යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී කියූ සුරංගනා කතා මතක් වෙද්දී අද වන විට ශ්‍රී ලංකාව සුරපුරයක්ව පැවතිය යුතුය. දුප්පත් මිනිසා දැන් ආර්ථික අතින් ශක්තිමත් වී පොඩි වාහනයක් හෝ එසේත් නැතිනම් අවම වශයෙන් යතුරුපැදියක් හෝ අරගෙන සිටිය යුතුය. තුන්වේලටම බඩකට පිරෙන්න ආහාර පාන ගෙන දරුවන් සමග විනෝද සවාරියක් යමින් සිටිය යුතුය. තමන්ගේ අලුත්වැඩියාවට තිබූ නිවස සම්පූර්ණ කරගෙන තිබිය යුතුය. ඉඩමක් නැති කෙනා ඉඩමක් මිලයට ගෙන නිවසක් සැදීමේ කාර්යයෙහි නියැළී සිටිය යුතුය.
ඒත් යහපාලනය බලයට පත්ව දැන් වසර 05කට ආසන්න කාලයක් ගතවී තිබේ. තවත් ඉතිරිව ඇත්තේ දින 500කටත් අඩු ප්රමාණයකි. ගතවූ කාලයේ යහපාලන ප්‍රධානීන් කළ කී දේවල එකම ප්‍රතිඵලය වූයේ යහපාලන ආණ්ඩුවේ අවසාන යුගය ගෙවන විට රටත් ජනතාවත් අන්ත දුගී තත්ත්වයට පත්වීමය. පක්ෂ පාට භේද නොසලකා සමස්ත ජනතාවම බලාපොරොත්තු කඩවී හෙට සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිව සිටිති.
පුද්ගලයෙක් රාත්‍රි‘යේ දී නිදාගෙන උදෑසන අවදි වනවිට පාන්ගෙඩිය රුපියල් 5 කින් ඉහළ ගොසිනි. නැතිනම් සීනි රුපියල් 30කින් ඉහළ ගොසිනි. යහපාලන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් ඩීසල් මිල ඉහළ යෑමක් මිස අඩුවීමක් නැත. වාහනයක් ගැනීමට සිහින මවමින් සිටින්නාගේ සිහිනය තවත් ගවු ගාණකට ඈතකට ඇද දමාය. වාහනයක මිල ලක්ෂ ගණනින් ඉහළ ගොසිනි.
ගෙයක් සෑදීමට සිටින පුද්ගලයා ඊයේ දිනයේදී මිලදී ගන්නා ගොඩනැගිලි ද්‍රව්‍ය අද යළි මිලයට ගැනීමට යෑමේදී ඒවාද ඉහළ ගිහිනි. පොදුවේ ගත්කල අත්‍යවශ්‍ය අාහාර ද්‍රව්‍ය සෑම එකක්ම පාහේ දිනෙන් දින මිල වැඩිවෙමින් පවතී.
ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයෝ මේ සියල්ල ඩොලරය ඉහළ යෑම නිසා සිදුවන බව කියති. අද ඩොලරය රුපියලට සාපේක්ෂව 170 සීමාව ඉක්මවා ගොසිනි. සතියක් තුළ රුපියල් 8-10ත් අතර ගණනකට ඩොලරය ඉහළ නැග්ගේ ඉතිහාසයේ පළමු වතාවටය.
ලෝක ආර්ථිකය දෙස බැලීමේදී ඩොලරය යම් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව අපද පිළිගන්නා කරුණකි. එහෙත් ශ්‍රී ලංකාව තුළ මෙපමණ ආකාරයෙන් රුපියල බාල්දු වී ඇත්තේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව නිසාම බව මේ වනවිට ලෝකයාටම ඔප්පු වී හමාරය. අද රුපියල ඩොලරයට සාපේක්ෂව පමණක් නොව ඉන්දියානු රුපියලට, බ්‍රිතාන්‍ය පවුමට, ජපාන යෙන් ඒකකයට මෙන්ම තායිලන්ත බාත් ඒකකයට සාපේක්ෂව ගත්තද අවප්‍රමාණය වී ඇති බව පැහැදිලිය. මෙසේ ලොව පවතින සෑම මුදල් ඒකකයකටම සාපේක්ෂව රුපියල බාල්දුවීම සිදුවන්නේ ආණ්ඩුවේ නිසි ආර්ථික කළමණාකරණයක් නොමැති නිසාය.
