හරියට සැලසුම් කළොත් වැටුණු සංචාරක කර්මාන්තය ගොඩගන්න අමාරු නැහැ


ලොව පුරා ව්‍යාප්තව ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දරුණු බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය අවිවාදයෙන් යුක්තව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම ගුවන් සේවා මෙන්ම සංචාරක හෝටල් ඇතුළුව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර රැසක්ම මේ වනවිට කඩා වැටී තිබේ. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තය ලබන පාඩුව එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වනු ඇති බවත්, අහිමිවන රැකියා ප්‍රමාණය මිලියන 73කට අධික වනු ඇති බවත් ගණන් බලා ඇත. 


ගෝලීය වශයෙන් සිදුවන මෙම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම සංචාරක කර්මාන්තය සිය ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගයක් බවට පත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකාවටද එල්ල වූ මරු පහරකි. පසුගිය වසරේ එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව යළි ගොඩනැගෙමින් පැවති මෙරට සංචාරක කර්මාන්තය කොවිඩ්-19 නිසා යළි කඩා වැටී ඇත. පසුගිය පෙබරවාරි මාසයේදී 207,507ක් වූ සංචාරක පැමිණීම් මාර්තු මාසයේදී 71,370ක් බවට පත්වීම ඊට ආසන්නතම උදාහරණයයි.

කෝවිඩ්-19 වසංගතය නිසා කඩා වැටුණු ලොව සංචාරක කර්මාන්තය යළි කෙදිනකදී යථා තත්ත්වයට පත්වේවිද යන්න කිසිවෙකුටවත් තවමත් ප්‍රකාශ කළ නොහැකි කරුණකි. ඒ හරහා අහිමිවන රැකියා නිසා සිදුවන සමාජ ගැටලු කෙසේ විසඳිය යුතුද යන්නත් ගැටලුවකි. කෙසේ වෙතත් මෙම ඉදිරි සංචාරක ව්‍යාපාරය තිරසාර අනාගතයට ගැළපෙන ලෙස යම් නිර්මාණශීලී වෙනසකට ලක් විය යුතු බවටද එම ක්ෂේත්‍රයේ නියැලෙන ඇතැම් ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව ගෝලීය සංචාරක කර්මාන්තය වෙත එල්ල වූ මෙම කොවිඩ්-19 බලපෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙත කෙසේ බලපාවිද යන්න සහ එය යළි ප්‍රකෘතිමත් කරගැනීමට අප කළ යුතු දෑ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන උපාලි රත්නායක මහතා 'අද' වෙත සම්බන්ධ කරගත්තෙමු.

වසර 25කට අධික කාලයක් සංචාරක සංවර්ධන අධිකාරිය තුළ රාජකාරිමය අත්දැකීම් සහිත රත්නායක මහතා මෙරට සංචාරක ව්‍යාපාරයේ නියැලෙන මහා පරිමාණ සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම විවිධ මට්ටමේ වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් සමගින්ද කටයුතු කර තිබේ.

ඒ අනුව මේ කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තයට අභියෝග එල්ල වීම අලුත් දෙයක් නොවන බව පවසන උපාලි රත්නායක මහතා, අභියෝග යනු සංචාරක කර්මාන්තයට පොදු වූ කරුණක් බවද පවසා සිටියි.

පසුගිය අප්‍රේල් මාසයේදී ඇති වුණු පසුබෑම යළිත් වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හැකි වුණත්, මෙම කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා ඇති වූ බලාපොරොත්තු නොවූ බලපෑම අධික බවද ඒ මහතා සඳහන් කරයි. එහිදී මෙවැනි තත්ත්වයක් පිළිබඳව මීට පෙර අත්දැකීම් නොතිබීම ඊට හේතු ලෙස දක්වන රත්නායක මහතා, රටේ සංචාරක කර්මාන්තය යළිත් ගොඩනගා ගත හැකිය යන විශ්වාසයේ තමන් සිටිනා බවත් අවධාරණය කර සිටියි.

