හිඩැස - සිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම


සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත්ද පසුගිය සතියේදී කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කර තිබෙනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් සිංහල භාෂා පුවත්පත් මගින් මාකඳුරේ මධුෂ් ඝාතනය සම්බන්ධයෙන්ද ආවරණය කර තිබුණත්, දමිළ භාෂා පුවත්පත් තුළ ඒ සම්බන්ධයෙන් සඳහන් වී තිබුණේ පුවත් වාර්තාවන් ලෙසින් පමණි.

කොවිඩ්-19: ප්රශංසා සහ දෝෂාරෝපණ

දමිළ භාෂා පුවත්පත් මගින් කොවිඩ්-19 තත්වය මානයන් දෙකක් ඔස්සේ සාකච්ඡාවට ගෙන තිබිණි.

පළමුව, සිං‍හල මෙන්ම දමිළ භාෂා පුවත්පත් තුළ වන රජයට සම්බන්ධ අදහස් දක්වන්නවුන් විසින් කොවිඩ්-19 සමාජ සම්ප්‍රේෂණ මට්ටමක පැවතී ප්‍රතික්ෂේප කර තිබූ අතර, වෛරසයේ වත්මන් ව්‍යාප්තිය මිනුවන්ගොඩ පොකුරට සහ පෑලියගොඩ පොකුරට සීමා වී ඇති බව අවධාරණය කර තිබිණි. තිනකරන් මගින් ප්‍රකාශ කර තිබුණේ, විපක්ෂය සහ “සැඟවුණු න්‍යාය පත්‍ර" සහිතව ක්‍රියාත්මක වන්නවුන් විසින් වෛරසයේ සමාජ සම්ප්‍රේෂණයක් පවත්නා බවට ව්‍යාජ ප්‍රකාශයන් සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් සිංහල භාෂා පුවත්පත්වලට සමාන අයුරකින් දමිළ භාෂා පුවත්පත් තුළ වූ විපක්ෂයේ අදහස් දක්වන්නන් සහ වෙනත් අදහස් දක්වන්නන් විසින් අවධාරණය කරන්නට යෙදුණේ, සැබවින්ම වෛරසයේ සමාජ සම්ප්‍රේෂණයක් පවත්නා බවත්, රජය විසින් එම තත්වයේ බරපතලභාවය සඟවන බවත් වේ.

කාටූනය: තිනකුරල් - 2020 ඔක්තෝබර් 28  පළමු රැල්ල, දෙවෙනි රැල්ල

දෙවෙනුව, දමිළ භාෂා පුවත්පත් තුළ වන රජයට සම්බන්ධ අදහස් දක්වන්නවුන් විසින්, මාර්තු මාසයේදී රජය විසින් කොවිඩ්-19 රෝගීන් පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් ප්රශංසා පළ කොට තිබිණි.  තවදුරටත්, රජයේ හිමිකාරීත්වය යටතේ ඇති දමිළ භාෂා පුවත්පතක් වන තිනකරන් මගින්, රජය මෙම වසංගතය පාලනය කරනා ආකාරය පිළිබඳව මැතිවරණයට පෙරාතුව වූ සැමරීම් නැවත මතු කොට දක්වා තිබිණි. රජයේ හිමිකාරීත්වය යටතේ වන සිංහල භාෂා පුවත්පත් ආඛ්‍යානයද ඊට සමාන විණි. නවතම කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම් සම්බන්ධයෙන්ද රජය සාර්ථකව කටයුතු කරනු ඇතැයි තිනකරන් මගින් විශ්වාසය පළ කොට තිබිණි.

කෙසේ නමුත්, දමිළ භාෂා පුවත්පත් තුළ වන විපක්ෂයේ සහ අනෙකුත් පාර්ශවයන්ගේ අදහස් ඔස්සේ මත පළවී තිබුණේ, තත්වය පාලනය නොවී ඇති බවටයි. එම මතයන් ඔස්සේ රජය වෙත දෝෂාරෝපණයන් එල්ල වී තිබුණේ, අලුතෙන් කොවිඩ්-19 රෝගීන් වැඩිවීමේ රැල්ල හා කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය සේවා පහසුකම් සැලසීම වැනි යෝග්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අසමර්ථ වීම සම්බන්ධයෙනි.

