හැම පැත්තෙන්ම බැලුවාම අපි යන්නේ උඩට


සජිත් සමාජ විප්ලවය‘ මැයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉකුත්දා එළිදැක්වීය. එළඹෙන සති අන්තයේදී එහි පිටපත් සියලු නිවෙස් වෙත බෙදාහැරීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයන් සැලසුම් කර තිබේ. මෙම පසුබිම තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ දැනගැනීමට ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සම්බන්ධ කර ගතිමු.


ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන්න ප්‍රමාද වුණා කියලා හිතෙන්නෙ නැද්ද. ජනතාවට කියවලා යම් තීරණයකට එන්න කාලයක් තියෙනවාද?

පිටු 24ක් කියවගන්න ජනතාවට සුමාන දෙකක් ඇති. ලබන සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ රටේ හැම නිවසකටම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය යනවා. එය ඉහළ මට්ටමින් තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් ලියලා තිබෙනවා. රටේ ජනතාවට තීරණය ගන්න තියෙන්නේ 16 වැනිදා. නිවාඩු දින කිහිපයකුත් එන නිසා ජනතාවට කාලය තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක ඇතුළු අනෙකුත් අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශන සහ ‘සජිත් සමාජ විප්ලවය‘ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැකිය හැකි වෙනස්කම් මොනවාද?

හොඳම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙන්නේ අපි. සෑම ක්ෂේත්‍රයක් ගැනම අවධානය යොමුකර තිබෙනවා. පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ නවීන කාර්යක්ෂම රාජ්‍ය ව්‍යුහයක් ගැන අපි කතා කරලා තිබෙනවා. ගොවිතැන, අධ්‍යාපනය, මත්ද්‍රව්‍ය උවදුරට මුහුණ දෙන ආකාරය ගැන, සුහුරු ආරක්ෂිත පද්ධතියක් ගොඩනගන ආකාරය ගැන එහි කරුණු දක්වා තිබෙනවා. නවීන හමුදාවක් ගොඩනගන ආකාරය තිබෙනවා. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරය ඉතා ඉහළයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මත සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියට යන්න පුළුවන්. සමීක්ෂණ වාර්තා අනුව තවම රටේ 25෴කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ මතය තීරණය කරලා නැහැ. ඒ ජනතාව  ප්‍රතිපත්ති ප්‍රකාශන සන්සන්දනය කරන්න බලාගෙන ඉන්නවා. ඉදිරි ඡන්ද ව්‍යාපාරය තුළ ජයග්‍රාහකයා විදියට කවුද ගේන්නේ කියලා ජනතාව තීරණයක් ගනීවි. හැම පැත්තෙන්ම බැලුවාම අපි යන්නේ උඩට. අනිත් අයගේ ඡන්ද ව්‍යාපාරය පහළ මට්ටමට වැටිලා තිබෙනවා. ඒ අනුව අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා මැතිවරණය දිනනවා කියලා.

කුමන දිස්ත්‍රික්කද දැනට සජිත් ප්‍රේමදාස මහතාට වාසි සහගතව තිබෙන්නේ?

එහෙම කියන එක අපේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට තොරතුරු සැපයීමක් වෙනවා. නමුත් අපි සමස්තයක් විදියට ඉතා ඉහළින් සිටින බව කිව හැකියි.

ද්‍රවිඩ සන්ධානයේ සහය ලැබීම තුළ මොන වගේ ශක්තියක්ද ඡන්ද ව්‍යාපාරයට ලැබෙන්නේ?

