හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය බෝඩ් ලෑල්ලකට සීමා නොවන්නට


හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කරන ලෙසට ගෙන ගිය අරගලවලට සුබදායී පිළිතුරු පසුගිය සතියේ ලැබිණ. මේ එම රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම හා ඉන් ඔබ්බට දිවෙන කරුණු කාරණා පිළිබඳ ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා දැක්වූ අදහස් ඇසුරෙන් ගෙන එන සටහනකි.

අලි කළමනාකරණ රක්ෂිතය නම් කළ ගැසට්ටුව
ශ්‍රී ලංකාවේ වනඅලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබීම ප්‍රශංසනීයය. ඊට අදාළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09දා තමින් නිකුත් වී තිබේ. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියේ (2)වන උපවගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වනසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් "හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය"

ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව දකුණු සහ ඌව පළාත්වල හම්බන්තොට සහ මොනරාගල (ගැසට් නිවේදනයේ මොණරාගල දිස්ත්‍රික්කය දකුණු පළාතට අයත් ලෙස සඳහන් කර ඇත) යන පරිපාලන දිස්ත්‍රික්කවල පිහිටි හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර සහ තණමල්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හෙක්ටයාර 23746.55ක භූමි ප්‍රමාණයකින් හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය සමන්විතය.
හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම මගින් මෙම වනඅලි කළමනාකරණ රක්ෂිතය අලි ඇතුන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරුණේ මීට දශකයකට පමණ පෙරය. (ආසියානු අලි ඇතුන් පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙය යෝජනා කළේ ඊටද පෙර සිටය) නමුත් දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කඹ ඇදීම් හේතුවෙන් එය මෙතෙක් කලක් ප්‍රමාද වූ බව නොරහසකි. එහි ප්‍රතිඵලය වූයේ එදා මෙදාතුර තවත් අලි-මිනිස් ජීවිත රැසක් අකාලයේ රටට අහිමි වීම සහ ප්‍රදේශයේ ජනජීවිතය කබලෙන් ළිපට වැටීමය. මේ මොහොතේද ආණ්ඩුව හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කරන්නේ එහි සැබෑ සංරක්ෂණ සහ සමාජ ආර්ථික අවශ්‍යතාවය වටහාගෙනද නොඑසේ නම් වල්සපුගල ගොවි සංවිධාන නායකයන් තවමත් ගෙන යන (මේ සටහන ලියන විට) අනවරත අරගලය හේතුවෙන් ආණ්ඩුවට එල්ලවූ බලපෑම නිසාද යන්න ගැටලුසහගතය. මීට නොබෝ දිනකට පෙර රජයේ ප්‍රබල ඇමතිවරයෙකු එම අරගලයට නායකත්වය දුන් ගොවි නායකයන්ට එල්ල කළ ඉතා තුච්ච සහ පහත් චෝදනාව එම කුකුසට එක් සාධාරණ හේතුවකි. කෙසේනමුත් වනඅලි කළමනාකරණ රක්ෂිතවල සැබෑ සංරක්ෂණ සහ සමාජආර්ථික අවශ්‍යතාවය පිළිබඳව ආණ්ඩුව සහ අලි-මිනිස් ගැටුමෙන් බැට කන, නොකන පොදු ජනතාව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බව සිතනවා.


අලි කළමනාකරණ රක්ෂිතයක අවශ්‍යතාව

අලි-මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක පමණ පුරා පැතිරුණු විශාල සමාජඅාර්ථික, පාරිසරික හා දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වන්නේ මීට දශක ගණනාවකට පෙර සිටය. 2009 වසරේදී ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිමා වීමත් සමග එය මෙරට ඉහළම ජාතික ප්‍රමුඛතාවය බවට පත්විය. දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක 19ක් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක අලි-මිනිස් ගැටුම ව්‍යාප්තව පවතී. එමගින් ලොව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සහ දෙවැනි වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බව මා ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් ඉකුත් වසරේ විද්‍යාත්මක අධ්‍යයනයක් මගින් පෙන්වා දුනිමු. පසුගිය දශක හයක පමණ කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගැටලුවට විසඳුම් සෙවීමට ප්‍රයත්න දැරුවේ අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ තුළට ගාල්කර විදුලි වැට ඉදිකිරීමේ දිගින් දිගටම අසාර්ථක ක්‍රමවේදය මගිනි.
නමුත් ශ්‍රී ලංකාවේ දිවි ගෙවන 6000කට ආසන්න අලි ඇතුන් ජීවත් වන වාසභූමිවලින් සියයට හැත්තෑවක් (70%) පමණ ව්‍යාප්තව ඇත්තේ වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශවලින් පිටතය. එම සතුන් වනජීවී රක්ෂිත තුළට ගාල්කර මෙම මහා අරගලයට විසඳුම් සෙවීමට නොහැකි බවත්, අලි-මිනිස් ගැටුමට ඇති ප්‍රධානතම විසඳුම වන්නේ රක්ෂිත ප්‍රදේශවලින් බැහැර පිහිටි එම හස්ති වාසභූමි ආරක්ෂා කිරීම බවත් පර්යේෂකයන් පෙන්වා දුන්නේ අද ඊයේ නොවේ. %වනඅලි කළමනාකරණ රක්ෂිත^ යෝජනා වන්නේ ඒ සඳහාය. එහි ආරම්භක පියවරක් වශයෙන් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ වනජීවී රක්ෂිතවලින් බැහැරව ජීවත් වූ අලි ඇතුන් 400ක පමණ ප්‍රමාණයක වාසභූමි %හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය^ මගින් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසිණි. ඒද මෙම අලි ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කිරීමට දරන ලද අමානුෂික උත්සාහය අසාර්ථක වූ පසුබිමකය. නමුත් එදා මෙදාතුර දශකයකට වැඩි කාලසීමාවක් තුළ එකී හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය බෝඩ් ලෑලිවලට පමණක් සීමාවූ අතර, එම හස්ති වාසභූමි දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ සහය ඇතිව විවිධ ව්‍යාපාරිකයන් විසින් ආක්‍රමණය කෙරිණි. විවිධ වගා ව්‍යාපෘති, පස් කැණීම්, ගල්කොරි වැනි එකී මෙකී නොකී විනාශකාරී ක්‍රියා හේතුවෙන් වනඅලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශ වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් එන්න එන්නම උත්සන්න වූ ආකාරය අපිද අවස්ථා ගණනාවකදී පෙන්වා දුනිමු. අවසානයේදී හම්බන්තොට ජනතාවට තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල කර අලි ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙන්කර දීමට සිදුවන තැනට තත්ත්වය දරුණු අතට හැරිණ.
 

