හිටිල්ල


හිටිල්ල කියන්නේ නැවතිල්ල කියන එකටය. වැඩ අත්හිටිල්ල සිදුවන්නේ සිංහල අලුත් අවුරුද්දේ නොනගතයටය. එසේ නොගතයට අත්හිට වූ වැඩ යළිත් පටන් ගන්නේ අලුත් අවුරුද්ද ලැබුවාට පසුවය. ඒත් කම්මැලියාට නම් වැඩ අත්හිටුවන්නට නැකතක් ඕනෑ නැත්තේය. ඔහු හැමදාම වැඩ අත්හිටුවලාය.

ඇඟිල්ල කපා ගන්නට බුදු හාමුදුරුවන්ගේ පසු පස දිවූ අංගුලිමාලයා තමුන්ට හති වැටුණු පසු උන්වහන්සේට හිටින්නට යයි කීවේය. එවිට බුදුන් වහන්සේ වැදෑරුවේ &මම හිටලා ඉන්නේ ඔබ හිටින්න* කියලාය. ඉන් අදහස් වූයේ උන්වහන්සේගේ සසර ගමන හිටලා ඉන්න බවය. සංසාර ගමන හිටින තුරු අප කාටත් සිද්ධ වෙන්නේ මැරී මැරී උපදින්නටය. එහෙම නැතුව කවදාවත් සසරේ මග හිටින්නට බැරිය.

හාමුදුරුවන් වැඩ හිටින්නේ පන්සල් හා ආරාමවලය. දෙවියන් වැඩහිටින ස්ථානවලට කෝවිල් නැතිනම් දේවාල යැයි කියනවාය. හාමුදුරුවරුන් වැඩ හිටින පන්සල්වලට බෞද්ධයන් දානය රැගෙන යන අතර දෙවියන් වැඩ හිටින කෝවිල්වලට අරං යන්නේ පූජා වට්ටිය. 

හොරා පසුපස එලවන්නේ &ඔහේ හිටු - ඔහේ හිටු* කියලාය. සමහර වෙලාවට හොරාද &ඔහේ හිටු* කියමින් දුවන අය පස්සේ එලවන විට කවුද හොරා කියා තෝරාගන්න බැරිය. දුවන අය අන්තිමට හිටින්නේ හොරා අල්ලාගෙනය. ඒ වුණාට හොරා වේගයෙන් දුවලා ගියොත් ඌ අල්ලා ගන්න බැරුව එළවා ගෙන ගිය අයට මග හිටින්න සිද්ධ වෙනවාය. 
හාවා ඉබ්බා රේස් එකේදී හාවා පැරදුනේ දුවන්නේ නැතුව මග හිටින්න ගිය නිසාය. හාවාට වැඩි සනීපයට නින්ද ගිය හින්දා ඉබ්බාට දිනුම් කණුව ළඟට ගිහිං හිටින්න පුළුවන් වුණාය. ඒ හින්දා කොච්චර පුළුවන් කාරයෙක් වුණත් රේස් එකකට ගියාම මග හිටින්න නරකය.

රුක් දෙවියන් අග්ගලා මල්ල ගෙනගිය බමුණට කිව්වේ &ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී* කියලාය. අද නම් අග්ගලා මල්ලක් නැති වුණත් සමහර පිරිමින්ට කන්තෝරුවේ හිටිනවාට වඩා ගෙදර හිටිල්ල අගුණය. ඉස්සර නම් දරුවන්ට පාසල් නොගොස් ගෙදර හිටින්න ඕනෑ වූ විට හොර ලෙඩ ගන්නවාය. දෙමවුපියන්ද ඒ ලෙඩවලට රැවටිලා ඔවුන්ට ගෙදර හිටින්නට ඉඩ දෙනවාය. ඒත් අද නම් පාසල් නොගොස් ගෙදර හිටින්න බොරුවට ලෙඩවෙලා දරුවන් නැත්තේ ඔවුන්ට ඕනෑ දේකට නිදහස ලැබී තිබෙන හින්දාය. අද සිසුන්ට ඉබේම ගෙදර හිටින්න සිද්ධ වෙන්නේ ගුරුවරුන් වැඩ අත්හිටවිල්ල නිසාය. ගුරුවරුන් ඉස්කෝලේ නොගොස් ලෙඩ නිවාඩු දැමිල්ලෙන් මෙන්ම වැඩ අත්හිටවිල්ලෙන්ද ගෙදර හිටින්නේ ස්වකීය ඉල්ලීම් දිනා ගැනීමටය. එහෙම වූ විට ඉගෙන ගන්නට කැමති දරුවන්ටද ඉබේම ගෙදර හිටින්න සිද්ධ වෙනවාය.

පසුගියදා සිදු වූ වර්ජන නිසා බස් හා දුම්රිය හිටිල්ලෙන් සෑම දෙනාටම ගෙවල්වලට වී හිටින්නට සිද්ධ වුණාය. ප්‍රවාහනය හිටිල්ල හින්දා හැමදෙනාටම වැඩ අත්හිටුවන්න වෙනවාය. සමහරුන්ට ගෙදර හිටිල්ල එපා වෙන්නේ බිරියගේ කන්දොස්කිරියාව හින්දාය. ඒ හින්දා ගෙදර සිටින්නේ නැතුව කොහොම හරි වැඩට යෑමට උත්සහ කරන පිරිමින් හිටිනවාය.