දෙමළ සන්ධානයේ සහයට වඩා දෙමළ ජනතාවගේ සහය අපිට ලැබිලා තිබෙනවා. ඒ නිසා දෙමළ සන්ධානයට අපිට උදව් කරනවා ඇරෙන්න වෙන තෝරාගැනීමක් නැහැ. පක්ෂ කිව්වත් නැතත් දෙමළ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට ආදරෙයි. පක්ෂ කිව්වත් නැතත් මුස්ලිම් ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට ආදරෙයි. ඒ නිසා ඒ ඡන්ද ටික ලැබෙනවා. සිංහල බෞද්ධයන් අතර ප්‍රාණඝාතය නොකරන, සොරකම් නොකරන, පන්සිල් රකින සිංහල බෞද්ධයෙක් හැටියට සජිත් ප්‍රේමදාස මහතාට සමාජයේ පිළිගැනීමක් තිබෙනවා. ඔහු ගැන අවබෝධය වර්ධනය වෙලා තිබෙනවා. ඔහුගේ තිබෙන දක්ෂකම් ගැන සමාජය කතා කරනවා. ඔහුගේ ප්‍රතිපත්තිය ගැන දැන් කතා කරනවා. ඒ නිසා ඔහු ඉදිරියටම ඇවිත් තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනැවිත් රට කෑලි කෑලිවලට කඩා දැමීමේ සැලසුමක් තිබෙන බවට පොදුජන පෙරමුණේ නායකයන් චෝදනා කරනවා. එවැනි

ව්‍යවස්ථාවක් ගෙන ඒමේ සූදානමක් තිබෙනවාද?

කිසිසේත්ම ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නෑ. ඒකීය රාජ්‍ය ව්‍යුහය අපි පිළිගන්නවා. සියලු පක්ෂවල එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ සිදුකරන සාකච්ඡාවලින් අනතුරුව ජනමත විචාරණයකින් සම්මත කරලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරන් එන්නේ. අපි මොනම හේතුවක් නිසාවත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් අරන් එන්නෑ.

ජනාධිපතිගේ බලතලවල වෙනසක් සිදුවෙනවාද?

අපි ඒ පිළිබඳව මේ මැතිවරණයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නෑ. අපි ජනාධිපති ධුරය, පාර්ලිමේන්තු මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය, රාජ්‍ය ව්‍යුහය, පළාත්සභාවල බලතල ඇතුළු සමස්ත පද්ධතිය හා සමස්ත ව්‍යවස්ථා ව්‍යුහයක් ගැනයි කතා කරන්නේ. එකක් පමණක් වෙනස් කිරීමෙන් තවදුරටත් අසමතුලිතතාවන් ඇතිවෙලා, දැනට පවතින 19 වතාවක් විකෘති වූ ව්‍යවස්ථාව තවදුරටත් විකෘති වෙනවා. ඒ නිසා අපි දැන් කතා කරන්නේ 20 වැනි සංශෝධනයක් ගැන නෙමෙයි. අපි කතා කරන්නේ පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින්ම හඳුන්වාදීම ගැන.

පෞද්ගලික රූපවාහිනී ආයතනවල ලැබෙන ඉඩකඩ මදි කියලා ඔබතුමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළා. ඊට කොමිසමෙන් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවාද?

මැතිවරණ කොමිසම ඒ පිළිබඳව ප්‍රතිචාරයක් දක්වලා නැහැ. මම ඒ ගැන කනගාටු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට විශාල බලයක් මැතිවරණ කොමිසමට තිබෙනවා. මේ කරුණ ගැන කොමිසම ප්‍රමාණවත් පරිදි ක්‍රියා කරන්නේ නැහැ. මට ඒ ගැන කම්පාවක් තිබෙනවා. ඔය රූපවාහිනී නාළිකා මොනවා තිබුණත් බිම් මට්ටමේ අපිට තිබෙන ශක්තිය අනුව අපි දිනනවා. ඒ රූපවාහිනී නාළිකා දෙක පක්ෂපාතීව, ද්වේශසහගතව කටයුතු කරන බව රටේ ජනතාව දන්නවා. ඒ නාළිකාවල රේටින්ග්ස් පහළට බැහැලා. එම නාළිකා ඉදිරිපත් කරන මතය සත්‍ය නොවන බව දැන් ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. ඔවුන් අන්තවාදීව කටයුතු කරන බව ජනතාව දන්නවා.