"හැබැයි මෙතැනදී වෙනදාට වඩා ලොකු පණිවුඩයක් තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් 2001සැප්තැම්බර් 11 වැනිදා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයට එල්ල වූ ප්‍රහාරය අවස්ථාවෙන් පස්සේ මුළු ලෝකයේම සංචාරක කටයුතු නැවතුනා. ඒත් ආරක්ෂක තත්ත්වය වැඩිදියුණු වුණු ගමන්ම ජනතාව නැවත සංචාරය කරන්න පටන් ගත්තා. කොහොම වුණත් මෙවර ගැටලුව එය නොවෙයි. මනුස්සයෙක්ට මනුස්සයෙක් මුණ ගැහීම, කණ්ඩායම් ලෙස ඒකරාශීවීම කියන කාරණාවලට තියෙන අවදානම නිසා සංචාරක කර්මාන්තයේ පැවැත්මට තියෙන තර්ජනය වැඩියි."

එහිදී මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සෞඛ්‍ය අංශ වෙත සහ ආරක්ෂක අංශ වෙත පවරා, රට තුළ මුදල් හුවමාරු වන සාමාන්‍ය ආර්ථිකයක් ගොඩනැගෙන මොහොතේ සිට සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීම ආරම්භ කළ යුතු බව උපාලි රත්නායක මහතාගේ අදහස වී තිබේ. එහිදී දේශීය සංචාරක කර්මාන්තය සහ දේශීය සංචාරකයා වෙත මෙතක් තැබූ විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් තැබීම අනිවාර්යය බවද රත්නායක මහතා පවසා සිටියි.

"අපි මෙතැනදී පළමු කාරණාව ලෙස දේශීය සංචාරකයන් සහ දේශීය සංචාරක කර්මාන්තය වෙත දක්වන විශ්වාසය, උනන්දුව සහ ලබාදෙන සහාය යනාදිය ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. දෙවැනි කාරණාව ලෙස අපට විදේශ විනිමය ලැබෙන විදේශීය සංචාරකයන් ආකර්ෂණය සඳහා එහි නියැලි පිරිස් වෙත විශේෂිත අතදීමක් ලබාදිය යුතුමයි. තෙවැනි කාරණාව තමයි මේ සංචාරක පැමිණීම් අඩුවෙලා තියෙන්නේ රට පිළිබඳ අයහපත් අදහසක් හින්දාවත් - ආකර්ෂණයේ අඩුවීමක් නිසාවත් නෙමෙයි. ඒ නිසා මේ වසංගත තත්ත්වය පාලනය කරගත් මොහොතේ සිට අප සිදුකරන ධනාත්මක කටයුතු හරහා නැවත ක්‍රමානුකූලව නැගී සිටින්න අපට පුළුවන් වේවි"

කෙසේ වෙතත් මෙහිදී ඇති ප්‍රධානම අභියෝගය වන්නේ සංචාරකයන් ජනනය කෙරෙන රටවල පවතින ආර්ථිකමය ගැටලු නිරාකරණය වීම බවත් ඔහු පවසයි.  විශේෂයෙන්ම එම ජනතාවට මේ අනාගත ආර්ථික අවපාතයට මුහුණදී නැවත තම ඉතිරි කිරීමක් හරහා සංචරණය සඳහා මුදලක් සොයා ගැනීමට හැකි තත්ත්වයක් උදාවීම අනිවාර්යය බවත් රත්නායක මහතා සඳහන් කර සිටියි.

"අපි ගත්තොත් බිලියන 7කට වඩා වැඩි වන ලෝක ජනගහනයෙන් 30%ත් 35%ත් අතර සංඛ්‍යාවක් තමයි හොඳ සංචරණයේ නිරත වෙන්නේ. ඒ නිරත වන ප්‍රමාණයෙන් මේ වසංගත තත්ත්වයට මුහුණපෑ සංඛ්‍යාව බැලුවොත් එය මිලියන 2කටත් වඩා අඩුයි. ඒ කියන්නේ එය ප්‍රතිශතයක් විදියට ඉතාමත් කුඩායි. මේ වසංගතයෙන් ඍජුව බලපෑමට ලක් වූ අය. ඒත් ආර්ථික වශයෙන් බලපෑමට ලක් වූ ප්‍රමාණය ඊට වඩා වැඩියි. ඒ සංඛ්‍යාවත් 10%ක් 15%ක් විතර වගේ ඇති කියලා සැලකුවොත් එය විශාල තර්ජනයක් වෙන්නේ නැහැ."