ප්‍රයිවෙට් බස්කාරයන් යනවාට වැඩිය අතරමග හිටිල්ලට පුරුදු වී ඉන්නවාය. එහෙම අතරමග හිට හිට යන්නේ ලෝඩ් එක එකතු කරන්නටය. මෙහෙම හිට හිට යනවාට කියන්නේ කොට කොටා යනවා කියලාය. මෙහෙම යන බස්වලට පසුපසින් තවත් බසයක් එනවිට හිටිල්ල නවත්වා වේගයෙන් රේස් දුවන්න සිද්ධ වෙනවාය. මෙහෙම රේස් දිවිල්ල හින්දා මගීන්ගේ ජීවිත අතරමග හිටින්න පුළුවන්ය. කෙනෙකුගේ හදවත හිටියොත් අනික් මොනවා වැඩකළත් එයා මියගියා යැයි කියනවාය.

අපේ කෝච්චි නම් නිතරම අතරමග හිටින්නේ සිග්නල් නැතිවීම හින්දාය. මෙහෙම හැම තැනම හිටිල්ල නිසා කෝච්චි කවදාවත් නියම වෙලාවට ඉස්ටේසමට එන්නේ නැත්තේය. 
මැෂින් අක්‍රිය වූ විට ඒවායින් කෙරෙන වැඩ එහෙමම හිටිල්ල සිද්ධ වෙනවාය. පත්තර ගැහිල්ල ප්‍රමාද වෙන්නේ මැෂින් අතරමග හිටිල්ල හින්දාය. එහෙම වුණාම පත්තර බෙදිල්ලද ඇනහිටිනවාය. ඊළඟට ඒවා කියවිල්ලද ඇන හිටිනවාය. මොනවා වැඩකළත් විදුලිබලය ඇනහිටියොත් සියලුම වැඩ ඇනහිටිනවාය. 

වැඩ ඇනහිටිල්ල අපේ රටේ නිතරම සිදුවන දෙයක්ය. කර්මාන්ත ශාලාවල වැඩ ඇනහිටිල්ල නිසා නිෂ්පාදනය ඇනහිටිනවාය. එයින් සිදුවන්නේ අපේ ආර්ථික දියුණුව අතරමග ඇනහිටිල්ලය. අපේ රටේ වැඩ ඇනහිටිල්ලට ප්‍රධාන හේතුව වී ඇත්තේ සේවක වර්ජනය    

වැහි හිටියාම නියඟ ඇතිවෙනවාය. ගංවතුර නිතර අල්ලා හිටිල්ල නිසා ගොවිතැන් බත් පාළු වෙනවාය. අද නම් වැඩිපුරම හානි සිද්ධ වෙන්නේ වැහි වතුර නොබැස හිටිල්ල නිසාය. නගරයේ වැහි වතුර නොබැස හිටින්නේ පහත් බිම් ගොඩකර ගොඩනැගිලි හදා  තියෙන හින්දාය.

දුක දරාගෙන හිටිල්ල නම් බොහොම අමාරුය. දුක දරා හිටින්න උත්සහ කළ විට නොදැනීම ඇස්වලට කඳුළු උනනවාය. අද බඩුමිල වැඩිවන විදියට ජනතාවට කුසගින්න දරාගෙන හිටිල්ල අමාරුය. අප පුංචි කාලේ පන්තිය පටන් ගන්න ඉස්සර ගුරුවරයා &හිටිං-ඉඳින්* කියලා ළමයින්ට ව්‍යායාම කරවන්නේය. ඒ කාලේ වැඩබැරි ළමයින් දණගහලා හිටවලා දඬුවම් කරනවාය. නැතිනම් අව්වේ හිටවලා තබනවාය. අද නම් එහෙම දඬුවම් කළොත් ශිෂ්‍යයන් නිකං හිටින්නේ නැත්තේය. අන්තිමට ගුරුවරයාට සිද්ධ වෙන්නේ රස්සාව නැතිවෙලා ගෙදර හිටින්නටය.
අපේ අය වැඩක් නොකර නිකං බලාහිටිල්ලට නම් හරි දස්සය. එහෙම නිකං බලා හිටිල්ල කම්මැලියාගේ පුරුද්දය. අපේ සමහර ටෙලි නාට්‍ය දිහා බලා හිටිල්ලට අමාරු හින්දා අහකබලා හිටිල්ලට සිදුවෙනවාය. බලා හිටිල්ල වගේම සමහරක් අසා හිටිල්ලටද අමාරුය. අපේ සමහර ගායකයන්ගේ සින්දුද අසා හිටිල්ලට බැරි තරම්ය. චැනල්වල සමහර නිවේදිකාවන් ගිරවුන් මෙන් කියන දේවල්ද අසා හිටිල්ලට බැරිය. මේ සියල්ලටම වඩා අද අපට අමාරු වී ඇත්තේ කපටි දේශපාලුවන්ගේ කතා අසා හිටිල්ලටය.   



Recommended Articles