හිඩැස - බලන වෙනුවට කියවන අයට


හැඳින්වීම

පසුගිය සතියේ දමිළ භාෂා පුවත්පත් ආවරණයන්, එම සතියේ සිංහල භාෂා පුවත්පත් ආවරණයෙන් වෙනස් වී තිබිණි. දමිළ භාෂා පුවත්පත්, මුලතිවුහි කුරුන්තූර්මලෛහි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකරනු ලබන බවට වන චෝදනාව කෙරෙහි සහ පෙබරවාරියේදී පවත්වන්නට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවරයන් කෙරෙහි අවධානය යොමු කොට තිබිණි. එම කරුණු සම්බන්ධයෙන් සිංහල භාෂා පුවත්පත් තුළ ලැබී තිබූ ආවරණය අවම මට්ටමක තිබිණි.

පුදබිම් වෙනුවෙන් පොරයක්?

මුලතිවුහි කුරුන්තූර්මලෛහි බුද්ධ ප්‍රතිමාවක් ඉදි කර ඇතැයි දමිළ භාෂා පුවත්පත් මගින් වාර්තා කර තිබිණි. පුවත්පත් එහිදී චෝදනා එල්ල කොට තිබුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම බුද්ධ ප්‍රතිමාව ඉදි කිරීම සඳහා එතැන තිබූ හින්දු දෙවි අයියප්පන්ගේ ශුද්ධ වූ ත්‍රිශූලය ඉවත් කර ඇති බවටයි. එසේම මෙම ප්‍රතිමාව ඉදිකර ඇති පරිශ්‍රය බෞද්ධයින්ට අයත් බවට සැලකිය හැකි සාධක ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද සඳහන් කර තිබිණි.

පුවත්පත් මගින් මෙහිදී පෙන්වා දී තිබුණේ, මෙම සිදුවීම ඔස්සේ සුළුතර ප්‍රජාවන්ට අකටයුතුකම් කිරීමක්  ඉස්මතු වන බවයි. එයින් පෙන්වා දී තිබුණේ මෙම ක්‍රියාව ඔස්සේ දමිළ සහ හින්දු ජනතාවට සිත්‍ රිදීම් ඇතිවන බවයි. පුරාතන දමිළ පරිශ්‍රයක් අත්පත් කරගනිමින් දමිළ අනන්‍යතාවය "විනාශ කිරීම" සඳහා "බහුතරවාදී මනෝභාවයකින් " කටයුතු කිරීම සම්බන්ධයෙන් පුවත්පත් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෝෂාරෝපණයට ලක් කොට තිබිණි.  

වීරකේසරී පුවත්පත මෙහිදී තර්ක නගා තිබුණේ, දිගින් දිගටම සුළුතර ප්‍රජාවන් ගොදුරු කරගැනීම ඔස්සේ අවසානයේදී බහුතර ප්‍රජාව සහ සුළුතර ප්‍රජාවන් අතර ගැටුම් ඇතිවනු ඇති බවටයි. මින් පෙරද උක්ත සිදුවීමට සමාන ලෙසින් හින්දු භක්තිකයින් විසින් වැඳුම් පිදුම් කළ ස්ථානයන් ලෙසින් පැවසෙන පරිශ්‍රයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බෞද්ධ භික්ෂූන් විසින් අත්පත් කරගැනීමට ගත් උත්සාහයන් පිළිබඳ චෝදනාවන් ඇති බව මෙහිදී පුවත්පත් මගින් සිහිපත් කරදී තිබිණි. දමිළ භාෂා පුවත්පත් මගින් මෙහිදී සඳහන් කර තිබුණේ ත්‍රිකුණාමලයේ කන්නියාව, මුලතිවු හි චෙම්මලිහි නීරවියාදි පිල්ලෙයාර් කෝවිල සහ නෙදුන්කර්නි වෙඩුක්කුනාරි සිවන් කෝවිල පිළිබඳව වූ ගැටළු සම්බන්ධයෙනි.

දමිළ භාෂා පුවත්පත් මගින් මත පළ කොට තිබුණේ, හින්දු භක්තිකයින් විසින් ශුද්ධ වූ ලෙසින් සලකනු ලබන පරිශ්‍රයක් තුළ බෞද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම මගින් බහුතර සහ සුළුතර ප්‍රජාවන් අතර වන පරතරය තවත් විශාල වනු ඇති බවටයි. එහිදී සුළුතර ප්‍රජාවන්ගේ හැඟීම් දැනීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසින් පුවත්පත් මගින් උදක්ම ඉල්ලා සිටින්නට යෙදිණි. දමිළ භාෂා පුවත්පත් තුළ දක්නට ලැබුණු හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනපවන් සහ වත්මන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීදරන් වැන්නවුන්ගේ අදහස් ඔස්සේද මෙම ක්‍රියාව විවේචනයට පාත්‍ර වී තිබිණි.

කාටූනය වීරකේසරී

ඔවුන් පෙන්වා දී තිබුණේ මෙම ක්‍රියාව මගින් දමිළ සහ සිංහල ජනතාව අතර වන සබඳතාවයට හානි සිදුවනු ඇති බවයි.   