රටේම අලි රකින්න හම්බන්තොට රක්ෂිතය පමණක් ප්‍රමාණවත්ද?
මූලික වශයෙන් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලියේ ගැටලු තිබේ. එහි සහ හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මේ දැක්වෙන අලි කළමනාකරණ රක්ෂිතයේ වපසරිය අතර පැහැදිලි වෙනස්කම් ඇති බව මෙහි දැක්වෙන සිතියම් දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහේ. තවද දැනට ප්‍රකාශයට පත්කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය තුළද මෙතෙක් සිදුකෙරුණු නීතිවිරෝධී මානව ක්‍රියාකාරකම් අවසන් කිරීමද ආණ්ඩුවට අභියෝගයක් බව නොකිවමනාය. ඒ කෙසේ වෙතත් හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකාවේ වනඅලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව අවිවාදිතය.
ඊට ප්‍රධානතම හේතුව වන්නේ වනඅලි සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා රක්ෂිතවලින් එහා ගිය විකල්පයන් දැකීමට දේශපාලකයන්, නිලධාරීන් සහ ජනතාව යොමු වීමයි. රජය අවංකවම කැපවුණහොත් රක්ෂිතවලින් බැහැරව ජීවත් වන අලි ඇතුන් ඔවුන්ගේ වාසභූමි තුළම සංරක්ෂණය කිරීම මගින් අලි සම්පතට සහ අලි-මිනිස් ගැටුම් සංසිදුවීමට ලැබෙන දායකත්වය ප්‍රායෝගිකව දැකගැනීමට ඉඩ ලැබේ. හම්බන්තොටින් එහා දිවයිනේ එවැනි අලි ඇතුන් ජීවත් වන අනෙකුත් ප්‍රදේශවලද මෙම න්‍යාය ක්‍රියාත්මක කර අලි-මිනිස් ජීවිතවලට අස්වැසිල්ලක් ලබාදීමට හැකියාව ලැබේ.වන අලි පලවාහැරීම් අඛණ්ඩව සිදුකිරීම සහ අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට උත්සාහ කිරීම අලි-මිනිස් ගැටුම් උත්සන්න වීමට හේතුවන අතර, එමගින් විශාල ආර්ථික අලාභයක් සිදුවේ. මීට අමතරව ඉසිලුම් ධාරිතාව ඉක්මවා යාම නිසා අලි රංචු අහිමි වීම රක්ෂිත ප්‍රදේශවල අලි ගහනයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. අලි රංචු ජාතික උද්‍යානවලට පලවා හැර ඒවා තුළට සීමා කිරීම අලි-මිනිස් ගැටුම් කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේ ගැටුම් ඇති කරන පිරිමි සතුන් බහුතරයක් පලවාහැරීම් මගින් ඉවත් කිරීමට නොහැකි බැවිනි.
නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අලි රංචු අහිමි වීම වනඅලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමට විශාල බලපෑමක් ඇති කරනු ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාව, ආසියානු අලි ඇතුන් නැරඹීම සඳහා ලොව ඇති හොඳම සංචාරක ගමනාන්තයයි. කෙසේවෙතත් මේ වනවිට එම කරුණ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති අතර, නිසි ආකාරයෙන් ප්‍රවර්ධනය කර නැත. වනඅලි කළමනාකරණ රක්ෂිත තුළ පවා වනඅලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය නිසි ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් රටට සැලකිය යුතු ආදායමක් උපයාගත හැකි අතර, එය ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකයටද අස්වැසිල්ලකි.
වනඅලි කළමනාකරණ රක්ෂිත සියලු රෝග නිවාරණය සඳහා විශ්මකර්මයෙකු නොවේ. නමුත් එය නිසි පරිදි අවංක චේතනාවෙන් යොදා ගැනීම මගින් වනඅලි සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන පුළුල් ජාතික වැඩපිළිවෙළක විශාල පරාසයක් ආවරණය වේ. එබැවින් හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකාවේ වනඅලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව කිවමනාය.



Recommended Articles