂධ මගින් එය සුව කළ නොහැකි වනු ඇත.

උපදෙස් - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්‍රිය


නාලිකා රාජපක්ෂ



Recommended Articles