මැතිවරණ කොමිසමේ සභාපති කියනවා පෞද්ගලික රූපවාහිනී නාළිකා ගැන සොයා බැලීමට නීතියේ ප්‍රතිපාදන නැහැ කියලා. ඔබ නීතිඥයෙක් විදියට එය සත්‍ය යැයි පිළිගන්නවාද?
පෞද්ගලික නාළිකා හෝ රාජ්‍ය නාළිකා පාවිච්චි කරන්නේ තරංග. ඒ තරංග අයිති වෙන්නේ ජනතාවට. ඒ තරංග අයිති වෙන්නේ රජයට. ඒ තරංග පාලනය කරන්නේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින්. මේ තරංග සල්ලිවලට දීලා නැහැ. ජනතාව දැනුවත් කිරීමේ අරමුණ උදෙසා කොන්දේසිවලට යටත්ව රජය විසින් මුදල් නොමැතිව මේ තරංග ලබාදී තිබෙනවා. මැතිවරණ කොමිසම රජයේ බඳවාගැනීම් ගැන මැදිහත් වෙනවා. මැතිවරණ කොමිසම තහඩු බෙදන එකට මැදිහත් වෙනවා. මැතිවරණ කොමිසම ඡන්ද ව්‍යාපාරයේ කිවයුතු දේවල්, නොකිවයුතු දේවල්වලට මැදිහත් වෙනවා. ඒ ඔක්කොම කරන්නේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බලය ලබාදී තිබෙන නිසයි. රජයේ මාධ්‍යවලට අදාළව නිසි බලධරයෙක් පත්කරන්න කොමිසමේ සභාපතිවරයාට පුළුවන්. පෞද්ගලික නාළිකාවලට අදාළව ඔහුට බලධරයෙක් පත්කරන්න බැහැ. නිසි බලධරයෙක් පත්නොකර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පුළුවන් මේ අසාධාරණ වැඩපිළිවෙල නතර කිරීමට පියවර ගන්න. එහෙම නැත්නම් කොන්දේසි කඩකිරීම සම්බන්ධව ඔවුන්ගේ බලපත්‍ර සම්බන්ධව පියවර ගන්න පුළුවන්. නමුත් ඔවුන් එය නොකිරීම ගැන මම කනගාටු වෙනවා.

රටේ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කරන්න මේ දක්වා නිසි වැඩපිළිවෙළක් නොකළේ ඇයි?

මෙය කුමන්ත්‍රණකාරී ලෙස, දේශපාලනික උවමනාවන් මත කෘත්‍රිම ලෙස භාණ්ඩ හිඟයක් ඇතිකිරීමක්. ඒ හරහා රජය අපකීර්තියට පත්කරලා එහි වගකීම රජය පැත්තෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට පැවරීම තමයි මෙම පුද්ගලයන්ගේ අරමුණ වෙලා තිබෙන්නේ. ගෑස් හිඟයත් ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ගෑස් හිඟය අපේ දේශපාලන විරුද්ධවාදීන් විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්නයක්. මේ පිළිබඳව අපි තදින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සීමිතයි. ලිට්‍රෝ ගෑස් සමාගම තුළ සිටින රාජ්‍ය විරෝධී නිලධාරීන් විසින් තමයි මේ හිඟය මවා තිබෙන්නේ. අපි ඒ ගැන බලවත් ලෙස කනගාටුවට පත්වෙනවා. ඉක්මනින්ම මේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා.

ආහාර හිඟය කුමන්ත්‍රණකාරී දෙයක් නම් එහි පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද කියා හෙළි කළ යුතුයි නේද?

ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායමක් තමයි මෙය පිටුපස ඉන්නේ. වෙළෙඳ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් මේකට සම්බන්ධයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන් කිහිපදෙනෙක් ඉන්නවා. මේවා නීතීමය ක්‍රියාමාර්ග ගෙන පාලනය කරන්න බැහැ. මේවා සදාචාරය පිළිබඳ ප්‍රශ්න. 



Recommended Articles