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය: දමිළ ප්‍රජාව හරි පාරේද?  

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ වන දමිළ ජනතාවගේ නියෝජනය වාසිදායක ආස්ථානයක් ගනු ඇතැයි කරුණු දෙකක් ඉදිරිපත් කරමින් දමිළ භාෂා පුවත්පත් මගින් තර්ක කොට තිබිණි.

පළමුව, ප්‍රධාන දේශපාලන පක්ෂ තුන  එක්ව ඉදිරිපත් කරන ලද හසුන දමිළ භාෂා පුවත්පත් මගින් සාදරයෙන් පිළිගෙන තිබිණි. ආර්.සම්බන්ධන් විසින් නායකත්වය දෙන දෙමළ ජාතික සන්ධානය (TNA), ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් නායකත්වය දරණ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) සහ හිටපු උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් විසින් නායකත්වය ලබාදෙන දෙමළ ජනතා සන්ධානය (TPA) යන ප්‍රධාන දමිළ දේශපාලන පක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම හසුන ඉදිරිපත් කිරීම සඳහා එකට එක් වී තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට යැවූ මෙම ඒකාබද්ධ හසුනෙහි ඔවුන් නැවත නැවතත් සඳහන් කර තිබුණේ, යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූ බවට කියැවෙන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චෝදනාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයයි. මෙම පක්ෂ තුන පසුගිය මැතිවරණයේදී වෙන වෙනම තරග කරන්නට යෙදිණි. එහිදී ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජනතා සන්ධානය මගින්, දමිළ ජනතාවගේ දුක්ගැනවිලි සඳහා ප්‍රමුඛත්වය ලබා නොදුන්නේය සහ පෙර රජය හා එක්ව කටයුතු කළේය යන චෝදනාවන් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නගා තිබිණි.

මෙම පසුතලය තුළ මෙම පක්ෂ තුන එක්ව ඒකාබද්ධ හසුනක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම, ලඟ එන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන් තුළ දමිළ ප්‍රජාවගේ නියෝජනය සවිබල ගැන්වීමට හේතු වන ක්‍රියාවක් වනු ඇතැයි දමිළ භාෂා පුවත්පත් මගින් දක්වන්නට යෙදිණි. එසේම, මෙය ඔවුනට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වඩාත් ශක්තිමත් ස්ථාවරයක් දැක්වීමට රුකුල් දෙන ක්‍රියාවක් වේ යැයිද දැක්වී තිබිණි. 

දෙවනුව, ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දීම සහ ඔහුගේ නව පරිපාලනය සම්බන්ධයෙන් සඳහන් කරමින් එය දමිළ ජනතාව සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කුමන බලපෑමක් කරනු ඇතිද යන්න පිළිබඳව දමිළ භාෂා පුවත්පත් සිය අවධානය යොමු කොට තිබිණි. මෙහිදී දමිළ භාෂා පුවත්පත් මගින් දරා සිටි මතය වූයේ, එක්සත් ජනපදයේ නව පරිපාලනය රටේ මානව හිමිකම් රකින බවට ප්‍රතිඥා දී ඇති හෙයින්, එක්සත් ජනපද පාලනයේ වෙනස් වීම දමිළ ජනතාවට අර්ථකාරී වනු ඇතිය යන්නයි.  

මෙම පසුතලය යටතේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී රාජපක්ෂ පරිපාලනයේ ස්ථාවරය අවාසිදායක එකක් වනු ඇතැයි පුවත්පත් මගින් තක්සේරු කර තිබිණි. මේ සම්බන්ධයෙන් පුවත්පත් තර්ක නගා තිබුණේ කරුණු දෙකක් පදනම් කොට ගනිමිනි. පළමුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ක්‍රියාත්මක වන එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජපක්ෂ රජයේ යම් යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහාය නොදක්වනු ඇතැයි මත දැක්වී තිබිණි.

එවැනි එක් ක්‍රියාකාරකමක් ලෙසින් පුවත්පත් ඉදිරිපත් කොට තිබුණේ, පරිපාලන ඒකකයන් තුළට හමුදා සාමාජිකයින් පත් කිරීමයි. තවදුරටත්, 2020 මැයි මසදී රාජපක්ෂ විසින් සඳහන් කරන්නට යෙදුණේ ජාත්‍යන්තරය දිගින් දිගටම ශ්‍රී ලංකාව ඉලක්ක කොට ගන්නේ නම් තමන් ජාත්‍යන්තර සංවිධානයන්ගෙන් ඉවත් වන බවයි. දෙවෙනුව, චීනය යනු ඇතැම් විට එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවයන්ට අනර්ථකාරී බලපෑමක් එල්ල කරනා සාධකයක් වනු ඇතැයි පුවත්පත් මගින් දක්වා තිබිණි. මෙම කරුණු ඔස්සේ පුවත්පත් දැක තිබුණේ, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන් ලඟ එන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව අභිමුව සෘණාත්මකව දැක්වෙනු ඇති බවයි.

 



Recommended Articles