තවදුරටත්, දමිළ භාෂා පුවත්පත් තුළ වූ මෙම කොටස මගින් කොවිඩ්-19 වසංගතයෙන් සිදුවන ආර්ථික බලපෑම් සම්බන්ධයෙන්ද අවධාරණය කෙරී තිබිණි. විශේෂයෙන්ම අපනයන අංශය වෙත මේ ඔස්සේ බලපෑම් එල්ල වී, එහි ප්‍රතිඵලයක් ලෙසින් ජීවනෝපායයන් අහිමි වූ බැවින් කොවිඩ්-19 රෝගීන් ඉහළ යෑම පිළිබඳ නවතම තත්වය ශ්‍රී ලංකා ආර්ථිකයට වැදුණු පහරක් ලෙසට එහි දක්වා තිබිණි.

ඇමරිකානු රාජ් ලේකම්ගේ ආගමනය: ස්වෛරීභාවය සුරක්ෂිතද?

ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ දිවයිනට පැමිණීම, දමිළ භාෂා පුවත්පත් මගින් කොටස් දෙකක් ඔස්සේ සාකච්ඡා කොට තිබිණි.

පළමුව, දමිළ භාෂා පුවත්පත් මගින් මත දැක්වී තිබුණේ, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර සිදු වන කඹ ඇදීමට ශ්‍රී ලංකාව 'හසුවී' සිටින බවයි. දමිළ භාෂා පුවත්පත් මෙය සලකන ලද්දේ එක්සත් ජනපදය සහ චීනය අතර ජාත්‍යන්තර පිටියේ පවත්නා 'සීතල යුද්ධයේ' දිගුවක් ලෙසිනි. දමිළ භාෂා පුවත්පත් ප්‍රකාශ කරන්නට යෙදුණේ, එක්සත් ජනපදය සහ චීනය යන දෙරටම සිය දේශපාලනික හා ආර්ථික වාසි සඳහා ශ්‍රී ලංකාව ඉත්තෙකු මෙන් යොදාගන්නා බවයි.

ඉන්දියානු සාගරයේ චීන බලපෑම වැළැක්වීමේ උත්සාහයක් ලෙසින් එක්සත් ජනපදය සහ ඉන්දියාව එක් පාර්ශවයක් ගන්නා බව දමිළ භාෂා පුවත්පත් මගින් ඉදිරිපත් කෙරිණි. තවදුරටත් දමිළ භාෂා පුවත්පත් මගින් මත පළ කොට තිබුණේ, එක්සත් ජනපද රජය විසින් සුළුතර ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ වගවීම සහතික කිරීමට වඩා තමන්ගේ දේශපාලන හා ආර්ථික අවශ්‍යතා සුරක්ෂිත කරගැනීම කෙරෙහි වඩාත් සැලකිලිමත් වන බවටයි.

දෙවෙනුව, ඇතැම් ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත් මගින්ද, චීනය සහ එක්සත් ජනපදය යන දෙරටම සම්බන්ධයෙන් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ධෛර්යමත් කොට තිබිණි. අතීතයේදී දමිළ භාෂා පුවත්පත් මගින්, වගවීමේ යාන්ත්‍රණයන් හා මානව හිමිකම් සම්බන්ධයේදී ජාත්‍යන්තර මැදිහත් වීම සමාදරයෙන් පිළිගෙන තිබිණි. කෙසේ නමුත්, සහශ්‍ර අභියෝගතා ගිවිසුම සහ චීන සංවර්ධන ව්‍යාපෘති වැනි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සහ චීනයේ වන ආර්ථික ලැදියාවන් සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ගෙන තිබිණි.

දමිළ භාෂා පුවත්පත් මගින් මත පළ කොට තිබුණේ, ශ්‍රී ලංකාව සිය ස්වෛරීත්වය ආරක්ෂා කරගත යුතු බවටත්, වෙනත් කිසිදු රටකට හිස නොනැමිය යුතු බවටත් වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය විසින් තමන් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ප්‍රකාශ කර තිබියදී ප්‍රායෝගික තලයේදී චීනය වෙත නැඹුරුවීම සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් මගින් ශ්‍රී ලංකා රජයට විවේචන එල්ල කොට තිබිණි.

 



Recommended Articles