එහෙත් මෙම වසංගත තත්ත්වයෙන් පසුව රට විදේශ සංචාරකයන් වෙත ආකර්ෂණය කරගැනීමේ පණිවුඩය අපට වුවමනා සංචාරක වෙළෙඳ පොළ වෙත රැගෙන යාමේදී ඒ සඳහා අපට රටක් ලෙස යම් උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බවද හෙතෙම සඳහන් කරයි.

"&මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී අනෙක් රටවලට වඩා බොහොම සාර්ථක ලෙස මේ වසංගතය සඳහා මුහුණ දුන් ආකාරය සහ එම අවස්ථාවේදී දෙස් විදෙස් ඕනෑම අයෙකුට අපි ලබා දුන් ශ්‍රී ලාංකික සත්කාරය පිළිබඳව හරියට සන්නිවේදනය කළොත්, තවත් සංචාරකයෙක් විශ්වාසවන්ත විදියට මේ රටට ගෙන්වා ගන්න එයම අපිට ශක්තියක් වේවි. හැබැයි අපි මෙතැනදී සෞඛ්‍ය අංශවලින් ලබා දෙන උත්තරය ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද ජනතාවගේ ජිවිත ගැන අවදානමක් තියලා මේ සංචාරක කර්මාන්තය කවදාවත් ඉදිරියට රැගෙන යාමක් සිදු නොකළ යුතුමයි."

මේ අතර, නව කොරෝනා වෛරසය හරහා ලෝකයාට ලබා දුන් ප්‍රධානම පණිවුඩය වන්නේ ස්වභාවධර්මයේ සමතුලිතතාවට අභියෝග කරමින් සිදුකරන ඕනෑම දෙයක ප්‍රතිඵල අයහපත් යන්න බවද රත්නායක මහතා මෙහිදී සඳහන් කරයි. ඒ අනුව මෙම ස්වභාවධර්මයේ සමතුලිතතාවට හානිකරමින් ක්‍රියාත්මක වූ කටයුතුවලට එරෙහිව ආසන්න කාලසීමාවේදී ලොවට හඳුන්වාදුන් තිරසාර සංවර්ධන ඉලක්ක අනුව මෙම සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම මූලික බවත් ඔහු පෙන්වා දෙයි.

"මේ තිරසාර සංචාරක කර්මාන්තයක් යන සංකල්පය වෙත මෙතෙක් අපගේ යොමුවීම ඉතාමත් අවමයි. අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන එම තිරසාර සංකල්පය අපේ සංචාරක කර්මාන්තයේ තිබෙන බව ලෝකයාට පෙන්වන්න පුළුවන් නම් ඒ හරහා බොහෝ සංචාරකයන් පිරිසක් අපට ආකර්ෂණය කරගන්න පුළුවන් වේවි.

උදාහරණයක් විදියට එක සීසන් එකකදී සීගිරියට දරන්න බැරි තරම් ප්‍රමාණයක් එහි නගිනවා. යාල සත්තුන්ට වැඩිය මිනිස්සු ඉන්නවා. අපිට පුළුවන් නම් මේ පැමිණෙන සංචාරකයන් කළමනාකරණය කරගන්න එය වඩාත් වැදගත් වේවි. ඒ වගේම අලුත් සංචාරක ගමනාන්ත හඳුන්වාදීලා මේ ස්ථාන වෙත තිබෙන තදබදය යම් තරමකින් ලිහිල් කරන්න අපට පුළුවන්. එතැනදී සෑම සියලු දෙනාගේම සහාය ලබාගත යුතුයි. ඒ හරහා එක් වටිනා ආකර්ෂණීය ගමනාන්තයකට සිදුවන හානිය අවම වෙනවා. අනිත් කාරණය තමයි මේ සංචාරක කර්මාන්තයේ ආදායම් බෙදී යාම නිසි ලෙස සිදු වීම අතිශය වැදගත්."