මේ තත්ත්වය තවත් ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකා ආර්ථිකය ඉතිහාසයේ දරුණුම කඩා වැටීමට ලක්වීම වළක්වා ගත නොහැකි වනු ඇත. මේ නිසා යහපාලන ආණ්ඩුවට දැන් ඉතිරිව ඇත්තේ පුළුවන් පිරිසකට ආණ්ඩුව ලබාදී පැත්තකට යෑමය.
අද පුවත්පතට මෙවර මා කුරහන් සාටකය ලියනුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිට කාර්ය බහුල අවස්ථාවකදීය. ඒ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අප ආශිර්වාද පූජාවක් සංවිධානය කරමින් සිටින අතර වාරයේදීය. ජොන්ස්ටන් මහතා වෙනුවෙන් පවත්වන ආශිර්වාද පූජාව අද (25දා) සවස 4.00ට පමණ කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී පැවැත්වේ.
මෙම පූජාව පිළිබඳව යහපාලන ආණ්ඩුව හෝ පොලිස්පතිවරයා කලබල විය යුතු නොවන බව සඳහන් කරමු. පන්සල වටකර හෝ පන්සල පිරෙන්නට පොලිස් නිලධාරීන් අවශ්‍ය නොවනු ඇත.අවි අමෝරාගත් පොලිස් නිලධාරීන් හෝ කඳුළු ගෑස් ගැසීමට සිටින කැරලි මර්දන ඒකක අවශ්‍ය නොවනු ඇත. අපි එදා ජනබල මෙහෙයුමෙන් ඉතා සාමකාමීව ලක්ෂ ගණනක් කොළඹට ගෙන ආවෙමු. අද දිනයේදීද විහාරස්ථානයට පැමිණෙන්නේ පූජාවක් තැබීමට මිස ගැටුම් ඇතිකරගැනීමට නොවේ.
යහපාලන ආණ්ඩුවේ වෛරී පළිගැනීමේ ගොදුරක් බවට පත්ව සිටින ජොන්ස්ටන් හිටපු අමාත්‍යවරයා සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියාත්මකව පවතී.අධිකරණමය වශයෙන් අප සෑම විටකම අධිකරණය විශ්වාස කරමු. ඉන් ලැබෙන තීන්දුවලට අපි ගරු කරමු.
එහෙත්, ජොන්ස්ටන් හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාමාර්ගයේ පොලීසියේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව අපට කිසිසේත් පිළිගත හැකි සාධාරණ බවක් නොමැති බව මෙහිදී සඳහන් කළ යුතුය. නීතිය නවන පොලිස්පතිවරයා පොලිස් නීතිය නවමින් සිටියි.
නීතිපතිවරයාද එසේමය. ඔහු ව්‍යාජ සාක්ෂි මවමින් ජොන්ස්ටන් අමාත්‍යවරයාට එරෙහිව විරුද්ධ දේශපාලනඥයෙක් සේ ක්‍රියා කරයි. මෙය අතිශය කනගාටුදායක තත්ත්වයකි. රටක පුරවැසියෙකුට නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව විශ්වාසයක් පැවතිය යුතුය. එම ආයතන ස්වාධීනව කටයුතු කරන බව තහවුරු විය යුතුය. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් දේශපාලනඥයන් සේ කටයුතු නොකළ යුතුය. කණාගාටුවට කරුණවන්නේ නීතිපතිවරයාත් පොලීසියත් අසාධාරණ ලෙස කටයුතු කරමින් සිටීමය. කෙසේ වෙතත් අවසානයේදී සත්‍යය ජයගනු ඇත. ජොන්ස්ටන් හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් අප සංවිධානය කරන ආශිර්වාද පූජාවට සහභාගිවන ලෙසට කුරුණෑගල හා ඒ අවට සිටින පිරිසට ආරාධනය කරමින් අද දිනයට නවතිමි.
සුබ අනාගතයක්!