උපාලි රත්නායක මහතා පවසන ආකාරයට තවමත් මෙරට සංචාරක කර්මාන්තයේ ආදායම් අතරින් 70෴ක්ම බෙදී යන්නේ ඉතාමත් සීමිත ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් අතර පමණි. එහිදී ජනතාවට මේ මුදලින් බෙදී යන ප්‍රමාණය ඉතාමත් අල්ප බව ඔහුගේ අදහසයි. ඒ අනුව ග්‍රාමීය මට්ටමේ නවාතැන් පහසුකම්, ක්‍රියාකාරකම් සහ සේවාවන් යනාදිය ඇති කිරිම හරහා මෙම සමාගම් කිහිපයකට පමණක් මුදල් ගලා යාම අවම කර ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව තිරසාර සංචරණය, කෘෂිකාර්මික සංචරණය, ඉකෝ සංචරණය, කලපු සංචරණය, කඩොලාන සංචරණය, ගුහා සංචරණය සහ දූපත් සංචරණය යනාදී විවිධ සංචාරක ගමනාන්ත වෙත යොමුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

"දූපත් රාජ්‍යයක් විදියට අපේ රටේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් තිබිය යුතු උපායමාර්ගය විය යුත්තේ අවම සංචාරකයන් පිරිසකගෙන් උපරිම ආදායමක් ලබා ගැනීමයි. ඒ තුළ තමයි රටට වුවමනා ආදායම සහ රැකියා උත්පාදනය ලබා ගන්නා ගමන්ම රටෙහි සම්පත් ආරක්ෂා කර ගැනීමට හැකි වෙන්නේ. එතකොට තමයි සංචාරක කර්මාන්තය රටට ආශිර්වාදයක් වෙන්නේ. ඒ සඳහා දැනුම, සැලසුම සහ කළමනාකරණය කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තයක් වෙත යා යුතුමයි."

මෙහිදී අනාගත සංචාරක කර්මාන්තය මෙරට තුළ දියුණු කිරීම සඳහා විදෙස් ආයෝජනද වැදගත් බව පෙන්වා දෙන රත්නායක මහතා, පසුගිය වසර කිහිපයේදී ඉදිරිපත් වූ ආයෝජන පවා මෙම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යම් පමාවක් සිදුව ඇතැයිද සඳහන් කරයි.

"ආසන්න කාලසීමාවේදී සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් ආයෝජන විශාල ප්‍රමාණයක් මෙරටට ආවා. දැන් ඒ සියල්ලටම යම් ප්‍රමාණයකින් බාධා එල්ල වෙලා තිබෙන්නේ. හැබැයි තත්ත්වය පහව ගියාට පස්සේ මේ කියන ආයෝජන ඉදිරියටත් ක්‍රියාත්මක කරගෙන යන්න අවශ්‍ය පහසුකම් පෙරට වඩා වැඩියෙන් අපි ලබා දිය යුතුයි. එතැනදී එම ආයෝජකයන්ට ලබා දෙන හොඳම සහනය සහ පහසුකම වෙන්නේ එම ආයෝජන ව්‍යාපෘතිය යෝජනා කර මාස දෙකක් ඇතුළතදී එය ආරම්භ  කිරීමට අවශ්‍ය අවස්ථාව සලසාදීමයි. මෙතෙක් අපි එවැනි දේ සඳහා සහාය ලබා දීමක් සිදු කරලා නැහැ. ඉදිරියේදීවත් එවැනි පියවර වෙත යා යුතුමයි." උපාලි රත්නායක මහතා අවසන් වශයෙන් සඳහන් කළේය.

 



Recommended Articles